රට බබළන ක්‍රිකට් තරු බිහි කරන ග්‍රහ තරු සංයෝග

මාර්තු 1, 2024

මේ දිනවල යළිත් ක්‍රිකට් අපේ ජීවිතයේ කොටසක් බවට පත්ව ඇත. දඹුල්ල ක්‍රීඩාංගනයේ තරග ජය ගැනීමත් සමඟ රොක් වුණු ක්‍රිකට් ලෝලීන් අසුනක් ලබා ගැනීමට පොර කෑ අයුරෙන් ම ඒ සඳහා කෙතරම් අවධානයක් තරුණ පෙළ අතර මෙන්ම වයස් භේදයකින් තොරව සියල්ලන් අතර පවතින්නේද යන්න පැහැදිලි වෙයි.

ඔබත් ඔබේ දරුවා ක්‍රීඩාවකට යොමු කිරීම තරගයේ ජය පරාජය කෙසේ වෙතත් ජීවිතය දිනන්නට හේතු වනවා නිසැකය. ඉතින් ඔබේ දියණිය හෝ පුතණුවන් ක්‍රිකට් තරුවක් වන්නේද කියා කේන්දරයෙන් බලා ඔහු හෝ ඇය එම ක්‍රීඩාවට යොමු කරන්නේ නම් තවත් අර්ජුනලා, සංගක්කාරලා, මුරලිදරන්ලා, චමරිලා මෙරටට බිහිකරන්නට එය හේතු වනු ඇත.

ක්‍රිකට් වැනි දැඩි අවිනිශ්චිත ක්‍රීඩාවක් සඳහා දරා ගැනීමේ ශක්තිය බෙහෙවින් වැදගත්ය. ඒ සඳහා භෞතික ශරීරය නියෝජනය කෙරෙන කේන්දරයේ පළමුවැනි භාවය, ධෛර්යවන්ත බව නියෝජනය වන තුන්වැන්න, ජවය සහ නිර්භීතබව දැක්වෙන පස්වැන්න, තරගකාරිත්වය නියෝනජය වන සය වැන්න සහ වෘත්තීය ජීවිතයත් සමාජ තත්ත්වයත් නියෝජනය කරන එකොළොස්වැන්න ඉතා වැදගත් වේ. එසේම රවි, සඳු, කුජ, බුධ, ශනි, රාහු මෙන්ම නෙප්චූන්ගේ බලපෑම ක්‍රිකට් තරු බිහි කිරීමට හේතු වේ. සඳු ගුරු සහ යුරේනස්, නැප්චූන් ග්‍රහ සංයෝග දීප්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයකු බිහි කරන බව ඉන්දීය ඡ්‍යොතිෂයේ විග්‍රහයයි. ඒ අනුව පිටියේ දස්කම් පෑමට පදනම වන මනා ශරීර ශක්තියකින් හෙබි පුද්ගලයකු බිහි කරන ලග්නයක හිමිකරුවකු වීම ක්‍රිකට් තරුවකට ඉතා වැදගත්ය. පළමු භාවය ප්‍රබල ග්‍රහයන්ගේ ග්‍රහණයට ලක්වීම වැදගත් වන්නේ ඒ නිසාය.

අධිෂ්ඨානශීලිබව, ස්ථානෝචිත ප්‍රඥාව සහ දැඩි තීරණ ගැනීමේ හැකියාව ක්‍රිකට් ක්‍රීඩකයකුගේ අනිවාර්ය ලක්ෂණ වේ. මානසික මෙන්ම කායික ශක්තිය තීව්‍ර කරන බලවත් ග්‍රහයන් තුන්වැනි ස්ථානයේ පිහිටීමෙන් අවදානම්වලට මුහුණ දී ජයග්‍රහණය කරා මෙහෙයවීමට එය වැදගත් වේ. පස්වැනි භාවයේ සුබ ග්‍රහයන්ගේ පිහිටීම අභියෝගවලට මුහුණ දීම සහ ක්‍රීඩකයකුගේ සමස්ත කාර්ය සාධනය සාර්ථක කිරීමට හේතු සාධක වේ.

එකොළොස්වැනි භාවයේ පාලක ග්‍රහයා වෘත්තීය වශයෙන් සමෘද්ධිමත් භාවයට පත්වීම කෙරෙහි බෙහෙවින් වැදගත් වේ. එසේම තමන් ලබා ගන්නා ජයග්‍රහණයන් මඟින් සාර්ථකත්වයට යොමු කිරීමට එය හේතු වේ.

