ඔබ ලොකු ධනවතෙක්ද? පොඩි ධනවතෙක්ද?

මාර්තු 22, 2024

වර්තමානයේ ඡ්‍යොතිෂය සේවාලාභීන් බොහෝ දෙනෙක් තම කේන්දර ඡ්‍යොතිෂවේදීන් වෙතින් පරීක්ෂා කර ගැනීමේ දී තමාගේ ආර්ථික ශක්තිය හෙවත් ධන ශක්තිය කෙසේද? යන්න පිළිබඳව කරුණු විමසති. එයට ප්‍රධාන හේතුව නම් වර්තමානයේ මෙරට පවතින ආර්ථික අර්බුදයයි.

ඒ මාතෘකාව යටතේ මෙම ලිපිය සුබසෙතට ලිවීමට අදහස් කලේ සාමාන්‍ය ඡ්‍යොතිෂ දැනුමක් ඇති අයට තමාගේ හෝ අන් කෙනෙකුගේ ලග්න කේන්දරය අතට ගෙන මෙම ලිපියෙහි විග්‍රහ කෙරෙන කරුණු උපයෝගී කරගෙන තමාගේ හෝ අන් කෙනෙකුගේ ධන ශක්තිය කෙසේද යන්න පිළිබඳව දැන ගැනීමට බෙහෙවින්ම උපකාරීවන නිසාය. ඒ අනුව ලග්න කේන්දරය 2, 11 යන භාව ධන භාව ඡ්‍යොතිෂය පිළිබඳව සුළු දැනුමක් ඇති අයවලුන් පවා දන්නා කරුණකි. මෙකී භාව දෙකෙන් දෙවැන්නෙන් තමා සන්තකයේ පවතින ධන හෙවත් ඉතිරි කර තබා ගන්නා ධනය එනම් බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති ධනය පෙන්නුම් කරන අතර 11 වැන්නෙන් තම රැකියා, ව්‍යාපාර කටයුතුවලින් උපයන ධන පෙන්නුම් කරන්නේ ය.

ඒ අනුව මෙකී 2, 11 භාවාධිපතියන් 1, 4, 7, 10 යන කේන්ද්‍ර ස්ථානයක හෝ 5, 9 යන ත්‍රිකෝණ ස්ථානයක පතිතව කේන්ද්‍ර, ත්‍රිකෝණ ස්ථානාධිපතියන්ගේ දෘෂ්ටියෙන් හෝ සංයෝගයෙන් පෝෂිතව මිත්‍ර ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණ යනාදී බලයකින් යුතුව පිහිටා ඇත්නම් සහ එකී ධන ස්ථානාධිපතියන් ලග්න මෙන් නවාංශක කේන්දරයේද මිත්‍ර, ස්වක්ෂේත්‍ර, මුල ත්‍රිකෝණ, උච්ච යනාදි බලයකින් යුතුව පිහිටා ඇත්නම් ඔහු හෝ ඇයගේ ධන ශක්තිය යහපත්ය.

මෙකී 2, 11 යන ධන භාවාධිපතියන්, එම භාවයන්හිම පතිතව ඇත්නම් හෝ 2 අධිපති 11හිත් 11 අධිපති දෙවැන්නෙහි තැන්පත්ව හෝ, 2, 11 අධිපතියන් 2 වැන්නෙහි හෝ 11 වැන්නෙහි සංයෝගව හෝ මෙකී 2, 11 අධිපතියන් කේන්ද්‍ර හෝ ත්‍රිකෝණස්ථානයක සංයෝගව සිටියදී කේන්දර හෝ ත්‍රිකෝණ ස්ථානාධිපතියන්ගේ දෘෂ්ටියට හෝ සංයෝගයට ලක්ව ඇත්නම් ඔහුට හෝ ඇයට ප්‍රබල ධන ශක්තියක් ඇත.

එසේම මෙකී ධන භාවාධිපතියන් යටකී ශුභ භාවවල පිහිටා ශුභ ග්‍රහයන්ගේ බලපෑමට ලක්ව සිටියි නම් ඔහු හෝ ඇය මධ්‍යස්ථ ධනයකට හිමිකම් කියන්නේ ය.

මෙකී ධනස්ථාන අධිපතියන් 6, 8, 12 යන දුෂ්ට භාවයක හෝ බාධක භාවයක, 22 වෙනි දෙර්කාණාධිපති හෝ 64වෙනි නවාංශකාධිපතිට අයත් භාවයක පතිතව සහජ පාපීන් වන රවි, කුජ, ශනි, රාහු, කේතු යන ග්‍රහයන් වැඩි දෙනෙක් ගේ දෘෂ්ටියෙන් හෝ සංයෝගයෙන් පීඩා වී ඇත්නම් හෝ යටකී භාවයක පතිතිව දුෂ්ට ස්ථානාධිපතියන්ගේ හෝ බාධක ස්ථානාධිපතියන් ගේ දෘෂ්ටියෙන් හෝ 22 වෙනි දෙර්කාණාධිපති හෝ 64 වෙනි නවාංශකාධිපතියන්ගේ දෘෂ්ඨියෙන් සංයෝගයෙන් පීඩා වී ඇත්නම් ඔහු හෝ ඇය ධන හීනයෙකි. නැතිනම් දිළිඳු පුද්ගලයෙකි.

