නිවෙසට මුදල් කැන්දන වාස්තු පිළියම්

ජනවාරි 5, 2024

අද සමස්ත රටේම ආර්ථිකය බිඳ වැටී ඇති බව රහසක් නොවේ. එවැනි අවස්ථාවක එක් එක් පුද්ගලයාගේ හෝ එක් එක් කුටුම්බයක ආර්ථිකය බිඳ වැටීම සාමාන්‍ය තත්ත්වයක්ව තිබේ. එම ස්වභාවය මැනැවින් හඳුනාගත් විට වාස්තු ශිල්පය භාවිත කරන්නන් විසින් සිදු කළ යුතු වැදගත්ම කාර්යය වන්නේ එකී ශිල්පයන්හි පවත්නා ආර්ථිකය ගොඩනංවන වාස්තු පිළිවෙත් වැඩි වැඩියෙන් භාවිතයට ගැනීමයි. මේ සඳහා අප විසින් හඳුනාගත යුතු ඉතා වැදගත් අනෙක් පැත්ත වන්නේ ආර්ථිකය බිඳ දමන වාස්තු දෝෂ කෙරෙහි අපේ අවධානයද වැඩි වැඩියෙන් යොමු කිරීමයි.

ආර්ථිකය බිඳ වැටීම පිළිබඳ කරුනෙහි දී වැඩිම බලපෑමක් ඇති කරන දිශාවන් වන්නේ නිරිත හා ඊශානයයි. ඒ අතරින් මුදල් නාස්තිය කෙරෙහි වැඩිම බලපෑම ඇති කරනු ලබන්නේ නිරිත දිශාව බව සිද්ධාන්තවලින් මෙන්ම ප්‍රායෝගික අත්දැකීම්වලින්ද තහවුරු වී තිබේ. ඒ හේතුව නිසා නිරිත දිශාව දුර්වල කරන වාස්තු දෝෂ මොනවාදැයි සැක හැර දැන ගැනීම අතිශයින් වැදගත් වේ. නිරිතේ මුළුතැන්ගෙය පැවතීම වැනි බරපතළ දෝෂයකට දෙවැනි බලපෑමක් ඇති නිරිතට බෑවුමක් පැවතීම බොහෝ වාස්තු ශිල්පීන්ද එතරම් සැලකිල්ලක් නොදක්වන වාස්තු වියවුලකි. එසේම නිරිතේ වැසිකිළියක් පැවතීමටත් වඩා නිරිතේ වැසිකිළිවළ පැවතීම බරපතළ තත්ත්වයක් බවද අප මැනැවින් හඳුනා ගත යුතුව තිබේ. එසේ වුවත් වාස්තු ක්ෂේත්‍රයේ පවත්නා බරපතළ දුර්මතයක් වන්නේ වැසිකිළිය නිරිතට දැමීමට කරනු ලබන වාස්තු නිර්දේශයයි.

ඓතිහාසිකවද නිවසේ වැසිකිළියක් නොපැවතීම නිසා නිවසට ගෘහ අංගයක් ලෙස වැසිකිළිය එකතුවීම සම්ප්‍රදායිකව වටහා ගැනීමේ ඉඩක් ද නොමැත. මේ තත්ත්වය නිසා මෙවැනි නිර්දේශයන් පිළිබඳ සිද්ධාන්තයක් ගොඩනඟා ගැනීමට අපට සහාය කර ගත හැකි අසම්පූර්ණ මුත් වටිනා ප්‍රතිඵලයන් ලබා දෙන දැනුම් පද්ධතිය වන්නේ බටහිර නූතන විද්‍යාවයි. එබැවින් එවැනි ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අකැමැත්තෙන් මුත් බටහිර විද්‍යාව යොදා ගනිමු.

බටහිර විද්‍යාවේ 1911දී පමණ වික්ටර් නෙස් නම් විද්‍යාඥයා විසින් ගොඩනඟන ලද අන්තරීක්ෂ ශක්තිය (Cosmic)) පිළිබඳ සංකල්පයට (ප්‍රවාදයට) අනුව එකී ශක්තිය පොළොවේ සිදුවන පරිභ්‍රමණ, භ්‍රමණ ක්‍රියාවලියට සාපේක්ෂව නිවසකට ඊශානයෙන් අන්තරීක්ෂ ශක්තිය ඇතුළු වී නිරිත දිශාව වෙත යොමු වීම පහසුවෙන් වටහා ගත හැකියි. මේ අනුව නිරිත දිශාවේ අනවශ්‍ය විවෘත භාවයක් (සාලයක් වැනි ගෘහ අංගයක් හෝ වැඩි වැඩියෙන් කවුළු පිහිටුවීමක් හෝ පෙර කී පරිදි බරපතළ බෑවුමක් හෝ පැවතීම) නිසා නොවේ නම් අන්තරීක්ෂ ශක්තිය වැඩියෙන්ම ගබඩා වන්නේ නිරිත දිශාවෙහි වේ. එසේ අන්තරීක්ෂ ශක්ති තීව්‍රතාව (Cosmic Energy Intensity) වැඩිම දිශාව බවට පත්වන නිරිතෙහි කවර හෝ දෝෂ තත්ත්වයක් හට ගනු ලැබුවහොත් එය වඩාත් සක්‍රීය බරපතළ ප්‍රතිඵල රැසක් අත්කර දෙන බව වටහා ගැනීම අපහසු නොවේ. එය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් වැසිකිළියෙන් නිකුත් කෙරෙන අහිතකර ශක්තීන් අන්තරීක්ෂ ශක්තියෙන් පොහොසත්ම දිශාව වන නිරිතට මුසුවීමෙන් වැඩි වැඩියෙන් සක්‍රීය වීම සිදුවීම දැක්විය හැකියි.

