හස්ත රේඛා ශාස්ත්‍රයෙන් හා ඡ්‍යොතිෂයෙන් සමාජයට යහපත සලසන ප්‍රාමාණිකයා පියතිලක ද අල්විස්

ජනවාරි 26, 2024

 

ඔහු සැබෑම වාසනාවන්තයෙකි. ඒ ඔහුගේ දිවියෙන් සැලකිය යුතු කාලයක් ඡ්‍යොතිෂ ශාස්ත්‍රයත් හස්ත රේඛා ශාස්ත්‍රයත් සමඟ ගත කරන්නට හැකි වීම නිසයි. තමාට උරුම වූ ඡ්‍යොතිෂ ශාස්ත්‍රයත්, හස්ත රේඛා ශාස්ත්‍රයත් පමණක් නොව ලේඛනයත් ඔහුගේ ජීවිතය හා බද්ධ වී ඇත්තේ ගසට පොත්ත මෙනි. දැනුදු ඔහු ඡ්‍යොතිෂ ශාස්ත්‍රීය කටයුතුවල නියැළී සිටින්නේ සැබෑ සතුටකිනි. සැබෑ ශාස්ත්‍රීය ගවේෂණයකිනි.

සුබසෙත ඇතුළු ඡ්‍යොතිෂ පුවත්පත් රැසකට විවිධ ඡ්‍යොතිෂ්‍ය ලිපි සපයමින් ඔහු හැකි සෑම විටම සමාජයේ සුබසිද්ධිය උදෙසා ඡ්‍යොතිෂවේදය මෙහෙයවන්නේ අපූර්වත්වයෙන් යුතුවය. පියතිලක ද අල්විස් ලෙස රටපුරා ප්‍රසිද්ධියට පත් මේ ඡ්‍යොතිෂවේදියා හස්ත රේඛා ශාස්ත්‍රඥයකු, අංගලක්ෂණ විද්‍යා ශාස්ත්‍රඥයකු ,ඡ්‍යොතිෂ වේදියකු ලෙස බොහෝ පිරිසකට ආලෝකය දුන් චරිතයක් ලෙස හැඳීන්විය හැකිය. මේ ලියැවෙන්නේ පියතිලක ද අල්විස් නම් වූ ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී හස්ත රේඛා ශාස්ත්‍රඥයා පිළිබඳවය.

මුල්ලේරියාව ගම්මානයේ උපත ලද පියතිලක ද අල්විස් මහතා තම කුඩා කාලය පිළිබඳ මෙලෙස මතකය අවදි කරන්නේය.

උපන්නේ 1950 පෙබරවාරි මස 07 වැනි දායි. මට මතකයි පුංචිකාලෙ ඉඳලම තාත්තා හරියට සිරිතට විරිතට වැඩ කළා. අපිත් එයට හුරු වුණා. මට එක් වැඩිමහල් සොහොයුරියක් සිටිනවා. මම තමයි පවුලේ බාල දරුවා. ඉතින් මගේ කුඩා අවදිය අම්මටත් තාත්තටත් ළඟින්ම ඉඳීමින් ගෙවා දමන්නට මට හැකි වුණා. ඒ ළමා කාලය අතිශය සුන්දර අවදියක්.

 

අධ්‍යාපනය

මම අධ්‍යාපනය ලැබුවේ කො/තලාහේන මහා විද්‍යාලයේයි. ලිවීමේ හැකියාව පාසල් අවදියේ පටන්ම මා සතු වූවා. ඉගෙන ගන්න වගේම ලේඛනයටත් දක්ෂතාවයක් දැක්වූ නිසා වයස අවුරුදු 12-15 වන කාලයේ මම මිහිර ළමා පුවත්පතට විවිධ මාතෘකා ඔස්සේ ලිපි රචනා කළා. පසුව පාසලේ පැවැත්වෙන සෑම උත්සවයක් පිළිබඳවම මිහිර පුවත්පතේ වාර්තාකරුවකු ලෙස මම මිහිරට වාර්තා කළා. ඒ නිසාම පාසල් කාලයේ සෑම අංශයකින්ම ඉදිරියට ගිය සිසුවකු ලෙස මම අනෙක් සිසුන් අතර කැපී පෙනුණා.” අධ්‍යාපනයෙන් ඉදිරියට යන්නට සමත් වූ පියතිලක ද අල්විස් තම අධ්‍යාපන කාලය පිළිබඳ පවසන්නේ එලෙසිනි.