කාරක ග්‍රහයන්ගේ බලපෑම

1. අඟහරු :– සාධාරණත්වය, ක්‍රීඩකයන්ගේ බලවත්බව, ක්‍රීඩාවට ඇති ළැදියාව, ඉවසීම, උද්යෝගය, නිර්භීත බව නියෝජනය කරයි. ශක්තිමත් බලවත් අඟහරු සටන්කාමී ක්‍රීඩකයකු මෙන්ම විරුද්ධවාදීන් ජය ගැනීමේ හැකියාව පෙන්නුම් කරයි.

2. බුධ :– කේන්දරයේ බුධ බලවත්වීම බුද්ධිමය හැකියාවන්, තීරණාත්මක ක්‍රීඩා විශ්ලේෂණය සඳහා වැදගත් වේ.

3. සූර්යයා:– කේන්දරයේ රවි බලවත් විම, කීර්තිය සහ ප්‍රසිද්ධිය සඳහා අත්‍යවශ්‍ය වේ. බලවත් රවි ශක්තිමත් ශරීරයක් ලබා දෙන අතර එය සාර්ථක ක්‍රීඩා දිවියකට වැදගත් වේ.

4.රාහු :– නූතන යුගයේ රාහු ක්‍රීඩකයකුගේ සාර්ථකත්වයේ තීරණාත්මක ග්‍රහයාගේ භූමිකාව නියෝජනය කරයි. ඒ අනුව ක්‍රීඩකයාගේ කීර්තිය, ජනපි‍්‍රයත්වය තීරණය වෙයි. රාහු සුබව පිහිටීම ජයග්‍රහණයට මඟ පෙන්වයි.

5. චන්ද්‍ර :– චන්ද්‍රයා සංකේතවත් කරන්නේ මානසික ස්ථාවරත්වය සහ ධෛර්යයි. බලවත් සඳු ක්‍රීඩකයාගේ ඉවසීම, බාධක ජය ගැනීම සහ ක්‍රීඩාව අතරතුර කායික ආබාධවලින් වැළැක්වීම තහවුරු කරයි.

6. සෙනසුරු :– බලවත් සෙනසුරු අභියෝග ජයගැනීම මෙන්ම ප්‍රතිමල්ලවයන් පරදා ජය ගැනීමට වැදගත් වෙයි.

7.නෙප්චූන් :– සමකාලීන ක්‍රිකට් ක්‍රීඩා ප්‍රවර්ධනයට නෙප්චූන්ගේ බලපෑම ඇති බව පිළිගැනීමයි. ක්‍රීඩකයින්ගේ දියුණුවට බලවත් චිත්ත ඒකාග්‍රතාව අත්‍යවශ්‍ය වේ. බලවත් නෙප්චූන් ග්‍රහයා නියෝජනය කරන්නේ ජයග්‍රහණයේ ඉම සඳහා නිසගයෙන් හිමිවන නිවැරැදි තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කරයි.

ගුරු – සඳු සංයෝගය : බ්‍රහස්පති සහ චන්ද්‍රයාගේ සංයෝගය හෝ එකිනෙකා දැකීම හෝ ගජකේශරී යෝගය යෙදී තිබීමෙන් කපිල් දේව්, ෂේන් වෝන්, විරාට් කෝලි වැනි ලෝ ප්‍රකට සාර්ථක ක්‍රිකට් දිවියක් හිමි ක්‍රීඩකයන් බිහි වේ.

 

යුරේනස් – නෙප්චූන් සංයෝගය :– විශේෂයෙන් තුන්වැන්නේ හෝ සය වැන්නේ යුරේනස් සහ නෙප්චූන් අතර සහසම්බන්ධය, බලවත් නායකත්ව පෞරුෂයක් ගොඩ නගයි. ඉන්දියානු ක්‍රීඩකයන් වන මහේන්ද්‍ර සිංදෝනි, රෝහිත් ෂර්මා වැනි ක්‍රීඩකයන් මෙයට උදාහරණ ලෙස ගත හැකිය.

6, 8, සහ 12 ස්ථානවල සහසම්බන්ධය :– මේ භාවයන් අතර සහසම්බන්ධය සුපිරි සාර්ථක ක්‍රිකට් ක්‍රීඩකයකු බිහි කිරීමට මහත් රුකුලක් වේ. එහිදී එම භාවයන්හි බලවත් ග්‍රහයන් පිහිටීම හෝ සුබ දෘෂ්ටිවලට ලක්වීම වෘත්තීය වශයෙන් ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දැකිය හැකිය.