එසේම වාස්තු දෝෂය ප්‍රතිඵලයක් ලෙස දුර්විපාකයක් ලබා දෙන්නේ කෙසේද යන්නත් මෙහිදීම නිරවුල් කර ගැනීම උචිත යැයි ද ගැනේ. නිවසේ අඩුපාඩුවකින් එහි වාසය කරන පුද්ගලයා පීඩාවට පත්වීම අතර සම්බන්ධය නිරවුල් නොවනතාක් අප විසින් මෙවැනි විෂයයන් ගුප්ත, විශ්වාසකට නොගෙන අද්භූත දෙයක් ලෙස සමාජගත වීම මෙවැනි ගැඹුරු විෂයකට සිදුවන මහත් අඩුපාඩුවකි. මේ නිසා දෝෂයක් හා ජීවිතය අතර සම්බන්ධයද පැහැදිලි කර ගැනීම අතිශයින් ප්‍රතිඵලදායක වේ.

වාස්තු දෝෂයක් නිසා ඇතිවන අහිතකර ශක්තිමය වටපිටාව විසින් හානි සිදුකරනු ලබන්නේ (ආරම්භයේදීම) නිවැසියාගේ ශක්ති ශරීරයටයි. ශක්ති ශරීරයේ පවත්නා ශක්තිය බාහිරින් ශක්ති ශරීරයට ලබා ගන්නා ශක්ති මධ්‍යස්ථාන හෙවත් ශක්ති කේන්ද්‍ර සෘජුවම අපගේ භෞතික ශරීරයේ අන්තරාසර්ග පද්ධතියේ නැතහොත් හෝමෝන ස්‍රාවය කෙරෙහි බලපාන නිර්නාල ග්‍රන්ථි පද්ධතියේ ක්‍රියාකාරීත්වය කෙරෙහි බහුවිධ ආකාරයෙන් බලපාන බව තහවුරු කළ හැකියි. මෙකී ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වය සෘජුවම අපේ දේහයේ පවත්වන අවයව නැතහොත් ඉන්ද්‍රිය කෙරෙහි බලපාන බව පාසල් මට්ටමේ ජීව විද්‍යා දැනුමෙන් පවා තේරුම් ගත හැකි වේ. මේ අනුව වාස්තු දෝෂ නිවැසියාගේ සමස්ත ජීවිතය කෙරෙහිම ශාරීරික (Physical) මානසික (Mind) භාවමය (Emosional) හා ආධ්‍යාත්මික (Spiritual) ආකාරයන්ගෙන් බරපතළ ලෙස බලපාන බව නිශ්චිත කොට තහවුරු කළ හැකියි.

කෙසේ වෙතත් නිරිතෙහි පවත්නා පෙර කී වාස්තු වියවුල් විසින් නිවැසියන්ගේ ශක්ති ශරීරවල පහළ කොටස් දුර්වලවීමේ ප්‍රතිඵලයක් වශයෙන් ලෞකික අභිලාෂයන් ගොඩනැඟීමට ඇති උනන්දුව හෝ අභිප්‍රේරණ තත්ත්වය නොසිතූ ලෙස බිඳ වැටේ. මෙහි නිසැක ප්‍රතිඵලය වන්නේ ආර්ථිකය බිඳ වැටීමයි.