 

ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට එක්වීම

සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව මම රැකියාවකට යොමු වුණා. ඒ පෞද්ගලික අංශයේ. මේ කාලයේත් මම ඉඩ ලැබෙන හැම අවස්ථාවකම විවිධ ලිපි පුවත්පත්වලට ලිව්වා. විසිතුර, සරසවිය වැනි සිනමා පුවත්පත්වලට ලිපි ලිව්වා. ගුවන්විදුලි වැඩසටහන්වලට සම්බන්ධ වුණා. මේසියල්ල මම කළේ දැඩි ආශාවකින්. මේ අතරතුර 1975 දී මට රජයේ රැකියාවකට යොමු වන්නට අවස්ථාව උදා වුණා. ඒ වෙළෙඳ අමාත්‍යාංශයටයි. එයින් පසුව වාණිජ දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වැනි රජයේ ආයතන කිහිපයකම ලිපිකරුවකු ලෙස සේවය කරන්නට මම කටයුතු කළා. මේ කාලයේ දී හස්ත රේඛා ශාස්ත්‍රය මෙන්ම ඡ්‍යොතිෂය පිළිබඳ දැනුමක් මා සතු වූවා. අල්විස් මහතා පවසන්නේ අතීතයේ තමා පැමිණි ගමන්මඟ පිළිබඳ මහත් වූ සතුටකිනි.

 

හස්තරේඛා ශාස්ත්‍රය ප්‍රගුණ කිරීම

හස්ත රේඛා ශාස්ත්‍රය පිළිබඳ මූලික දැනුම මා ලබා ගන්නේ ප්‍රියන්ත රත්නායක ශූරීන් විසින් ආරම්භ කර තිබූ ඉරහඳ ඡ්‍යොතිෂ සේවය ඔස්සේයි. ඒ ඔස්සේ දිවයිනේ ප්‍රසිද්ධ හස්තරේඛා විශේෂඥයන් වෙතින් ඒ පිළිබඳ මූලික දැනුම ලබා ගන්නට මට අවස්ථාව සැලැසුණා. හස්ත රේඛා පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා ඒ පිළිබඳ ඉතා හොඳ දැනුමක් ලබන්නට මට හැකි වුණා. ඒ වගේම ඡ්‍යොතිෂ ශාස්ත්‍රයත් යම් ආකාරයකට ක්‍රමානුකූලව හදාරන්නට මම භාග්‍යවත් වූවා. ඡ්‍යොතිෂ ග්‍රන්ථ මම ඉතා ඉක්මණින් කියවා අවබෝධකර ගත්තා. ඒවා ඉතාම තදින් මතක හිටියා. පාඩම් හිටියා. මට ඕනෑ වුණේ මේ ශාස්ත්‍රය ප්‍රගුණ කර මුදල් ඉපැයීමට නොවෙයි. මේ ශාස්ත්‍රයේ පලාපල යමකුට කියා ඔවුන්ගේ පැසසුම් මට ලැබෙනවා දකින්න මම හුඟක් සතුටු වුණා. කොහොම හරි මට මේ ආකාරයට සමාජයේ යහපත වෙනුවෙන් හස්තරේඛා ශාස්ත්‍රයෙන් වගේම ඡ්‍යොතිෂයෙන් කටයුතු කරන්නට ලැබීම මට මහත් සතුටක්. දැන් අවුරුදු ගණනක සිටම මම ඡ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් සමාජයට සේවය කරනවා. ඒ වගේම සුබසෙත ඇතුළු ඡ්‍යොතිෂ පුවත්පත්, සඟරා රැසකටම ඡ්‍යොතිෂ ලිපි සපයමින් සමාජය දැනුම්වත් කරනවා. එය මම ලද භාග්‍යයක් කියලා කියන්න පුළුවන්.”

