හොල්මන් සමඟ ඇයි හොඳයිකම් පැවැත් වූ සිංහල නවකතාකාරිය

මාර්තු 8, 2024

ඇය වර්තමානයේ ප්‍රකට නවකතා කතුවරියක වන දර්ශනා ශම්මි විජේතිලකය. කලකට පෙර එංගලන්තයේ රැකියාවක නිරතව සිටි ඇය එංගලන්තයේ නිව් බෝල්ඩන් ප්‍රදේශයේ ඇම්බවුඩ් රයිස්හි දුම්රිය පොළෙන් බසින විට වේලාව රාත්‍රී 7.00 ට ආසන්න වී තිබිණි. ඒ වන විට එංගලන්තයේ පදිංචිව සිටි තමාගේ වැඩිමහල් සොහොයුරියගේ නිවෙසේ නැවති සිටි ඇයගේ අභිප්‍රාය වූයේ හැකි ඉක්මනින් නිවෙසට ගොඩවැදීමය.

ඒ සඳහා ඇය තෝරාගෙන තිබුණේ තරමක් අප්‍රකට පටු මාවතකි. එය මඳක් පාළු ස්වභාවයෙන් යුක්ත වූ බැවින් සිය සොහොයුරියගේ අවවාදය වී තිබුණේ ඒ ඔස්සේ නොපැමිණෙන ලෙසය. එහෙත් ඇයගේ නිවෙස වෙත ඉක්මනින් යාම සඳහා වූ කෙටිම මාර්ගය මෙය වූ බැවින් දර්ශනා, තම සොහොයුරියගේ අවවාදය අමතක කර දමා ඒ ඔස්සේ ගමන් කරන්නට පුරුදුව සිටියාය.

මේ මාර්ගයෙහි තැනක කදිමට තැනූ හුරු බුහුටි දැකුම්කළු නිවෙසක් විය. මේ නිවෙස අසල ඉතා ප්‍රිය මනාප කාන්තාවක් සිටින බව ඇය දැක තිබුණාය. සාමාන්‍යයෙන් අඳුරු වැටීමෙන් අනතුරුව මේ අතුරු මඟෙහි යන්නන් හා වචනයක් දෙකක් කතා කිරීම ඇයගේ සිරිතක් විය. ඇය මේ ලේඛිකාව සමඟ ද කීප වතාවක් වචනයක් දෙකක් හෝ කතාකර ඇති අතර, එය මේ පාළු මාවතෙහි ගමන් කරන ඇයගේ සිතට හයියක් ද ගෙන ආවේය. ඇත්තම කියන්නේ නම් සිය සොයුරිය පැවසූ ආකාරයේ පාළුවක් ඇයගේ සිතට නොදැණුනේ කාරුණික පෙනුමකින් යුත් මේ කාන්තාව හේතුකොට ගෙනය.

මේ අතර නිවාඩු දිනෙක සොහොයුරිය සහ පවුලේ සාමාජිකයන් සමඟ සතුටු සාමීචියක යෙදී සිටින විට ඇය පවසා තිබුණේ, තමාට නම් එම පටු මඟෙන් පැමිණිමේදී පාළුවක් හෝ බියක් නොදැනෙන බවය. එයට හේතුව ලෙස ඇය පෙන්වා දුන්නේ, එසේ වන්නේ අතරමඟ කුඩා නිවෙසේ සිටින කාන්තාවගේ කතාබහෙන් තමාගේ හිතට හයියක් ඇති වන නිසා බවය. මෙය ඇසූ ඇයගේ සොහොයුරියද, සැමියාද ඇතුළු සියල්ලෝම මොහොතකට ගල් ගැසුණු අතර, සොයුරිය ඇයට තදින් බැණ වැදුණේ. යළි කිසි දිනෙක දිවා කාලයටවත් ඒ පාරෙන් ගමන් නොකරන ලෙස තරවටු කරමිනි. එයට හේතුව වී ඇත්තේ පෙරකී පියකරු මහලු කාන්තාව සැබැවින්ම ජීවත්වන්නියක් නොව, අවතාරයක් වීම හේතුවෙනි.