මෙතැනදී ධනකාරක ගුරුගේ බල දුබලතාවයන් ගැනද විමසා බැලිය යුතු ය. මක් නිසාද යත් ලැබෙන ධනය සුරක්ෂිත කිරීමට වැඩි වර්ධනය කිරීමට මෙන්ම ඉතිරි කිරීමට ගුරු ග්‍රහයා මහෝපකාරී වන හෙයිනි. ඒ අනුව ලග්න කේන්දරය මෙකී ගුරු 1, 2, 4, 5, 7, 9, 10, 11 යන භාවයක ශුභ ග්‍රහයන්ගේ වික්ෂණයට භාජනයව බලවත්ව ඇත්නම් එය ලැබෙන ධනය වැඩි වර්ධනය කර ගැනීමටත් සකසුරුවම් සහිතව ධනය වියදම් කිරීමටත් හේතු වන්නේය.

එමෙන්ම ලග්නය ධනය ලබා දෙන ධනස්ථානාධිපතියන්ගෙන් ධනය ලැබීමට නම් එකී ග්‍රහයාට අයත් මහ දශාවක් හෝ අතුරු දශාවක් ලැබිය යුතු ය. මෙහිදී ධනස්ථානාධිපතියන් බලවත්ව සිටියත් විශේෂයෙන් එකී ධනස්ථානාධිපතියන්ට අයත් අතුරු දශාවක් ලබා ඇති කල එකී ධනස්ථානාධිපතියත් සහ ධන කාරක ගුරු ග්‍රහයා ගෝචරයෙන් බලවත් නොවේ නම් ධනලාභ නොලැබෙන්නේ ය. ඒ අනුව ලග්න 12ට ධනය ලබා දෙන ග්‍රහයන් පහත දක්වා ඇත.

මේෂ ලග්නය

මේෂ ලග්නයට 2 - 7 අධිපති සිකුරු සහ 10 - 11 අධිපති ශනි ධනස්ථානවලට අධිපතිත් වන හෙයින් සිකුරු සහ සෙනසුරු මේෂ ලග්න කේන්දරයක ධනය ලබා දෙන ප්‍රධාන ග්‍රහයන් වෙති. ඒ අනුව සිකුරු ග්‍රහයා 2 වැන්නෙහි පතිතව ස්වක්ෂේත්‍ර බලය ලබා ඇති විට මේෂ ලග්න හිමියාට ධනය ලබාදෙන නමුත් මෙකී සිකුරුගෙන් උසස් ධන සම්පතක් හිමි වීමට නම් සිකුරු ග්‍රහයා මේෂ ලග්නය යෝගකාරකත්වයක් උසුලන රවි, සඳු, කුජ යන ග්‍රහයන්ගේ ශුභ බලපෑමට ලක්ව සිටිය යුතු ය. මෙහිදී මේෂ ලග්න කේන්දරයට ප්‍රබල යෝගකාරකත්වය උසුලන ගුරුගේ සහ අය භාවාධිපති එනම් 11 වැන්නාධිපති ශනි දෘෂ්ටිය හෝ සංයෝගය යහපත් නැත. මන්දයත් සිකුරු ග්‍රහයාගේ බලය ගුරු, ශනි ග්‍රහයන්ගේ බලපෑම මඟින් බෙලහීනවන නිසාය. සෙනසුරු ග්‍රහයා 11 වැන්නේ මුල ත්‍රිකෝණ බලය ලැබ තනිවම සිටියි නම් සාමාන්‍ය ධන සම්පතක් මිස උසස් ධනයක් මේෂ ලග්න හිමියාට ලබා දෙන්නේ නැත. මන්ද සෙනසුරු මේෂ ලග්න කේන්දරයට බාධක ග්‍රහයා වී 11 වැන්නෙන් පතිතවීමෙන් මහා බාධක ග්‍රහයා වන නිසාය. ඒ නමුත් සෙනසුරු මේෂ ලග්න කේන්දරයට ප්‍රබල යෝගකාරක ග්‍රහයා වන ගුරු සමඟ සංයෝග වී හෝ ගුරුගේ දෘෂ්ටිය භාජනය වී ඇත්නම් එවන් ග්‍රහ පිහිටීමක් ඇති මේෂ ලග්න හිමියාට සෙනසුරු උසස් ධන සම්පතක් ලබා දෙන්නේ ය. මෙකී සෙනසුරු තවද මේෂ ලග්නයට යෝගකාරකත්වය උසුලන අඟහරු ග්‍රහයා සමඟ මහා පරිවර්තන යෝගයකට සම්බන්ධව (1 - 11 අතර) බලවත් ගුරුගේ සංයෝගයට හෝ දෘෂ්ටියට භාජනය වී ඇත්නම් එවන් ග්‍රහ බලයක් ඇති මේෂ ලග්න හිමියාට ද උසස් ධන සම්පතක් උරුම වන්නේ මෙකී ශනි ලග්නයේ හෝ 11 වැන්නෙහි ලග්නාධිපති කුජ සමඟ යෝගව භාග්‍යස්ථානාධිපති ගුරුගේ දෘෂ්ඨියක් හෝ සංයෝගයක් වේ නම් එවන් ග්‍රහ බලයක් ඇති මේෂ ලග්න හිමියාටද උසස් ධන සම්පතක් උරුම වන්නේ ය. එමෙන් මෙකී මේෂ ලග්නයට ධනස්ථානාධිපතියන් වන සිකුරු සහ ශනි 7 වැන්නේ පිළිවෙළින් මාලවී සහ සස නම් පංච මහා පුරුෂ යෝගය උදා කරන හෙයින් මෙකී ග්‍රහයන් දෙදෙනාගෙන් කෙනෙක් 7 වැන්නෙහි යෙදී ශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටියට ලක් වූ කල හවුල් ව්‍යාපාරවලින් විවාහයෙන් ධනය ලැබෙන්නේ ය.

