අතීතයටත් අනාගතයටත් ඔබ ගෙන යන රාහු කේතු අක්ෂය

මාර්තු 1, 2024

 

කාල යානය පිළිබඳ නවකතාවක් නොකියවූ අයෙක්, ටෙලිනාට්‍යයක්, චිත්‍රපටයක් නොබැලූ කෙනෙක් ඔබ අතර නොමැති තරම් විය යුතුය. එසේම කාලය හරහා ගමන් කිරීමට ඔබත් මමත් කැමැති වෙමු. එහෙත් එය පහසු කටයුත්තක් නොවිය හැකිය. කෙසේ වෙතත් මේ පිළිබඳ නොයෙකුත් මතිමතාන්තරවලින් ලෝකය පිරී ඇත. කිසියම් පුද්ගලයෙකු කාල දොරටුවක් ඔස්සේ ඇතුළු වූ විට ඔහුගේ හෝ ඇයගේ අතීත ආත්මභාවයක, අත්දැකීමක අසිරිය සජීවීව විඳගත හැකි වනවා ඇත. විවිධ ආගම්, දර්ශන අනුව විමසන විට නම් මතභේද රැසක් නිර්මාණය වන බව අමුතුවෙන් කිවයුතු නොවේ.

කාල තරණය සඳහා ප්‍රවේශවීමට තරු දොරටු උපකාරී වේ යැයි මතයක් පවතී. යමෙකුට අනුව භාවනාව පිළිබඳ යම් අත්දැකීමක්, අධිමානසික අත්දැකීමක්, ප්‍රාගුණ්‍යයක් අවශ්‍ය බව පැවසුණේ වී නමුදු නිවැරැදි ශක්ති දොරටුවකින් ඇතුළු වී නම් ඒ සඳහා භාවනාව හෝ අධිමානසික ප්‍රාගුණ්‍යයක් අවශ්‍ය නොවන්නේ යැයි ද මතයකි. ලංකාවේ ද එසේ පිවිසිය හැකි තාරකා දොරටු පිළිබඳ සාකච්ඡා කෙරේ. රන්මසු උයනේ ඇති අද්භූත චක්‍ර සටහන ද ඒ හා සම්බන්ධ වූවෙකි යැයි බොහෝ අය පවසයි.

මේ කාලයානය පිළිබඳ අපට අත්දැකීම් නම් නැත. එහෙත් ඡ්‍යොතිෂයෙහි ද “කාල රේඛා තරණය” පිළිබඳ ඉගැන්වීමක් වන බව මෙතෙක් ඔබ අසා තිබුණේදැයි නොදනිමි. ඡ්‍යොතිෂයට ලැදි ඔබ දැන හෝ නොදැන කාල රේඛාව භාවිත කරනු ලබන බව නම් අසත්‍යයක් නොවේ. මෙහිද ප්‍රභේද රාශියක් වන අතර කේන්දරයේ දසවැන්නත් සතර වැන්නත් අතර කාල රේඛාව දිවයයි. එසේම බොහෝ දෙනෙකු දන්නා, එහෙත් ලඝු භාවිතයක් ඇති ඉගැන්වීමකි. ඒ පරිඝ දණ්ඩය. පරිඝ දණ්ඩ උපයෝගී වනුයේ ගමන් බිමන් යාමේදී යා යුතු දිශාව තීරණය කිරීමටය. හැම ලිත් පොතකම පරිඝ දණ්ඩ ගැන සටහනක් දක්වා ඇතත් පරිඝ දණ්ඩ ඡ්‍යොතිෂයෙහි පලාපල කථනය සඳහා යොදා ගත හැකි යැයි පැවැසුවහොත් දුර්වල පටු චින්තනයක් ඇත්තෝ එම කියමන ප්‍රතික්ෂේප කරනු ඇත. එම චින්තනය සමඟ උරන වනු ඇත. එසේ වනුයේ බොහෝ දෙනා පරිඝ දණ්ඩයේ මූල්‍ය අධ්‍යයනය නොකිරීම නිසාවෙනි. පරිඝ දණ්ඩ යන වදන පුරාණ පුස්කොළ ග්‍රන්ථයන්හි මේ රිළුව යන නමින් දක්වා ඇත. දැන් කාලයානය පිළිබඳ මාතෘකාව පරිඝ දණ්ඩ දෙසට යොමු වූවේ ඇයි දැයි ඔබ විමසනු ඇත. පරිඝ දණ්ඩ ද කාල රේඛාවකි. එය තරණය කළ යුතුව ඇත. මේ සියල්ල කර්මය හා සබැඳි බව ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ, ඔබ එය පිළිගැනීමට බොහෝ දුරකට ඉඩ තිබේ. කර්මය ගැන සාකච්ඡා කරන විට ‘සෙනසුරු’ ග්‍රහයා සිහිපත් වනුයේ ඔහු කර්ම කාරක ග්‍රහයා වන බැවිනි. සප්ත ග්‍රහයන් විමසන විට පෘථිවියට දුරස්ථවම සිටිනුයේ සෙනසුරුය. ඉදින් එසේ දුරස්ථවම සිටින ග්‍රහයා කර්මකාරක වීමටත්, සමාජයේ බොහෝ දෙනෙකු කතා බහ කරන ග්‍රහයකු වීමටත් හේතුව කුමක්දැයි ඔබ සිතා බැලුවා නම් කාලයානය සහ ඡ්‍යොතිෂය අතර සම්බන්ධය තහවුරුකර ගැනීම අපහසු නොවනු ඇත.

