දේපළ විකිණී යන වාස්තු දෝෂ

ජනවාරි 19, 2024

 

වාස්තු දෝෂ සිය ගණනක් අතරින් බරපතළ ප්‍රමුඛ දෝෂ පිළිබඳ නිවැරදි තක්සේරුවක් ගත නොහැකිවූ විට කළුවරේ ගල් ගසන්නා සේ කටයුතු කිරීම ස්වභාවය වෙයි. මෙහි නිසඟ ප්‍රතිඵලය වන්නේ වාස්තු ශිල්පියා විසින් සේවා ලාභියා වෙත විසඳුම් ගණනාවක් ඉදිරිපත් කරමින් වංකගිරියක අතරමං කර දැමීමයි. එහි ඊළඟ පියවර වන්නේ වාස්තු දෝෂයේ බලපෑමේ අනුපිළිවෙළ වෙනුවට ප්‍රතිවිපාකයේ බරපතළකම් අනුපිළිවෙළ වෙනුවට සේවා ලාභියාගේ විසඳුම් පිළිබඳ රුචියේ අනුපිළිවෙළ ක්‍රියාත්මක වීමයි. එවිට සිදුවන්නේ බෝහෝ විට දැනෙන දෝෂ නිවාරණයක් වෙනුවට වාස්තු ශාස්ත්‍රය පිළිබඳ විශ්වාසය කඩවීම පමණි.

මේ හේතුව නිසා වාස්තු දෝෂයන්ගේ බලවත් බව තක්සේරු කිරීම ශිල්පියකු විසින් මැනැවින් කළ යුතු වෙයි. මේ සඳහා විටෙක වාස්තු සිද්ධාන්ත පිළිබඳ අවබෝධය ප්‍රමාණවත් නොවන්නට පුළුවන. ඒ සමඟම වාස්තු පරීක්ෂාවෙන් ලබන අත්දැකීමක් එය තවදුරටත් විග්‍රහ කර ගැනීමට අවශ්‍ය සිද්ධාන්තමය අවබෝධයත් අතිශයින් වැදගත් වේ. එසේ ලබා ගන්නා තත්ත්වානුකූල නිගමනයන් සේවාලාභීන්ගේ විශ්වාසය වඩ වඩාත් වාස්තු ශාස්ත්‍රය පිළිබඳව ඇති කරනු නිසැකය.

නිවසක් මිලදී ගැනීමට අපේක්ෂා කරනු ලබන ඥාතියකුගේ අවශ්‍යතාව අනුව මෑතකදී කිසියම් නිවසක් පරීක්ෂා කිරීමට අපට සිදු විය. එහිදී කොළඹ ගාලු පාරට නුදුරින් පිහිටි අදාළ නිවස පිරික්සීම සිදු කරනු ලැබීය. එහිදී ප්‍රධාන දිශාවනට ඉතා සමීපව ඇති ඉඩමක් හා එහි තනා අවසන් කොට ඇති නිවසක් අපට හමු විය.

බැලූ බැල්මටම සිත ඇඳ බැඳ නොගන්නා මේ නිවසේ නැඟෙනහිර දිශාවෙන් ප්‍රවේශ මාර්ගය පිහිටා තිබිණි. උතුරු දිශාවෙන් අතුරු පිවිසුම් මාවතක්ද පිහිටා තිබිණි. මේ අනුව අන්තරීක්ෂ ශක්තිය නිවස වෙත (සාපේක්ෂ වශයෙන්) ගලා ඒමේ කිසිදු බාධාවක් නොමැති බැවින් නිවසේ දුටු සැණින් පෙනෙනා බරපතළ වියවුල එයින් වටහා ගැනීම එතරම් පහසු නොවීය.

නිවසට ඇතුළුවන දොරටුවට කුඩා වැරැන්ඩාවක් ගිනිකොනෙන් පිහිටා තිබීම සැලකිය යුතු ගැටලු ඇති කළද මෙතරම් ආර්ථික බිඳ වැටීමක් මෙකී නිවාසයේ හිමිකරුවනට අත්වීමට එය ප්‍රමාණවත් නොවන බව ඉතා පැහැදිලියි. නිවසේ අසමගිය හෝ ලෞකික ජීවිතයේ අහිමි බවකට යම් ඉඩක් පැවතියද එය අදාළ නිවාස හිමියා දක්වා විහිදී යන බරපතළ තත්ත්වයක් නොවන බවද තහවුරුව පවතී. (නිවසේ දැනට පදිංචිව සිටින කුලී නිවැසියනට එහි යම් බලපෑමක් තිබිය හැකි වෙතත් නිවසේ හිමිකරුට දේපළ අහිමි වන තරමේ බරපතළ තත්ත්වයක් ඇති කිරීමට මෙය බලපානු ඇතැයි කිසිසේත් කිව නොහැකියි. )

අප නිවසට ඇතුළුවත්ම උතුරු ඊශාන – නැඟෙනහිර දිශාවන් අත්පත් කර ගත් දැවැන්ත සාලය තවදුරටත් අපගේ වියවුල බලවත් කළේය. එතරම් මැනැවින් ඉඩමට අන්තරීක්ෂ ශක්තිය ඇතුළත්වීමෙන් නොනැවතී එහි ශක්තිය නිවස වෙත ඇතුළු වී නිවස පුරා පැතිර යෑමට හැකි ස්වභාවයකින් යුතු මේ නිවසේ අපට වටහා ගත නොහැකි බරපතළ වාස්තු දේෂය කුමක්ද? එය කවරක් වුවත් ප්‍රතිවිපාකය මෙතරම් බරපතළ වන්නට නම් සුළු දෝෂයක් විය නොහැකියි.