වෘෂභ ලග්නය

වෘෂභ ලග්නයට 2 වැන්නාධිපති බුධ සහ 11 වැන්නාධිපති ගුරු ධනය ලබා දෙන ප්‍රධාන ග්‍රහයන් වෙති. මෙහිදී මෙකී ග්‍රහයන් මෙකී භාවවල පතිතව සිටීමෙන් එනම් 2 අධිපති බුධ දෙවැන්නෙහිත් 11 වැන්නාධිපති ගුරු 11 වැන්නෙහිත් සැලකිය යුතු ධනයක් ලැබෙන්නේ ය. මෙකී බුධ, ගුරු ග්‍රහයන් දෙදෙනාට ලග්නාධිපති සිකුරුගේ සහයෝග කාරක සෙනසුරුගේ දෘෂ්ටියක් හෝ සංයෝගයක් වේ නම් එවැනි ග්‍රහ බලයක් ඇති වෘෂභ ලග්න හිමියන්ට උසස් ධන සම්පතක් හිමි වන්නේ ය. එමෙන්ම මෙකී ධනස්ථාන අධිපතියන් දෙදෙනා ඔවුනොවුන්ගේ භාව හුවමාරු කර ගනිමින් මහ පරිවර්තන යෝගයකට හෝ මෙකී භාවාධිපතියන් දෙදෙනා 2 වැන්න ලග්නය 11 වැන්න යන භාවයක පතිතව සිටියදී ලග්නාධිපති සිකුරු යෝග කාරක සෙනසුරු ග්‍රහයාගේ දෘෂ්ටියක් හෝ සංයෝගයක් ඇත්නම් එවන් ග්‍රහ පිහිටීමක් ඇති, වෘෂභ ලග්න ජන්මින් ධන කුවේරයන් බවට පත් වන්නේ ය. මෙකී බුධ, ගුරු යන වෘෂභ ලග්නයට ධනය ලබා දෙන ග්‍රහයන් දෙදෙනාම හෝ ඔවුන්ගෙන් කෙනෙක් 4, 5, 7, 9, 10 යෝග කාරක ශනි ලග්නාධිපති සිකුරු යන ග්‍රහයන්ගේ දෘෂ්ටියට හෝ සංයෝගය භාජනය වී ඇත්නම් එවන් ග්‍රහ පිහිටීමක් ඇති වෘෂභ ලග්න හිමියන්ට හිමි වන්නේ සාමාන්‍ය ධනයකි.

මිථුන ලග්නය

මිථුන ලග්නයට 2 අධිපති සඳු සහ 11 වැන්නාධිපති අඟහරු ධනස්ථානාධිපතියන් වන අතර මෙකී ග්‍රහයන්ගේ ස්වකීය භාවල පතිතව ඇත්නම් හිමි වන්නේ සාමාන්‍ය ධනයකි. ඒ නමුත් මෙකී භාවාධිපතියන් මිථුන ලග්නයට යෝග කාරකත්වය දරන බුධ සහ සිකුරු යන ග්‍රහයන්ගේ දෘෂ්ටියට හෝ සංයෝගයට භාජනය වී එවන් ග්‍රහ බලයක් ඇති මිථුන ලග්න හිමියන්ට සැලකිය යුතු ධන සම්භාරයක් හිමි වන්නේ ය. මෙකී 2, 11 අධිපතියන් ලග්නයේ 2 වැන්නෙහි 11 වැන්නෙහි හෝ 2 අධිපති සඳු 11 වැන්නෙහිත් 11 වැන්නාධිපති කුජ 2 වැන්නෙහි පතිතව මහා පරිවර්තන යෝගයකට සම්බන්ධව සිටියදී එකී ග්‍රහයන් මිථුන ලග්නයට යෝග කාරක බුධ සිකුරු යන ග්‍රහයන් ගේ දෘෂ්ටියට හෝ සංයෝගයට ලක්ව සිටී නම් එවන් ග්‍රහ බලයක් ඇති මිථුන ලග්න ජන්මීන් කෝටිපතියන් බවට පත් වන්නේ ය. ඒ හැර මෙකී සඳු, කුජ යන ග්‍රහයන් 4, 5, 9, 10 යන භාවයක භාවය පතිතව සිටියදී යෝගකාරක බුධ සිකුරු යන ග්‍රහයන්ගේ ශුභ බලපෑමට ලක්ව ඇත්නම් එවන් ග්‍රහ බලයක් ඇති ජන්මින්ට හිමි වන්නේ සාමාන්‍ය ධනයකි. එසේම මෙකී මිථුන ලග්නයට ධන ලබා දෙන සඳු, කුජ යන ග්‍රහයන් දෙදෙනාගෙන් අඟහරු ග්‍රහයා අය භාවයට මෙන්ම එනම් 11 වැන්නට මෙන්ම දුෂ්ට භාවයක් වන 6 වැන්නට ද හිමිකම් කියන හෙයින් අඟහරු 8 වැන්න වූ මකර රැසෙහි උච්චව යෙදී යෝග කාරක බුධ, සිකුරුගේ දෘෂ්ටියට ලක් වූ කල හර්ෂ නම් විපරිත රාජයෝගය යෙදෙන අතර, එය ස්වකීය සතුරන්ගෙන් ධනය ලබා දෙන විපරිත රාජයෝගයක් වන්නේ ය.