හුදෙකලාව දිවි ගෙවූ ඇය මිය ගොස් ඇත්තේ ශීත කාලයේදී උණුසුම් ඇඳුම් පැලඳුම්වලින් තොරව හදිසියේ මිදුලට බැසීම නිසා ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙනි. තමා දින ගණනාවක් තිස්සේ වරින් වර මුණගැසී ඇත්තේ හොල්මනක් නොවේදැ'යි සිහිපත්වීමෙන් නම් දර්ශනා තුළ ක්ෂණයකින් ඇති වූයේ සියොළඟම ශීතල කරවන ආකාරයේ තැති ගැන්මකි. පෙර කී දිනයෙන් පසු ඇය යළි කිසි දිනක එම මඟෙහි තනිවම ගමන් ගත්තේ නැත.

මේ සිදුවීම මෙන්ම එංගලන්තයේදී අසන්නට ලැබුණු හොල්මන් පිළිබඳව තවත් අත්දැකීම් ගණනාවක්ද ඇය මේ ලියුම්කරු සමඟ පවසා ඇති අතර, පසුව ඇය ඒවා රචිත “එංගලන්තයේ සැබෑ ලෝකය” නැමැති කෘතියටද ඇතුළත් කළාය. ඇය මෙන්ම ඇයගේ සොහොයුරියද මුහුණ දුන් තවත් අත්දැකීමකට පසුබිම් වූයේ නිව් වෝල්ඩන් නගරය ආසන්නයේ පිහිටා ඇති අධි සුඛෝපභෝගී සාත්තු රෝහලකි. කොන්සින්ටන් හවුස් නමින් ප්‍රසිද්ධ එහි ස්ලීපින් රාජකාරිය වශයෙන් සැලකෙන රාත්‍රී රාජකාරිය සඳහා දර්ශනාගේ සොහොයුරිය එහි යයි. එම රැකියාව සඳහා යන සිය සොහොයුරිය සමඟ දර්ශනා ද ඉඳහිට එහි යාමට පුරුදුව සිටියාය.

මේ රෝහලේ විසිත්ත කාමරයේ, ඕක් ලීයෙන් තනා විසිතුරු ලෙස කැටයම් කරන ලද අගනා පුටු දොළසක් ඇති අතර ඉන් එකක් සුවිශේෂී ආසනයක් බවට පත්වී තිබේ. ඒ පුටුව ගැන දන්නා කියන කිසිදු සේවකයකු රාත්‍රි කාලයේ එම පුටුවේ වාඩි නොවේ. මනසට පමණක් නොව, කයටද දැනෙන පරිදි ක්‍රියාත්මක වන භෞතික බලයකින් පුටුවේ වාඩිවුණ තැනැත්තා ඉවතට ඇද දැමීමත්, එසේ නැත්නම් පුටුවටම තබා තද කරගෙන සිටීමත් එයට හේතුව බව දර්ශනා පවසයි. දර්ශනා, දිනක් එහි සිටි තවත් මිතුරියකුත් සමඟ එහි වාඩි වූවාය. ගැහෙන හදවත්වලින් යුතුව විනාඩි පහක් පමණ ගත කළ නමුත් කිසිවක් සිදුවූයේ නැත. එබැවින් ඔවුහු දෙදෙනා පුටුවෙන් නැගිටින්නට තීරණය කළහ.

