නෙළුම් මල් පූජාවේ අනුහස්

පෙබරවාරි 16, 2024

නෙළුම් මල් පූජා වස්තුවක් මෙන්ම ඖෂධ ගුණයක් ඇති වටිනා ශාක පුෂ්පයකි. බෝධි පූජා, චෛත්‍ය පූජා, ග්‍රහ පූජා, දේව පූජා සඳහා නෙළුම් මල් පිදීමේ සිරිත අනාදිමත් කාලයක පටන් බෞද්ධ හා හින්දු බැතිමතුන් අතරේ පවතින්නකි. වයස ගණනට නෙළුම් මල් පූජා කිරීමෙන් දීර්ඝායුෂ ලැබීමටත්, රෝග නිවාරණයටත් ග්‍රහ අපල දුරුවීමටත් හේතුවන බවට විශ්වාසයක් පවතී.

මඩෙහි වැඩී, ජලයෙන් මතුවී හිරුඑළියට විකසිත වන නෙළුම් මල පූජනීය වස්තුවකි. සියපත, තඹුරු, පත්ම ආදී නම් රැසක් ඇති නෙළුම් මලේ ඉතිහාසය සොයා බලන විට ලෝක විනාශය හා කල්ප ආරම්භය කරා දිව යයි. පෘථිවියේ ආරම්භයේදී මහා සාගරයට මහබඹු විසින් දැමූ නෙළුම් ඇටයකින් නෙළුම් ගස හට ගැනුණ බවට පුරාවෘත්තයේ එයි.

බෞද්ධ ඉතිහාසය ගැන කියැවෙන බුද්ධ චරිතයේ සඳහන් පරිදි මහාමායා දේවිය දුටු සිහිනයේ සුදු ඇත් පැටවෙකු සුදු නෙළුම් මලක් සොඬින් ගෙන කුස තුළට ඇතුළු වන වග සඳහන් වේ. එසේම බෝසතුන් මව්කුසින් බිහිවීමේදී නෙළුම් මල් හතක් මත පියවර තැබූ බවද සඳහන් වේ. සත් පියුම් පිට වැඩීම යනුවෙන් හැඳින්වෙන බෝසත් උපත විහාර බිතුසිතුවම්වලද පිළිබිඹු වේ.

ශ්‍රී ලක්ෂ්මී දේවිගේ ආසනය

දේව කතාවල සඳහන් පරිදි ශ්‍රී ලක්ෂ්මී දෙවඟන වැඩ සිටිනුයේ රතු නෙළුම් මලක් මතය. සරස්වතී දෙවඟන වැඩ සිටිනුයේ සුදු නෙළුම් මලක් මතය. විෂ්ණු දෙවියන්ගේ එක් අතක රතු නෙළුම් මලක් ඇත. ගජ ලක්ෂ්මී අත ද, සුදු ඇතුන් දෙදෙනාද, රතු නෙළුම් මල් දෙකක් සොඬින් ගෙන සිටිති. නව ග්‍රහයින් අතුරින් චන්ද්‍ර දෙවියන් වැඩ සිටින්නේද නෙළුම් මලක් මතය. සූර්ය දිව්‍යරාජයාගේ අත් සතරින් එකක රතු නෙළුම් මලක් ඇත. කුජ දිව්‍ය රාජයා අතද, රාහු අසුරේන්ද්‍රයා අතද රතු නෙළුම් මලක් බැගින් වේ.

සුමන සමන් දිව්‍ය රාජයා අත ද, වාහනය වූ සුදු ඇතා සොඬෙහි සුදු නෙළුම් මලක් වේ.

වතාවත්

රුද්‍රාක්ෂ පූජාවේදී ද, දෙවියන්ට නෙළුම් මල් පූජා කෙරේ. විශේෂයෙන් අෂ්ටෝත්තර නාම පූජාවේදී ද නෙළුම් මල හා පෙති පාදුකාවට ඉසිනු ලැබේ.

දරුපල අපේක්ෂා කරන කාන්තාවන් විසින් බෝධියට සුදු නෙළුම් මල් පූජා කිරීමේ සිරිතක් බෞද්ධ සැදැහැවතුන් අතර පවතී. සෞභාග්‍යයේ සංකේතයක් වූ ලක්ෂ්මී පූජාවේදී ද සම්පත් පතා රතු නෙළුම් මල් පූජා කරනු ලැබේ.