කටක ලග්නය

කටක ලග්නයෙන් උපන් ජන්මිනට ධන ස්ථානාධිපති (2 වැන්නාධිපති) රවි වන අතර අයස්ථානාධිපති (11 වැන්නාධිපති) සිකුරු වන්නේ ය. ඒ අනුව මෙකී ධනස්ථානාධිපතියන් දෙදෙනා ස්වකීය භාවවල පතිතව සිටියදී කටක ලග්නයට යෝගකාරක කුජ සහ අර්ධයෝගකාරක ගුරුගේ දෘෂ්ටියට හෝ සංයෝගයකට ලක්ව ඇත්නම් එවැනි ග්‍රහ පිහිටීමක් ඇති කටක ලග්න ජන්මින්ට එකී ධනස්ථානාධිපතියන්ට අයත් මග දශා අන්තර් දශාවලදී සැලකිය යුතු ධන සම්පතක් හිමි වන්නේ ය. මෙකී රවි, සඳු ග්‍රහ යුගල ලග්නය 2, 11 යන භාවයක සංයෝගව හෝ 2, 11 යන භාවයක මහා පරිවතන යෝගයක් උදා කරමින් සිටියදී එකී රවි, සඳු දෙදෙනා කටක ලග්නයට යෝගකාරක අඟහරු සහ අර්ධ යෝගකාරක ගුරුගේ දෘෂ්ටියට හෝ සංයෝගයකට ලක්වී ඇත්නම් එවන් ග්‍රහ බලයක් ඇති කටක ලග්න ජන්මීන්ට එකී ග්‍රහයන්ට අයත් මහ දශා අන්තර් දශාවලදී කෝටිපතියන් බවට පත් වන්නේ ය. එමෙන්ම මෙකී කටක ලග්න හිමියන්ගේ ධනස්ථානාධිපතියන් දෙදෙනාගෙන් කෙනෙක් වන රවි ග්‍රහයා 10 වැන්න වූ මේෂ රාශියෙහි යෙදී යෝග කාරක අඟහරු අර්ධ යෝගකාරක ගුරුගේ දෘෂ්ටියට හෝ සංයෝගයට ලක්ව සිටි විට වෘත්තීය කටයුතු මඟින් මහත් ධන සම්භාරයක් හිමි වන්නේ මක් නිසාද යත් 10 වැන්නේ රවි යෙදීමෙන් රවි දිග්බල ලබන හෙයින් සහ රවි උච්චවීමෙන් මයුරපාල යෝගය ද යෙදෙන හෙයිනි. ඒ හැර මෙකී ධනස්ථානාධිපතියන් දෙදෙනාට 7, 9 යන භාවයක යෙදී යෝගකාරක කුජ අර්ධ යෝග කාරක ගුරු යන ග්‍රහයන්ගේ දෘෂ්ටියට හෝ සංයෝගයට ලක් වූ කළ ඒවායේ ග්‍රහ පිහිටීමක් ඇති කටක ලග්න ජන්මින්ට හිමි වන්නේ සාමාන්‍ය ධනයකි.

සිංහ ලග්නය

සිංහ ලග්න කේන්දරයේ ධන භාවය වන 2 වැන්නටත් අය භාවය වන 11 වැන්නටත් අධිපති වන්නේ බුධ ග්‍රහයාය. බුධ දෙවැන්නෙහි හෝ 11 වැන්නෙහි පතිතව ඇති විට සිංහ ලග්න හිමියන්ට සාමාන්‍ය ධනයක් හිමි වන අතර, මෙකී ධනස්ථානාධිපති බුධ 2, 11 යන භාවයක යෝග කාරක අඟහරු, අර්ධ යෝගකාරක ගුරු ගේ දෘෂ්ටියට හෝ සංයෝගයට ලක් ඇත්නම් එවන් ග්‍රහ බලයක් ඇති සිංහ ලග්න හිමියන්ට එකී බුධ ග්‍රහයාට අයත් මහ දශාව අන්තර් දශාවලදී මහත් ධන සම්පතක් හිමි වීමෙන් ඔවුන් ධනපතියන් බවට පත් වන්නේ ය. ඒ හැර මෙකී 2, 11 අධිපති බුධ 4, 5, 7, 9, 10 යන භාවයක පතිතව යෝග කාරක කුජ අර්ධ යෝගකාරක ගුරු යන ග්‍රහයන් හෝ දෘෂ්ටියට හෝ සංයෝගයට භාජනය වී ඇත්නම් ලැබෙන්නේ සාමාන්‍ය ධනයකි.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්න කේන්දරයේ දෙවැන්නාධිපති වන්නේ සිකුරුය. 11 වැන්නාධිපති වන්නේ සඳුය. ඒ අනුව මෙකී ග්‍රහයන්ගේ 2 වැන්නාධිපති සිකුරු 2 වැන්නෙහි තැන්පත්ව ඇත්නම් එවන් ග්‍රහ පිහිටීමක් ඇනි නිසා කන්‍යා ලග්න හිමියන්ට උසස් ධන සම්පතක් හිමි වන්නේ සිකුරු ප්‍රබල යෝගකාරක ග්‍රහයා වන හෙයිනි. 11 වැන්නාධිපති සඳු 11 වැන්නේ පතිතව ඇත්නම් හිමි වන්නේ සාමාන්‍ය ධනයකි. මක් නිසාදයත් සඳු ලග්නාධිපති බුධට සතුරු ග්‍රහයෙක් වන නිසා ය. මෙහිදී 2 වැන්නාධිපති සිකුරු ලග්නයේ 2 යන භාවයක ලග්නාධිපති සමඟ සංයෝගව ඇත්නම් එවන් ග්‍රහ බලයක් ඇති කන්‍යා ලග්න හිමියන් රට තොට පිළිගත් ධනපතියන් වන්නේ මෙකී බුධ, සිකුරු යෝගය මඟින් ධර්ම කර්මාධිපති රාජයෝගයද යෙදෙන හෙයිනි. ඒ හැර මෙකී සඳු සිකුරු යන ධන භාවාධිපතියන් ලග්න 2, 11 යන භාවයක සංයෝගව ඇත්නම් හෝ 2 වැන්නාධිපති සිකුරු 11 වැන්නේ 11 වැන්නාධිපති සඳු දෙවැන්නෙහිත් තම තමන්ගේ භාව හුවමාරු කර ගනිමින් මහා පරිවර්තන යෝගයකට සම්බන්ධව යෝග කාරක බුධ ග්‍රහයාගේ දෘෂ්ටියට ලක්ව ඇත්නම් එවන් ග්‍රහ බලයක් ඇති කන්‍යා ලග්න හිමියන්ද මහ, ධන කුවේරයන් බවට පත් වන්නේ ය. ඒ හැර මෙකී ධනස්ථානාධිපතියන් දෙදෙනාගෙන් 2 වැන්නාධිපති වන සිකුරු ග්‍රහයා 7 වැන්නේ උච්චව යෙදුණු විට මාලවී නම් පංච මහා පුරුෂ යෝගය පැන නඟින අතර එලෙස පංච මහා යෝග උදා කල සිකුරු ග්‍රහයාට 11 වැන්නාධිපති, සඳු ලග්නාධිපති බුධ යන ග්‍රහයන්ගේ ශුභ දෘෂ්ටියක් වේ නම් එවන් ග්‍රහ බලයක් ඇති කන්‍යා ලග්න හිමියන් විවාහයෙන් හවුල් ව්‍යාපාර කටයුතුවලින් මහත් ධන සම්භාරයක් ලැබීමෙන් ධනපතීන් බවට පත්වන්නේ ය. එසේම 9 වැන්න වූ වෘෂභ රැසෙහි 11 වැන්නාධිපති සඳු උච්චව සස යෝගය උදා කරමින් ද 2 වැන්නාධිපති සිකුරු ස්වක්ෂේත්‍රව විෂ්ණු යෝගය උදා කරමින් ලග්නාධිපති බුධගේ දෘෂ්ටියට යෙදුණු විට ස්වකීය ව්‍යාපාර කටයුතුවලින් පියාගෙන් මහත් ධනයක් ලැබෙන්නේ ය. ධනස්ථානාධිපතියන් දෙදෙනා 4, 5, 10 යන භාවයක යෙදී ලග්නාධිපති බුධගේ දෘෂ්ටියට ලක් වී ඇත්නම් හිමිවන්නේ සාමාන්‍ය ධනයකි.