අපට මුහුණදීමට වූ වියවුල සිතෙහි පැන නැඟුණු විමතියත් සමඟ තවදුරටත් නිවසේ ඉතිරි අංග කෙරෙහි අපගේ අවධානය වඩාත් තියුණු කරනු ලැබීය. වැසිකිළි දොරක් සාලය ඍජුව පෙනුණද එය නිවසේ මධ්‍යයට එකේලිව වුවත් බස්නාහිර දිශාවේ පිහිටා තිබීම අපට බරපතළ දෝෂයක් ලෙස අපගේ අවධානය රඳවා ගැනීමට ප්‍රමාණවත් ස්වභාවයක් නොවීය.

තවදුරටත් නිවස ඇතුළතට පිවිසීමේදී ගිනිකොන හා වයඹ දිශාවේ නිදන කාමර දෙකක් දක්නට ලැබිණි. වඩාත් විශාලව වයඹ දිශාවේ නිදන කාමරය තනා ඇති බැවින් හා පෙර වාසය කිරීමෙන් නිවස ඉදිකළ අයිතිකරුවන් අදාළ නිවස කුලියට දී බැහැර අන් නිවසක පදිංචි වීම වටහා ගත හැකි වෙනත් දේපළ විකිණීමට තරම් බරපතළ වියවුලක් ඇතිවීමට තීන්දුවක් මෙයින් වටහා ගත හැකි නොවේ. යම් හෙයකින් ගිනිකොනේ පිහිටි කුඩා නිදන කාමරය ප්‍රධාන නිදන කාමරය ලෙස භාවිත කළද එයින් නිවැසියන්ගේ එකඟතාවයනට බාධා ඇති කළත් නිවස කපරාරු කර ගත නොහැකි වන සීලිමක් සවි නොකරන මට්ටමේ ආර්ථික පීඩාවකට පත්වීම නම් කිසිසේත් විය නොහැකියි.

එසේ නම් සිදුව ඇත්තේ කුමක්ද?

තවදුරටත් නිවස ඇතුළතට පිවිසීමෙන් නිරිත දිශාවට පිහිටුවා ඇති මුළුතැන් ගෙය දැකීමෙන් අපගේ වාස්තු පරස්පරතා මතු කළ එක් ප්‍රධාන කරුණක් අපට අවබෝධ විය. මුළුතැන් ගෙයින් පිටත මිදුලට යා හැකි දොරෙන් එබී බැලීමෙන් වැසිකිළි වළක් යැයි සිතිය හැකි යම් කොන්ක්‍රීට් සිලින්ඩරයක් නිරිත මිදුලෙන් මතු වී පෙනුණි. නිරිතේ පිහිටි වළක් රත්වන මුළුතැන් ගෙයක් වාස්තු සිද්ධාන්තවලදී බරපතළ ලෙස පෙන්වා දී ඇතත් මෙතරම් දුර්විපාක අත්කර දෙන කේවල දෝෂයක් ලෙස මතු වනු ඇතත් බොහෝ ශිල්පීන් කිසිසේත් තක්සේරු නොකරනු නිසැකයි.

එසේ වුවද සාපේක්ෂ ලෙස ඊශානයෙන් ඉඩමටත්, ඉන් ඔබ්බෙන් නිවසටත් බාධාවලින් තොරව මැනැවින් ගලා ආ අන්තරීක්ෂ (Cosmic) ශක්තිය ඊශානයේ ප්‍රතිවිරුද්ධ අන්තය වන නිරිතේ පිහිටි මුළුතැන්ගෙයි උපදනා තාප (Heat) ශක්තියට පරාජය වෙමින් අන්තරීක්ෂ ශක්තියෙන් අන්තර්ගත ෆෝටෝන් අංශුවල චාලක (Kinetic) ශක්තිය වැඩි කරමින් ඉවතට යෑම කෙතරම් බරපතළ ලෙස බලපා තිබේද?

අන්තරීක්ෂ ශක්තිය උපරිමයෙන් විසිරී ගොස් ඉතිරිව තිබූ අන්තරීක්ෂ ශක්ති ප්‍රමාණයද සිලින්ඩරාකාර වැසිකිළිවළ විසින් ලබා ගනිමින් සක්‍රිය අශුභ ශක්තියක් උත්පාදනය කිරීම ඉහත කී දුර්විපාකය වෙනත් පැතිමානයකින් වඩවාලමින් නිවැසියන් පීඩාවට පත් කිරීම මෙහි නිසඟ ප්‍රතිඵලය බව වාස්තු ශිල්පීන් වගකීමෙන් වටහා ගත යුතු වේ.

වාස්තු පරීක්ෂාවට අප කැඳවාගත් අපගේ ඥාතියා වෙත අපගේ නිර්දේශය වූයේ ශක්තිමය වශයෙන් කෙසේ වෙතත් භෞතික වශයෙන් ලාභදායි දේපළක් බැවින් මේ නිවස මිලදී ගන්නා ලෙසත් හැකිතාක් ඉක්මනින් මුළුතැන් ගෙය හා වැසිකිළි වළ වයඹ යොදා මිස එහි පදිංචියට නොයන ලෙසත්ය. අපගේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමේ වාසනාව ඔවුනට ඇත්තේදැයි අපට ඉදිරියේදී අත්දැකිය හැකි වනු ඇත.

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.