දීර්ඝ වශයෙන් නිරිතෙහි වැසිකිළියක් පැවතීම විවාදාපන්න බැවින් විග්‍රහ කරනු ලැබූවද නිරිතෙහි මුළු තැන්ගෙයක් පැවතීම මීට වඩා බරපතළ දුර්විපාක මතු කරන්නක් බව නිශ්චිතව තහවුරු කොට දැක්විය යුතු වේ. මෙය ශක්තිමය ලෙස පහදාලිය හැකි තත්ත්වයකි. පෙර කී පරිදි නිරිත දිශාවේ ගබඩා වනු පිණිස අන්තරීක්ෂ ශක්තිය කැඳවා ගත්තද මෙකී මුළුතැන් ගෙයි (විශේෂයෙන් ළිපෙහි) පවත්නා උණුසුම හේතුකොට අන්තරීක්ෂ ශක්තියෙහි ඇතුළත් අංශුන්ගේ චාලක (ම්ඪදඥබඪජ) ශක්තිය වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස ඒවායේ විසිරී යෑම සිදු වේ. මේ සංසිද්ධිය ගමේ ගොඩේ වහරින් “ශක්තිය පිච්චිලා යනවා” යැයි කීවද වරදක් නැත. කෙසේ හෝ වේවා මෙසේ මුළුතැන්ගෙය නිරිතට යෙදීම නිසා පෙර කී අන්තරීක්ෂ ශක්ති තීව්‍රතාව බරපතළ ලෙස පහත වැටීමෙන් වැසිකිළිය නිසා මුහුණදීමට සිදුවන දුර්විපාක මුළුතැන්ගේ නිසා දෙගුණ තෙගුණ වීම පිළිබඳව අපගේ අවධානය වැඩි වැඩියෙන් යොමුවිය යුතු වේ.

බොහෝ වාස්තු ශිල්පීන් එතරම් සැලකිල්ලට ලක් නොකරන නිරිතට බෑවුම් වීමද අන්තරීක්ෂ ශක්තිය භූගත වීම අපහසු කර වන්නක් බැවින් එහි නිසැක ප්‍රතිඵලයක් ලෙස භූ (Earth) ශක්තිය බිඳ වැටීම වටහා ගත හැකියි. භූ ශක්තිය දුර්වලවීම නිසා ශක්තිය ශරීරයේ (Aura)  දුර්වලවීම ස්ථිර වන අතර එයින් ලෞකික පැවැත්ම අභියෝගයට ලක්වන තත්ත්ව හට ගන්නා බව ද කිය යුතුව තිබේ.

මෙතෙක් අප ඉතුරු සුරක්ෂිත කර ගැනීම හා එසේ නොවී මුදල් නාස්තිවීම කෙරෙහි වන වාස්තු බලපෑම පිළිබඳ විග්‍රහ කළද මුදල් ලැබීම පිළිබඳ කරුණු සාකච්ඡා නොවීම අඩුපාඩුවකි. මේ සඳහා ඊශාන දිශාව බලවත් කිරීම සිදුවිය යුතු වේ. බොහෝ වාස්තු ශිල්පීන් දන්නා පරිදි ඊශාන දිශාව විවෘත ලෙස සාලය පිහිටුවා කවුළු වැඩි වැඩියෙන් යොදා සකස් කර ගැනීමක් නිවසට බාහිරින් මිදුලේ පවා හැකිතාක් විවෘත ගහකොළවලින් පවා වදුල අඩු විවෘතභාවයක් හා ප්‍රමාණවත් ඉඩකඩක් සහිතව පැවතීම මෙහිදී වැඩි සැලකිල්ලකින් ගොඩනඟා ගත යුතු වාස්තු පිළිවෙත් සමුදායක් ලෙස පවත්වා ගැනීම අතිශයින් වැදගත් වේ.

මෙහිදී සාම්ප්‍රදායික වාස්තු ශාස්ත්‍රයන්හි දී පවා උතුරු දිශාවට ලබා දී ඇති වටිනාකමද අප විසින් අවතක්සේරු කළ යුතු නොවේ. එබැවින් ලැබීම් වැඩිදියුණු කර ගැනීමට ඊශාන දිශාවට ලබාදෙන අගයට නොදෙවැනි අගයක් උතුරු දිශාවටත් ලබාදීම අප විසින් නිර්දේශ කළ යුතු වේ.

මේ අනුව උතුරු ඊශාන, නැඟෙනහිර තුන් දිශාවේම මුළුතැන්ගෙය, වැසිකිළි, ගරාජ, පඩිපෙළවල්, ප්‍රධාන නිදන කාමර ආදිය නොපිහිටුවා එකී ලැබීම් පිළිබඳ ශක්තිමය වටපිටාව බලවත් කිරීමද අප විසින් සිදු කළ යුතුම වේ.

මෙසේ ලැබීම් හා ඉතුරුම් ශක්තිමත් කරන ශක්තිමය වාතාවරණයක් සහිතව සිය කුටුම්බය බලවත් කොට ගැනීම නිසැකව ආර්ථිකයෙන්ද පොහොසත් ශුභ ප්‍රතිඵලයන් ලබා දෙන සොඳුරු නිවහනක් ගොඩනංවා ගැනීමට මහත් සේ ඉවහල් වනු ඇත.

 

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.