තුලා ලග්නය

තුලා ලග්නයට 2 අධිපති අඟහරු සහ 11 වැන්නාධිපති රවි ධනස්ථානාධිපතියන් වන්නේ ය. මෙකී ග්‍රහයන්ගෙන් දෙක අධිපති අඟහරු මාරක ග්‍රහයාවීමත් 11 වැන්නාධිපති රවි බාධක ග්‍රහයා වීමත් නිසා මෙකී ධනස්ථානාධිපතියන් ඔවුන්ගේ භාවල ස්වක්ෂේත්‍රව සිටීමෙන් උසස් ධන සම්පතක් ලබා නොදෙන නමුත් ඔවුන් තුලා ලග්න කේන්දරයට ශුභඵල දෙන, යෝග කාරක සෙනසුරු අර්ධ යෝගකාරක බුධ යන ග්‍රහයන්ගේ ශුභ බලපෑමට ලක්වී ඇත්නම් පමණ සැලකිය යුතු ධන සම්පතක් තුලා ලග්න ජන්මින්ට ලබා දෙන්නේ ය. ඒ අනුව මෙකී රවි, කුජ යන ග්‍රහයන් ලග්න දෙක 11 යන භාවයක සංයෝගව හෝ ඔවුන් නොවුන්ගේ භාව හුවමාරු කර ගනිමින් මහා පරිවර්තන යෝගයකට සම්බන්ධව සිටියදී තුලා ලග්නයට ශුභ ඵලදෙන ශුභ ග්‍රහයන්ගේ ශුභ බලපෑමට ලක්ව ඇත්නම් එවන් ග්‍රහ බලයක් ඇති තුලා ලග්න හිමියන් කෝටිපතියන් බවට පත් වන්නේ ය. මෙකී ධනස්ථානාධිපතියන් දෙදෙනාගෙන් දෙවැන්නාධිපති අඟහරු ග්‍රහයා 4 වැන්නෙහි උච්චව යෙදුණු විට රුචක නම් පංච මහා පුරුෂ යෝගය උදා කරන අතර එකී රුචකයෝගය උදා කල අඟහරු ග්‍රහයා යට කී තුලා ලග්නයට ශුභඵලදෙන ශුභ ග්‍රහයන්ගේ ශුභ බලපෑමට ලක්ව ඇත්නම් යන්ත්‍ර, සූත්‍ර රථවාහන ඉඩකඩම් ආදී 4 වැන්නට කාරක වන දේවල් කේන්ද්‍ර කොටගෙන මහත් ධනයක් හිමිවීමෙන් ධනවතුන් බවට පත් වන්නේ ය. තවද මෙකී රවි, කුජ යන ග්‍රහයන් 7 වැන්න වූ මේෂයේ යෙදීමෙන් රවි ග්‍රහයාගෙන් මයුරපාල යෝගයත්, කුජ ග්‍රහයාගෙන් රුචක නම් පංච මහා පුරුෂ යෝගයත් යෙදෙන හෙයින් මෙකී ග්‍රහයන් දෙදෙනාම හෝ දෙදෙනාගෙන් කෙනෙක් හත් වැන්නෙහි යෙදී ලග්නාධිපති සිකුරු යෝග කාරක සෙනසුරු අර්ධ යෝග කාරක, බුධ යන ග්‍රහයන්ගෙන් දෘෂ්ටියට හෝ සංයෝගයට ලක් වූ කල විවාහයෙන්, හවුල් ව්‍යාපාර කටයුතු ධනවත් බලවත් පුද්ගලයන් බවට පත් වන්නේ ය. ඒ හැර අන් භාවයක එනම් 5 වැන්නට කුම්භයේ 9 වැන්න වූ මිථුනයේ 10 වැන්න වූ කටකයේ මෙකී ධන භාවාධිපතියන් යෙදී තුලා ලග්නයට ශුභ ඵල දෙන ශුභ භාවාධිපතියන්ගේ ශුභ බලපෑමට ලක්ව ඇත්නම් එවන් ග්‍රහ බලයක් ඇති තුලා ලග්න හිමියන්ට ලැබෙන්නේ සාමාන්‍ය ධනයකි.