කෙසේ වෙතත් බටහිර ග්‍රන්ථ අධ්‍යයනය කරන්නෙකුට කර්මය පිළිබඳව සෙනසුරුට ප්‍රමුඛතාව එහි ලබා නොදෙන බව පෙනී යයි. බටහිර ග්‍රන්ථයන්හි කර්මය පිළිබඳ සටහන් කරන විට රාහු සහ කේතු යන ග්‍රහයන් බෙහෙවින්ම අගය කරන බව පෙනේ. රාහු - කේතු අක්ෂය පිළිබඳ ඔවුන්ගේ කියැවීම විශිෂ්ටය, මේ දැනුමම වෙනත් කෝණයකින් පෙරදිග ග්‍රන්ථයන්හි දක්වා තිබෙන අතර සිංහල උමා ඡ්‍යොතිෂයෙහි එන “රාහු පිම්ම” සංකල්පය එහි විශේෂ වේ. භාරතීයන් මුදුන් මල්කඩක් සේ විශ්වාස කරන යාමල ග්‍රන්ථයන්හි රාහු කේතුගේ ප්‍රභේද තිස් හයක් උගන්වනු ලැබේ. මෙය ‘කාල දණ්ඩ’ නම් වේ. ඔබ අසා ඇති කාල සර්ප යෝගය මෙහි එක් දිග හැරුමක් වේ. එහෙත් මා අධ්‍යයනය කරන ලද ඉපැරැණි ශාස්ත්‍ර ග්‍රන්ථවල ‘කාල සර්ප යෝගය’ යන නමක් නොවේ. එහෙත් ඒ යෝගයෙහි සාරය, හරය, මූල න්‍යාය පෙර කියන ලද රාහුගේ “ෂඩ් ත්‍රිංශත් භේද” නැතහොත් තිස් හය ආකාරයක රාහුගේ හැසිරීමෙන් දැක බලාගත හැකි ය.

මේ කාල දණ්ඩ උපකාරයෙන් කාලතරණය කළ හැකිය. එහෙත් ඒ ඔබ, අප දන්නා අසා ඇති චිත්‍රපටවල දැක ඇති කාල තරණය නම් නොවේ. ඔබේ පූර්ව භවචාරයයි. එහෙත් මේ ලිපිකරු වන මා හට සිතෙන කරුණක් ඇත. එය චින්තනයක් වන බැවින් නොසලකා හැරීමට ඔබට පහසුවෙන්ම හැකියාව ඇත. කුමක්ද යත් මේ රාහු - කේතු දණ්ඩ හැසිරීම ඇසුරු කරගෙන ඔබේ තාරකා දොරටුව ඔබට විවෘත කරගැනීමට ඉඩ ඇති බවය. මා ද ඒ සඳහා යම් උත්සාහයක් ගනිමින් සිටිය ද මෙතෙක් එය සාර්ථක වී නැත. කෙසේ වෙතත් මෙය කියවන බුද්ධිමත් චින්තනයක් ඇති නවමු මගකට ප්‍රවේශයක් සඳහා වෙර දරන චින්තනයක් ඇති අයට මෙය ඉඟියක් විය හැකි යැයි සිතා මෙය සටහන් කළෙමි.

සජීවී අත්දැකීම් සහිත කාල තරණයකට මේ රාහු - කේතු දණ්ඩ භාවිත කිරීමට ඇති හැකියාව පර්යේෂණයකට බඳුන් කළ යුතු ය. කෙසේවෙතත් පූර්ව ජන්මයෙහි කරන - කියන ලද විපාක චිත්‍රයක් සේ දක්වන කේන්ද්‍රයෙහි සුවිශේෂීම ස්ථානය මෙම දණ්ඩ විය හැකිය. එසේම පර්යේෂණාත්මකව මෙම රාහු - කේතු අක්ෂය විමසා බැලීම වැදගත් වනු ඇත. මෙවැනි කාල රේඛා බොහොමයක් ඔබේ කේන්ද්‍රයේ ඇති අතර සජීවී අත්දැකීමක පහස ලබන කාල රේඛාව ඔස්සේ ගමන් කිරීමට ඔබට හෝ මට දිනෙක ලැබෙනු ඇත.

මනෝවිද්‍යා උපදේශක,

පාරම්පරික ශාස්ත්‍රඥ හෙක්ටර් පද්මසිරි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.