එදිනෙදා භාවිතයට අත්දුටු ඖෂධ

මැයි 3, 2024

අපට නිතර නිතර ඇතිවන පුංචි පුංචි රෝගාබාධවලට භාවිත කළ හැකි අත්දුටු ඖෂධ සුබසෙත පුවත්පතේ පාඨකයින්ගේ ප්‍රයෝජනය සඳහා උපකාර වේ යැයි සිතමි.

මුත්‍රා දැවිල්ලට

කොත්තමල්ලි අව්වේ වියළා කුඩුකර සූකිරි කුඩු දමා, තැඹිලි වතුර සමඟ දියකර පෙරා බොන්න. ඊටම වියළි නෙල්ලි පෙති කිහිපයක් පිරිසුදු වතුර දමා වසා රැයක් තබා පසුදා උදේ පෙරා සීනි දමා බොන්න. දින කිහිපයක් බොන්න.

ඊටම දින පතා පිරිසුදු වතුර නිතර නිතර බොන්න.

පාචනයට

සූදුරු කබලේ බැද කුඩුකර මේෂ හැඳි එකක් උතුරන වතුර පතට දමා වසා පෙරා බොන්න. දිනකට හතරවරක් පමණ.

ඊටම හාල් බැඳි කැඳ සාදා තුන්වරක් බොන්න දෙන්න.

ආහාර රුචිය වැඩීමට

උළු හාල් බැද තම්බා දීම. කිරි හොදිවලට උළුහාල් දමා සකස්කර දෙන්න.

ඇඟ උෂ්ණයට

අශෝක පොතු කලං 6ක් ගෙන එළකිරි පතක් වතුර පත 07ක් අට එකට සිඳු බොන්න. දින කිහිපයක් බොන්න සුවය උදාවේ.

පීනසට

පිටවක්කා මුල්, තිප්පිලි මුල්, වියළි ඉඟුරු කලං 4 බැගින් ගෙන වතුර පත 8 එකට සිඳුවා පෙරා තිප්පිලි කුඩු දමා බොන්න. දින කිහිපයක් බොන්න.

ඊටම

රතු ලූනු ගොටුකොළ සමඟ ගෙන කොටා මිරිකා පෙරා මී පැණි ටිකක් දමා උදේ හිස් බඩ බොන්න. දින කිහිපයක් බොන්න.

බඩේ කැක්කුමට

සුදු ලූනු, ගම්මිරිස් ඇට ටික ටික සමව ගෙන තම්බා පෙරා එයට දෙහි යුෂ දමා බීමෙන් බඩේ කැක්කුම, වාත කැක්කුම සුව වේ.

සෙම් කැඩී යෑමට

ඇඹුල් දොඩම් ඉස්ම, අමු ඉඟුරු ඉස්ම සමව ගෙන එයට සීනි මී පැණි සමඟ දියකර බුද්ධ රාජ කල්කය දිය කර වරකට තේ හැඳි 02 බැගින් බොන්න. දිනකට හතර වරක් නොකඩවා දින කිහිපයක් බීමෙන් සුවය උදා වේ.

උළුක්කුවට

තෙල් එඬරු ගහේ පංචාංගය කහ, ලුණු දමා කොටා තල් තෙල් දමා මලවා බඳින්න. දින 5කින් පමණ සුවවේ.

තද දත් කැක්කුමට

කරවිල ගෙඩියක් ඇට ඉවත් කර ගම්මිරිස් ඇට, සුදුලූනු, සමව ගෙන අඹරා කරවිල ගෙඩියට දමා ඇස් වසා වාස්ප දුමින් තම්බා (කඩපිම්මේ තම්බා) මිරිකා යුෂ ගෙන කපුපුලුංවල දවටා දත් කුහරයේ තබන්න සුවවේ.

 

දේශීය ආයුර්වේද වෛද්‍ය,

විෂ වෛද්‍ය විශාරද

එච්.එම්. කිත්සිරි බණ්ඩාර

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.