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්න හිමියන්ට 2 වැන්නාධිපති ගුරුත් 11 වැන්නාධිපති බුධත් ධනය ලබා දෙන ප්‍රධාන ග්‍රහයන් වෙයි. ඒ අනුව මෙකී ග්‍රහයන් දෙදෙනාගෙන් ගුරු ග්‍රහයා වෘශ්චික ලග්නයට යෝගකාරකත්වය උසුලන ග්‍රහයන් දෙදෙනාගෙන් ගුරු ග්‍රහයා වෘශ්චික ලග්නයට යෝග කාරකත්වයක් උසුලන ග්‍රහයෙක් වන හෙයිනුත් ධන කාරක ග්‍රහයා වන හෙයිනුත් 2 වැන්න වූ ධනු රැසෙහි ස්වක්ෂේත්‍රව යෙදුණු කල සැලකිය යුතු ධනයක් ලබාදෙන නමුත් බුධ ග්‍රහයා තම භාවය වන 11 වැන්නේ ස්වක්ෂේත්‍රව යෙදුණු විට ලැබෙන්නේ සාමාන්‍ය ධනයකි. මෙකී ග්‍රහයන් ඔවුනොවුන්ගේ භාව හුවමාරු කර ගැනීමෙන් (2 - 11) මහා පරිවර්තන ධන යෝගයක් හෝ මෙකී බුධ, ගුරු ලග්නය 2, 11 යන භාවයක සංයෝගව යෙදී ඇති විටකදී වෘශ්චික ලග්නයට යෝග කාරකත්වය දරන රවි, සඳු සහ ලග්නාධිපති අඟහරුගේ ශුභ බලපෑමට ලක් වූ කල එවන් ග්‍රහ පිහිටීමක් ඇති වෘශ්චික ලග්න හිමියන් රට තොට පිළිගත් මහා ධන කුවේරයන් බවට පත් වන්නේ ය. ඒ හැර මෙකී ගුරු බුධ යන ග්‍රහයන් දෙදෙනා ම හෝ දෙදෙනාගෙන් කෙනෙක් 4 වැන්න වූ කුම්භ රැසෙහි වෘශ්චික ලග්නයට ශුභ ඵල ගෙන දෙන ග්‍රහයන්ගේ ශුභ බලපෑමට ලක් වූ කල සාමාන්‍ය ධනයක් හිමි වන්නේ ය. මෙකී ග්‍රහයන් දෙදෙනාගෙන් ගුරු 5 වැන්න වූ මීන ස්වක්ෂේත්‍රව යෙදී රවි සඳු, ලග්නාධිපති කුජ, අය භාවාධිපති බුධ යන ග්‍රහයන්ගේ දෘෂ්ටියට හෝ සංයෝගයට ලක් වූ කල ස්වකීය බුද්ධිය, උගත්කම හේතු කොට ගෙන සැලකිය යුතු ධනය හිමි කර ගන්නේ ය. බුධ එලෙස යෙදුණු විට ලැබෙන්නේ සාමාන්‍ය ධනයකි. එමෙන් එකී බුධ, ගුරු 7 වැන්නෙහි යෙදී යටකී ශුභ ග්‍රහයන්ගේ බලපෑමට ලක් වී ඇත්නම් හිමි වන්නේ සාමාන්‍ය ධනයකි. එසේම මෙකී ධනස්ථානාධිපතියන්ගෙන් ගුරු ග්‍රහයා 9 වැන්න වූ කටක රැසෙහි යෙදී උච්චව ජය සිඳු යෝගය උදා කරමින් යට විග්‍රහ කළ ශුභ ග්‍රහයන්ගේ බලපෑමට ලක් වූ කල පියා උගත්කම ආගමික කටයුතු හේතු කොටගෙන මහත් ධනයක් ලබන්නේ ය. බුධ එලෙස යෙදුණු විට ලැබෙන සේ සාමාන්‍ය ධනයකි. මෙකී ග්‍රහයන්ගෙන් ගුරු 10 වැන්න වූ සිංහ රැසෙහි මිත්‍රව යෙදී ශුභ ග්‍රහයන්ගේ බලපෑමට ලක් වූ විට රැකියා කටයුතුවලින් සාමාන්‍ය ධනයක් ලැබෙන්නේ ය.