අනුහස්

නෙළුම් මල් පූජාවේ ඇති අනුහස් ලෙස , ග්‍රහ අපල දුරුවීම, ලක්ෂ්මී දෙවඟනගේ ප්‍රසාදය ලැබීම, රෝග නිවාරණය සිදු වන අතර බෝධිපූජා පැවැත්වීමේ දී නෙළුම් මල් පූජා කිරීමෙන් මනුෂ්‍යයාට සෙතක් වේ. පූජාකරන්නා වෙත අන් අය වශීකරණය වේ. තවද නෙළුම් මල් පූජා කළ විට විවාහ ප්‍රමාද නම් විවාහ ඉක්මන් වේ. දරුපල නැති නම් දරුපල ලැබීමට හේතු වාසනා වේ.

බුදුන්ට මල් පූජාවේදී “පූජේමි බුද්ධං කුසුමේන නේන” ගාථාව කියන අතර දෙවියන්ට නෙළුම් මල් පිදීමේදී “ආවාහනම් සමර්පයාමි (දෙවියන්ගේ නම) චරණ කමලේභ්‍යා නමහා” කියනු ලැබේ. වරඟන තුළට අදාළ දෙවියන්ගේ නම යොදා කියන්න. උදා :– ඊශ්වර, ශ්‍රී විෂ්ණු, ශ්‍රී ගනේෂ් ස්කන්ධ කුමාර, ශ්‍රී ලක්‍ෂ්මී, ශ්‍රී සරස්වතී, ශ්‍රී දුර්ගා මාතා යන නමක් ඇතුළත් කරන්න. තුන් වරක් කියා පාදුකාවට දමන්න.

නෙළුම් මල් පූජාවට ගැනෙන අතර නෙළුම් පෙති, නෙළුම් රේණු, නෙළුම් ඇට ඖෂධ වශයෙන් භාවිත කෙරේ. එය ද එක්තරා ආකාරයක අනුහසකි.

චන්ද්‍ර දෙවියන් වැඩ සිටින අලංකාර නෙළුම් මල

නෙළුම් මලේ පෙති, ගලවා තම්බා ඇල්දියේ මිශ්‍රකර ස්නානය කිරීමෙන් ඇඟ සිසිල් වේ. සම මෘදුවේ. පැහැපත් වේ. නෙළුම් මලේ පෙති ගලවා වියළා කබලේ හෝ පෝරණු වේළා කුඩු කර තේ සමඟ පානය කිරීමෙන් ගුණ රැසක් ලැබේ. දාහය දුරුවීම, හෘදය මනාසේ කි‍්‍රයාත්මක වීම, අධිරුධිර පීඩනය පාලනය වීම, අජීර්ණ, අර්ශස් රෝග දුරුවීම, හම රැලි වැටීම දුරුවීම, ඇස් යට කළුවීම නැතිවීම, කම්මුල් පැහැගැන්වීම පවා සිදු වේ.

නෙළුම් රේණු, නෙළුම් ඇට, නෙළුම් අල, ආහාර ලෙස භාවිත කිරීමෙන් ඖෂධ ගුණ රැසක් ලැබේ. අශ්මරී රෝග දුරුවීම, ආමවාත දුරුවීම, ස්නායු දුර්වලත්වය නැතිවීම ,මාස්ශුද්ධිය නිසි පරිදි ක්‍රියාත්මක වීම, සමේ දිලීර දුරුවීම, පිළිකා ශෛල නැසීමට පවා සුදුසුය.

ශ්‍රී ලංකාවේ විශේෂයෙන් පොහොය දිනවලදී ප්‍රධාන වෙහෙර විහාරස්ථානවල දස දහස් ගණන් නෙළුම් මල් පූජා කෙරෙන අතර, අවසානයේ ඒවා යැවෙනුයේ කුණු ගොඩටය. මෙය මහා අපරාධයකි.

යුරෝපයේත්, පෙර දිගත්, මැද පෙරදිගත් තේ උණූසුම් පානයක් කරගෙන ඇත. ඉන්දියාව, චීනය, ජපානය, තායිලන්තය, නේපාලය වැනි රටවල නෙළුම් තේ භාවිත කෙරේ. මෙය ඹ්ධබභඵ බඥච යනුවෙන් ව්‍යාප්ත වූ කර්මාන්තයකි.

නෙළුම් මල කසළ ගොඩට නොයවා පෙති ගලවා වියළා කුඩුකර තේ පදමට සකස් කර වටිනා ඖෂධීය ගුණයක් ඇති පානයක් සාදාගත හැක. නෙළුම් මලෙහි වටිනා රසායනික සංයුතියක් ඇත. පොටෑසියම්, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, කැල්සියම් , මැංගනීස්, විටමින් ඕ අන්තර්ගතය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.