 

විවාහය

1976 වසරේදි මිලිටා රම්‍යලතා මෙනවිය සමඟ විවාහ දිවියට ඇතුළත් වන පියතිලක ද අල්විස් මහතා දයාබර දරුවන් තිදෙනකුගේ පියෙකි. ඔහු තම විවාහ දිවිය පිළිබඳ මතකය මෙලෙස අවදි කරන්නේය. ‘මගේ බිරිඳ මට හමුවන්නේ පාසල් වියේදියි. පාසල් වියේ ඇති වූ ප්‍රේමය විවාහය දක්වා දුරදිග ගියා. මවත් පියාත් එකම වැඩිමහල් සොහොයුරියගේත් ආශිර්වාදය මැද්දේ අපේ විවාහය සිදු වුණා. මේ වන විට අපිට කසුන්, රුවන්, ලහිරු නමින් පිරිමි දරුවන් තිදෙනෙක් සිටිනවා. තිදෙනාම දැන් විවාහවෙලා. දෙදෙනෙක් ව්‍යාපාර කටයුතුවල නිරත වෙනවා. බාල පුතා යුද හමුදාවේ ලිපිකරුවකු වශයෙන් සේවය කරනවා. මගේ බිරිඳත් ඡ්‍යොතිෂය පිළිබඳ උසස් ඩිප්ලෝමාවක් ලබා තිබෙනවා. ඇයත් නිවෙසේ සිට ඡ්‍යොතිෂ කටයුතුවල නිරත වෙනවා. ඇයට ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ඉගැන්වූයේ සුබසෙත උපදේශක කර්තෘ වරයකු ලෙස සේවය කළ ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී පියසේන රතුවිතාන ශූරීන්. ඡ්‍යොතිෂ සේවයට පැමිණෙන්නන්ගෙන් අපේ නිවෙස හැම විටම පිරිලා. ඒ අය මා කරා විත් අත් පරීක්ෂා කරවාගෙන යන්නට අමතක කරන්නේ නැහැ. මේ ආකාරයට තමන් දැන උගත් හස්තරේඛා ශාස්ත්‍රය සේම ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ද සෑම ශාස්ත්‍රයකටම වඩා උතුම් බව පවසන අල්විස් මහතා මේ ශාස්ත්‍රයට පිවිසෙන ආධුනික ඡ්‍යොතිෂවේදීන්ට අගනා උපදෙස් ලබා දෙන්නේ මෙලෙසිනි.

“ඇත්තටම හස්ත රේඛා හා ඡ්‍යොතිෂ ශාස්ත්‍රය කියන්නේ දෙවියන් දුන් තිළිණයක්. මේ ශාස්ත්‍රය ඔස්සේ අද නොයෙක් අකටයුතුකම් කරන පිරිස් මේ සමාජයේ සිටිනවා. මේ ශාස්ත්‍ර නිවැරැදිව භාවිත කිරීම ආධුනික ඡ්‍යොතිෂවේදින්ගේ යුතුකමක් වගේම වගකීමක්. අතක් පරීක්ෂා කර බලන විට එය නිවැරැදිව සිදු කළ යුතුයි. ඡ්‍යොතිෂයේ පලාපල කථනයේදිත් ග්‍රහබලය අනුව එය සිදු කළ යුතුයි. අපෙන් පිහිටක් ලබන්නට එන ජනතාවට අපි සැබෑ ලෙසට පිහිට විය යුතුයි. එසේ වුවහොත් පමණයි මේ ශාස්ත්‍රයේ ගුණය ඡ්‍යොතිෂවේදියාට පිහිටන්නේ. මේ ගැඹුරු, පින්වත් ශාස්ත්‍රය නිවැරැදිව භාවිත කරන්න කියා මම ඡ්‍යොතිෂවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා. එවිට තමයි මේ දියුණු ශාස්ත්‍රය නොනැසී පවතින්නේ” අල්විස් මහතා පවසන්නේ මේ ශාස්ත්‍රයට සමාජයේ පිළිගැනීම තව දුරටත් වර්ධනය වී එය තව තවත් දියුණුවට පත්විය යුතු බවයි. මුදල් හම්බ කිරීමේ පරමාර්ථයෙන් මේ ක්ෂේත්‍රයට යොමුවන පිරිස වැඩි කලෙක අල්විස් මහතා ආධුනික හස්තරේඛා සහ ඡ්‍යොතිෂවේදීන්ගෙන් ඉල්ලා සිටින්නේ මුදලම තමාගේ පරමාර්ථය කර නොගෙන මේ ක්ෂේත්‍රයට පිවිස ශාස්ත්‍රයන්හි තිබෙන සැබෑ වටිනාකම සමාජයට ගෙන යන ලෙසයි.

වසර 74 ක ජීවන අත්දැකීම් මෙන්ම වසර හතළිහකට අධික කාලයක් මුළුල්ලේ හස්තරේඛා ශාස්ත්‍රයේ කැපී පෙනෙන මේ ප්‍රවීණ හස්ත රේඛා ශාස්ත්‍රයේ ක අපි දීර්ඝායුෂ පතමු.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.