ධනු ලග්නය

ධනු ලග්නයට දෙක අධිපති සෙනසුරු සහ 11 වැන්නාධිපති සිකුරු ධනස්ථානාධිපතියන් වන අතර, ඒ අනුව මෙකී ග්‍රහයන් ස්වකීය භාවයන්හි පතිතව සිටියදී එනම් 2 වැන්නාධිපති සෙනසුරු මකර රාශියත් 11 වැන්නාධිපති සිකුරු 11 වැන්න වූ තුලා පතිතව සිටියදී, ධනු ලග්නයට යෝග කාරක ග්‍රහයන් වන රවි සහ අර්ධ යෝග කාරක කුජ, ලග්නාධිපති ගුරු යන ග්‍රහයන්ගේ ශුභ දෘෂ්ටියට ලක්ව ඇත්නම් සැලකිය යුතු උසස් ධන සම්පතක් හිමි වන්නේ ය. මෙහිදී 2 වැන්නාධිපති සෙනසුරු 11 වැන්නෙහි උච්ච වීමෙන් සස යෝගය යෙදෙන අතර, 11 වැන්නාධිපති සිකුරු 11 වැන්නේ සිටීමෙන් පියුමාකාර යෝගය යෙදෙන අතර මෙකී ග්‍රහයන් දෙදෙනාගෙන් කෙනෙක් 11 වැන්නෙහි පතිතව සිටියදී ධනු ලග්නයට ශුභඵල දෙන යටකී ග්‍රහයන්ගේ ශුභ දෘෂ්ටියට ලක්වී ඇත්නම් එවැනි ග්‍රහ පිහිටීමක් ඇති ධනු ලග්න හිමියන්ට රැකියා ව්‍යාපාර කටයුතුවලින් මහත් ධනයක් ලැබෙන්නේ ය. එමෙන් මෙකී ධනස්ථානාධිපතියන් දෙදෙනාගෙන් 11 වැන්නාධිපති සිකුරු සිව්වැන්නෙහි උච්චව මාලවී යෝගය උදා කරමින් දිග් බලය ලබා ඇති විටකදි එකී උච්ච සිකුරු ධනු ලග්නයට ශුභඵල දෙන ග්‍රහයන්ගේ ශුභ දෘෂ්ටියට ලක් වූ කල සුඛෝපභෝගි නිවාස, වාහන, තරු පහේ හෝටල් යනාදි සිකුරු ග්‍රහයාගේ කාරකත්වයක් දරන දේවල් මුල් කොට ගෙන මහා ධනවතුන් බවට පත්වන්නේ ය. ඒ හැර මෙකී ධනස්ථානාධිපතියන් දෙදෙනා සංයෝග නොවී 5, 7, 9, 10 යන භාවයක පතිතව ධනු ලග්න කේන්ද්‍රයට ශුභඵල දෙන යට කී රවි, කුජ, ගුරු යන ග්‍රහයන්ගේ සුබ දෘෂ්ටියට ලක්ව ඇත්නම් එවන් ග්‍රහ බලයකි ඇති ධනු ලග්න හිමියන්ට ලැබෙන්නේ සාමාන්‍ය ධනයකි.

මකර ලග්නය

මකර ලග්නයට 2 අධිපති සෙනසුරුත් 11 වැන්නාධිපති අඟහරු ශුභ ඵල දෙන ග්‍රහයන් වන්නේ ය. ඒ අනුව මෙකී ග්‍රහයන් දෙදෙනා ලග්නය 2, 11 යන භාවයක සංයෝගව හෝ ඔවුනොවුන්ගේ භාව හුවමාරු කර ගනිමින් සිටියි නම් එම ග්‍රහයෝග ප්‍රබල ධන යෝග වන හෙයින් එකී ධන යෝග උදා කල කුජ, ශනි යන ග්‍රහයන් මකර ලග්නයට යෝගකාරක බුධ, සිකුරු යන ග්‍රහයන්ගේ ශුභ බලපෑමට ලක් වී ඇත්නම්, එවන් ග්‍රහ පිහිටීමක් ඇති මකර ලග්න හිමියන් මහා ධන කුවේරයන් බවට පත් වන්නේ ය. එමෙන්ම මෙකී ග්‍රහයන් දෙදෙනා සිව්වැන්නවූ, මේෂ රැසෙහි සංයෝග වූ කල අඟහරුගෙන් රුචක යෝගයක්, ශනිගෙන් නීච භංග රාජ යෝගයක් යෙදෙන හෙයින්. මෙකී යෝග උදා කල කුජ, ශනි තවදුරටත් මකර ලග්නයට යෝගකාරක බුධ, සිකුරු යන ග්‍රහයන්ගේ ශුභ බලපෑමට ලක්ව ඇත්නම් එවන් ග්‍රහ බලයක් ඇති මකර ලග්න හිමියන් යන්ත්‍ර සූත්‍ර, මිනිරන්, ගල් අඟුරු ආකාර, ගොවිතැන් ආදී සිව්වැන්නට කාරක වන දේවල් මුල් කොට ගෙන ධනවතුන් බවට පත් වන්නේ ය. මෙකී ග්‍රහයන් දෙදෙනාගෙන් කෙනෙක් හෝ දෙදෙනාම 5 වැන්නේ යෙදී ඇති විටකදී මකර ලග්නයට යෝග කාරක බුධ, සිකුරු යන ග්‍රහයන්ගේ ශුභ දෘෂ්ටියට හෝ සංයෝගයට ලක්ව ඇත්නම් එවන් ග්‍රහ පිහිටීමක් ඇති මකර ලග්න හිමියන් මධ්‍යස්ථ ධනයකට හිමිකම් කියන්නේ ය. 7 වැන්නේ මෙකී ග්‍රහයන් දෙදෙනාම එනම් අඟහරු නීච වන හෙයිනුත් ශනි සතුරු වන හෙයිනුත් මෙකී ග්‍රහයන් දෙදෙනාම හෝ දෙදෙනාගෙන් කෙනෙක් 7 වැන්නෙහි යෙදුණු විට සුළු ධනයක් හවුල් කටයුතුවලින් විවාහයෙන් ලැබෙන්නේ ය. ඒ නමුත් එලෙස යෙදුණු කුජ, හෝ ශනි යෝග කාරක ග්‍රහයන්ගේ ශුභ බලපෑමට ලක්වී ඇත්නම් සැලකිය යුතු ධනයක් හිමි වන අතර මෙහිදී කුජ සමඟ සඳු යෙදීමෙන් නීච භංග රාජ යෝගයක් යෙදෙන අතර එකී රාජයෝගයට සම්බන්ධ කුජ සහ සඳු යෝගකාරක ග්‍රහයන්ගේ ශුභ බලපැමට ලක්වී ඇත්නම් උසස් ධන සම්පතක් විවාහයෙන් හවුල් ව්‍යාපාරවලින් ලැබෙන්නේ ය. එමෙන්ම මෙකී ග්‍රහයන් දෙදෙනාගෙන් කෙනෙක් වන අඟහරු 10 වැන්න වූ තුලා රාශියෙහි යෙදී යෝග කාරක ග්‍රහයන්ගේ ශුභ බලපෑමට ලක් වූ කල ලැබෙන්නේ මධ්‍යස්ථ ධනයකි. අනෙක් ග්‍රහයා වන සෙනසුරු 10 වැන්නේ යෙදුණු කල සස නම් පංච මහා පුරුෂ යෝගය යෙදෙන අතර, එලෙස සස යෝගය උදා කළ සෙනසුරු බුධ සිකුරු යන ග්‍රහයන්ගේ ශුභ බලපෑමට ලක්වී ඇත්නම් දේශපාලන කටයුතුවලින් රැකියා කටයුතුවලින්, ව්‍යාපාරික කටයුතුවලින් මහත් ධන ලැබීමෙන් එවන් ග්‍රහ පිහිටීමක් ඇති මකර ලග්න හිමියන් රට තොට පිළිගත් ධනවත් බලවත් පුද්ගලයන් බවට පත් වන්නේ ය.