නිදසුන් ලෙස මුත්තයියා මුරලිදරන්ගේ කන්‍යා ලග්න කේන්දරය පරීක්ෂා කරන විට තුන්වැන්නාධිපති ක්‍රීඩාකාරක කුජ නව වැන්නේ පතිතව ඇත්තේ එම භාවයේ අධිපති සිකුරු සහ පහ හය අධිපති සෙනසුරු ද එකොළොස්වැන්න අධිපති උච්ච චන්ද්‍රයාද සමඟ යෝග වෙමිනි. මෙය රාජ යෝගයක් ලෙස ඡ්‍යොතිෂයේ හඳුනා ගැනෙයි. එසේම 12 වැන්නාධිපති රවි අටවැන්නේ තැන්පත් වීම විපරීත රාජයෝගයක් ලෙස සැලකෙයි. ගුරු ස්වක්ෂේත්‍රව හතරවැන්නේය. එයට උපචය ස්ථානයක උච්ච සඳු පිහිටීම දැකිය හැකිය. රාහු පස්වැන්නේය. එයින් ක්‍රීඩා තරුවක් බිහිකරන සාධක වැඩි ප්‍රමාණයක් පෙන්නුම් කරන බව පැහැදිලිය.

කන්‍යා ලග්නයටම අයත් මහේන්ද්‍ර සිං දෝනිගේ සඳු ගුරු ශනි ත්‍රිග්‍රහ සංයෝගය ලග්න භාවයේ පිහිටා ඇත. එවිට ඉහත පරිදි සඳු-ගුරු එක්වීමෙන් ලැබෙන ගජකේශරී යෝගය දක්නට හැකිය. රවි සමඟ ස්වක්ෂේත්‍ර බුධ දහවැන්නේ සංයෝග වෙයි. බුධ බලවත්ය. ක්‍රීඩා කාරක කුජ නවවැන්නේත් සිකුරු රාහු සමඟ එකොළොස්වැන්නේත් පිහිටන අයුරු දැකිය හැකිය. කේතු පස්වැන්නේය.

විරාට් කෝලි ධනු ලග්න හිමිව උපදින විට ලග්න භාවයේ සෙනසුරුත් රවි බුධ එකොළොස්වැන්නේත්, සිකුරු දස වැන්නේත් චන්ද්‍ර කේතු නව වැන්නේත් ක්‍රීඩා කාරක කුජ තුන්වැන්නේත් ලග්නාධිපති ගුරු හය වැන්නේත් පිහිටා ඇති බව පෙනේ. හයවැන්නේ ගුරුගෙන් කේන්ද්‍රස්ථානයක් වන නව වැන්නේ චන්ද්‍රයා පිහිටීමෙන් සඳු-ගුරු සංයෝගය හෙවත් ගජකේශරී යෝගය දැකිය හැකිය.

ෂේන් වෝන් ද කන්‍යා ලග්න හිමියකු වන අතර ඔහුගේ චන්ද්‍ර ගුරු සහ බුධ ලග්නභාවයේ ස්වක්ෂේත්‍ර බලයෙන් පිහිටා ඇත. සඳු-ගුරු සංයෝගය ද එහි දැකිය හැකිය. එනම් ගජකේශරී යෝගය පිහිටයි. සිවුවැන්නේ කුජය. රවි ස්වක්ෂේත්‍ර බලයෙන් දොළොස්වැන්නේය. රාහු හය වැන්නේය. සෙනසුරු අටේය. සිකුරු එකොළොස්වැන්නේ සිට සප්තමව පස්වැන්න දකී.

මේ සියලු කේන්දරවල සඳු-ගුරු සංයෝගය, කුජ, බුධ, රවි, රාහු, සෙනසුරු වැනි ඉහත පැවසූ ග්‍රහයන්ගේ ප්‍රබලත්වය සහ ලග්න භාවය, තුන්වැන්න, පස්වැන්න, එකොළොස්වැන්න සහ 6,8,12 ස්ථානවල සහ සම්බන්ධය මැනවින් දර්ශනය වෙයි.

ඉතින් ඔබේ දරුවාත් ක්‍රිකට් ක්‍රීඩාවට හෝ වෙනත් ක්‍රීඩාවකට යොමුව තිබෙනවා නම් හෝ යොමු කිරීමට බලාපොරොත්තු වනවා නම් ඔවුන්ගේ ජන්ම පත්‍රයේ ක්‍රීඩාවට උචිත මෙවැනි පිහිටීම් ඇතිදැයි සොයා බැලීමෙන් ඔවුන්ට දීප්තිමත් අනාගතයක් හිමි කර දීමට හැකි වනු ඇත.

 

ඡායාරූප අන්තර්ජාලයෙනි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.