ඉක්බිති ඔවුන් නැගිටින්නට ගත් උත්සාහයත් සමඟ ඇයගේ සුදු ජාතික මිතුරිය පසෙකට විසි වී ගියේ යමකු විසින් තල්ලු කර දැමූ කලෙක මෙනි. දර්ශනාට සිදු වූයේ කෙතරම් ආයාසයක් දරුවද නැගිට ගත නොහැකි අයුරින් පුටුවට තදවී සිටීමටය. එය යමකු විසින් පුටුවට තබා තදකර අල්ලා සිටින්නාක් බඳු හැඟීමක් වී යයි ඇය පවසයි. ඇයට පුටුවෙන් නැගිටගත හැකි වූයේ තවත් මිනිත්තු කීපයක්ම ඒ ඉරියව්වෙන්ම හිඳගෙන සිටීමෙන් අනතුරුවය.

එහෙත් සමහර හොල්මන් සාමාන්‍ය දේවල් බවට පත්වීම නිසා ඔවුන් සමඟ වාසය කිරීමටද ඇතැම් නිවැසියෝ පුරුදු වී සිටිති. මේ ඉන් එක අත්දැකීමකි. ඇයගේ මිතුරු වෛද්‍යවරියක වූ රයිලි ලන්ඩනයට පැමිණි අලුත බෝඩිමක් සොයා යෑමේ දී කුඩා ග්‍රොසරියක වූ දැන්වීමක සඳහන්ව තිබුණේ බළලුන්ට බිය නැති කාන්තාවක් සඳහා නවාතැන් පහසුකම් ඇති බවය. රයිලිද සුරතල් සතුන්ට ආදරය කරන්නියක බැවින් ඉතා කැමැත්තෙන් බෝඩිම තෝරා ගත්තාය. පසුව ඇය ගෙහිමි කත අමතා බළලුන් ගැන විමසා ඇත. “උන් ඇවිදලා රෑ වෙලා එයි” යනුවෙන් ඇය පිළිතුරු දී ඇත.

සතියක් ගෙවී යාමෙන් අනතුරුව ඇය රැකියාව නිම වී ආපසු එමින් සිටියදී අසල්වැසි කුඩා දරුවන් කීප දෙනෙකු ඇය සමඟ පවසා ඇත්තේ මෙකී නිවසේ අයිතිකාරිය කලකට පෙර සුරතල් බළලුන් කීපදෙනෙකු ඇති කළ බවත්, එම සතුන් සියල්ලම කෑම විෂ වීමක් නිසා එක්වරම මිය ගිය හෙයින් නිවසේ හිමිකාරිය යළිත් කිසි දිනෙක බළලුන් ඇති නොකිරීමට තීරණය කර ඇති බවත්ය.

නමුත් එම බළලුන්ගේ භූතාත්ම රාත්‍රියට නිවෙසට පැමිණෙන නිසා මේ කාමර කුලියට ගන්නා කිසිවෙකු සතියකට වඩා එහි නොසිටින බවද ළමෝ පැවසූහ. රාත්‍රි කාලයේ කෑ ගසමින් ඇවිද යන අසාමාන්‍ය විශාලත්වයකින් යුත් බළලුන් කීපදෙනෙකු තමාට දක්නට ලැබුණ ආකාරය හා ඔවුන් දිවා කාලයේදී දකින්නට නොලැබීම ගැනත් රයිලිට සිහිපත් වූයේ මින් පසුවය.

මුළු රාත්‍රිය පුරාම නිදි නොලැබ සිටි ඇය පසුදා අවදි වූ සැණින් ගෙහිමි කතගෙන් මේ කතාවේ ඇත්ත නැත්ත විමසුවාය. එය සත්‍යයක් බව පිළිගත් ඇය එම බළලුන්ගෙන් කිසිවෙකුටත් කරදරයක් නැති බවත්, මෙය සාමාන්‍ය දෙයක් බවත් පවසා ඇත. නමුත් දර්ශනාගේ මිතුරිය වන රයිලි ඒ මොහොතේම වෙනත් නවාතැනක් සොයාගෙන බෝඩිමෙන් සමුගත්තා යැයි ඇය සමඟ පවසා තිබිණි.

දර්ශනා ශම්මි විජේතිලක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.