කුම්භ ලග්නය

කුම්භ ලග්නයට 2 - 11 අධිපති වන්නේ ගුරුය. මෙම ගුරු 2 වැන්න වූ මීනයේ හෝ 11 වැන්න වූ ධනුවේ පතිතව ස්වක්ෂේත්‍ර බලය ලබා කුම්භ ලග්නයට යෝග කාරක බුධ, සිකුරු සහ ලග්නාධිපති සෙනසුරුගේ ශුභ බලපෑමට ලක් වූ විට මහත් ධනය ලබන්නේ ය. මෙහිදී මෙකී ගුරු 4, 5, 7, 9, 10 යන භාවයක පතිතව සෙනසුරු, බුධ, සිකුරු යන ග්‍රහයන්ගේ දෘෂ්ටියට හෝ සංයෝගයට ලක් වූ කල ලැබෙන්නේ මධ්‍යස්ථ ධනයකි.

මීන ලග්නය

මීන ලග්නයට 2 වැන්නාධිපති කුජ සහ 11 වැන්නාධිපති සෙනසුරු ධනය ලබා දෙන ප්‍රධාන ග්‍රහයන් වෙයි. මෙහිදී අඟහරු, මීන ලග්නයට යෝගකාරක ග්‍රහයා වන හෙයින් මෙකී අඟහරු ලග්නය 2, 11 යන භාවයක තනිවම පතිත වූ කල සාමාන්‍ය ධනයක් ලැබෙන අතර මෙකී අඟහරු 11 වැන්නාධිපති සෙනසුරු සමඟ ලග්නය 2, 11 යන භාවයක සංයෝගව හෝ ඔවුනොවුන්ගේ භාව හුවමාරුකර ගනිමින් සිටියදී, ලග්නාධිපති ගුරු අර්ධ යෝග කාරක සඳු යන ග්‍රහයන්ගේ ශුභ බලපෑමට ලක්වී ඇත්නම් එවන් ග්‍රහ බලයක් ඇති මීන ලග්න හිමියන් මහ ධන කුවේරයන් බවට පත් වන්නේ ඒ හැර මෙකී ග්‍රහයන් 4, 5, 7 යන භාවයක යෙදී ගුරු සඳු යන ග්‍රහයන්ගේ ශුභ බලපෑමට ලක් වූ කල ලැබෙන්නේ සාමාන්‍ය ධනයකි. මෙකී ග්‍රහයන් දෙදෙනාගෙන් කුජ 9 වැන්න වූ වෘශ්චික රාශියේ ස්වක්ෂේත්‍ර බලය ලැබ ගුරු සහ අර්ධ යෝගකාරක සඳුගේ දෘෂ්ටියට හෝ සංයෝගයට ලක් වූ කල එවන් ග්‍රහ බලයක් ඇති මීන ලග්න හිමියන්ට මහත් ධනයක් ලැබෙන්නේ පෙර කරන ලද පින් පලදීම නිසාය. මීන ලග්න හිමියන්ගේ මෙකී ධන කාරක ග්‍රහයන් දෙදෙනාගෙන් අඟහරු 10 වැන්නේ එනම් ධනුවේ මිත්‍රව සිටියදී ලග්නාධිපති ගුරු අර්ධ යෝගකාරක සඳු යන ග්‍රහයන්ගේ ශුභ බලපෑමට ලක්ව ඇත්නම් එවන් ග්‍රහ බලයක් ඇති මීන ලග්න හිමියන්ට රැකියා කටයුතු ව්‍යාපාර කටයුතු මඟින් මහත් ධනයක් හිමි වන්නේ ය.

 

ඡ්‍යොතිෂවේදී උදම් පෙරේරා 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.