සිතූ පැතූ සම්පත් ලැබීමට

අගෝස්තු 14, 2020

තමන් සිතන පතන සම්පත් ලබාගැනීමට පෘතජන සියල්ලෝ කැමැතිවෙති. එහෙත් එවැනි වරමක් ලබාගන්නේ කෙසේදැයි යන්න සැමට ප්‍රශ්නයකි. සිතූ පැතූ සම්පත් ලබාදීමට හේතු වන වස්තූන් පිළිබඳව කවි සමයේ බොහෝ තැන්වල සඳහන්ව ඇත. සිතුමිණ, කල්පවෘක්ෂය, භද්‍රඝටය, සුරභිධේනුව වැනි ඉෂ්ඨාර්ථ සාධක වැනි වස්තූන් පිළිබඳව පෙරදිග සාහිත්‍යයේ නිතර සඳහන් වෙයි. 

“සිතුමිණි බදුරු කළබ තිළිණෙන් පසු කළ 

පුරන දන දන මන දොළ තමා සුරතම සුරතුරක් කළ” (ගුත්තිලය) 

සලාවත ජයපාලියන්ගේ හ්‍යාගවන්ත බව ඒ අයුරින් ගුත්තිලයෙන් වෑත්තෑවේ හිමියෝ වර්ණනා කරති. කවියන් විසින් කාව්‍ය ලෝකයේ දී සිතූ පැතූ සම්පත් ළඟා කර දෙන දිව්‍යමය වස්තූන් පිළිබඳව ඒ අයුරින් විස්තර කරන ලදී. 

කවියන්ගේ එකී දිව්‍යමය වස්තූන් පිළිබඳව නූගත් ගැමියාට විෂය වූයේ අල්ප වශයෙනි. එබැවින් අපේ ගැමියෝ තම දර්ශනයට විෂයවන යම් යම් වස්තූන්ගෙන් සිතූ පැතූ සම්පත් ලබාගත හැකි බව විශ්වාස කළහ. ඒ අනුව දර්ශනයට විෂය ගෝචර වන යම් යම් ගහකොළ, සතුන් ඇසුරෙන් තමා සිතූ පැතූ සම්පත් ලබාගැනීමේ වාසනාව උදාවෙතැයි විශ්වාසයෙන් යුතුව එවැනි දෑ සිතින් මවාගන්න. නාග මාණික්‍ය, කළුනික, නරි අං, සිකනල් මැණික් ආදී වස්තූන් පිළිබඳව ගැමි විශ්වාස තහවුරු විය. මෙවැනි අසම්භාව්‍ය වස්තු ඇතැයි සිතූ ගැමියා ඒවා ලබාගැනීම සඳහා අනුගමනය කළයුතු ක්‍රියා මාර්ග පිළිබඳව විමර්ශනයක යෙදුණේ ය. එම අද්භූත ජනක ක්‍රියා පිළිවෙත් පිළිබඳ විශ්මයජනක පුරාණ පිළිවෙත් අද්‍යතන ගැමි සමාජයෙන් ද බැහැරව ගොස් නැත. ඒවා අතරින් කළුනික සොයාගැනීම සිතූ පැතූ සම්පත් ලබාදෙන්නක් මෙන්ම අමරණීය වාසනාව උදාකරන්නක් බව ගැමි විශ්වාසයයි. කළුනික කෝටු කැබැල්ලක් අතෙහි තබාගත් කෙනෙකුට සෘද්ධිමතෙකු මෙන් අහසින් යාමේ හැකියාවක් ඇතැයි පැරැන්නෝ විශ්වාස කළහ. එහෙත් කළුනික සොයා ගත්තෙකු පිළිබඳව දැනගන්නට නොතිබීම පුදුමයට කරුණකි. සමනළ අඩවියෙහි ඇතැයි විශ්වාස කරන මෙම කළුනික ගසකින් කෝටු කැබැල්ලක් සොයාගැනීමට පිළිපැදිය යුතු ක්‍රමවේදය ගැමිවිශ්වාසයේ පවතින්නේ මෙසේ ය. 

මුලින්ම ඇටිකුකුළු කූඩුවක් සොයාගත යුතු ය. ඉන්පසුව ඇටිකිකිළිය බිත්තර දමනතෛක් සෝදිසියෙන් සිට ඇටිකිකිළිය බිත්තර දැමූ පසු ඇටි කිකිළය ඒ බිත්තර බිඳ පැටවුන් එළියට එනතෙක් ඉවසීමෙන් හා සැළකීමෙන් සිටීම වැදගත් ය. කිකිළිය විසින් බිඳිනු ලැබූ බිත්තරවලින් එළියට පැමිණි පැටවුන් මාපියන් විසින් ගෙනවුත් දෙන ආහාරයෙන් යැපෙමින් සිට මඳක් වැඩී පියාඹා යා හැකි වියට පත් වූ පසු කැදැල්ලෙන් මිදී පියඹා යනු ඇත. එහෙත් ඒ පැටවුන්ගෙන් එකෙකුට පමණක් පියාඹායාමට නොහැකිවන පරිදි අවහිරයක් ඇති කළ යුතු ය. 

ඒ සඳහා කළයුත්තේ එක් පැටවකුගේ පාදයක් රත්රන් නූලකින් බැඳ උගේ ගමනට අවහිර කිරීම ය. නිසි කල පැමිණිවිට මාපිය කුරුලු ජෝඩුව පැටවුන් සමඟ ඉගිලයාමට සැරසේ. එහෙත් එක් පැටවකුට ඉගිලෙන්නට නොහැකි බව වටහා ගන්නා දෙමාපියෝ ඒ ගැන විමසිලිමත් වෙති. සිදුව ඇති අවහිරය පිළිබඳව අවබෝධ කරගන්නා දෙමාපිය කුරුල්ලෝ ඒ පැටවා පමණක් කැදැල්ලෙහි ඉතිරිකර අනෙක් පැටවුන් සමඟ ඉගිලයති. එසේ පිටව ගියද දෙමාපිය කුරුල්ලන්ගේ අරමුණ වන්නේ හිරවූ පැටවා මුදාගැනීමයි. එබැවින් ඔවුන් පියඹා යන්නේ සමනල අඩවි වනපෙත කරාය. ඒ අයුරින් සමනල අඩවිය කරා පියඹා යන්නේ සමනළ අඩවි වනපෙත කරාය. ඒ අයුරින් සමනල අඩවිය කරා පියඹායන ඇටිකිකිළිය එහි ඇති කළුනික ගසකින් කෝටු කැබැල්ලක් කඩා හොටයෙන් ගෙන තම පැටවා සිරවූ කැදැල්ල කරා ආපසු පියඹා එයි. ආපසු පැමිණ කිරිල්ල හොටයෙන් ගෙනෙන ලද කළුනික කෝටු කැබැල්ල තම පැටවාගේ සිර වූ පාදය අසල තබයි. එවිට රන්හුය පිපිරී පාදය නිදහස් වීමෙන් අවහිරය සිඳී ගිය පැටවා තම මව් කිරිල්ලිය සමඟ පිටව යයි. 

ඒ පිළිබඳව එතෙක් සැලකිල්ලෙන් පසු වූ උගුල ඇටවූ තැනැත්තා, කූඩුව තුළ නියත වශයෙන්ම කළුනික කෝටුකැබැල්ලක් ඇතිබව අවබෝධ කර ගනී. එහෙත් කෝටු කැබලි රාශියකින් සැදුම්ලත් කූඩුවෙන් නියම කළුනික කෝටු කැබැල්ල තෝරාගැනීමේ අපහසුවට මුහුණපායි. එහිදී කළයුත්තේ කූඩුව පරෙස්සමෙන් ගෙන ගසෙක් බැස කූඩුවක් ගෙන ගලන ගඟක් අසළට යාමයි. එහිදී කූඩුව ගංදියෙහි තබා සෙමෙන් සෙමෙන් හා පරෙස්සමෙන් කූඩුවෙහි තිබූ කෝටුකෑලි ගලවමින් ගංදියෙහි පාවීයාමට මුදාහැරිය යුතු ය. එවිට කූඩුව සැදුම් ලත් කෝටු කෑලි හා රොඩු පොරඩු ගංදියෙහි පාවී පහළට ගලා යයි. එහෙත් කළුනික කෝටු කැබැල්ල පමණක් උඩුගං බලායයි. එවිට එය රැගෙනවුත් අති පිරිසුදු ස්ථානයක සුරක්ෂිතව තැන්පත්කොට, මල් පහන් පූජා කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය වන්නේ සිතූ පැතූ සම්පත් උදාවීමකැයි යන්න පුරාතනයන්ගේ විශ්වාසයයි. 

නාගමාණික්‍යය පිළිබඳව වුව පවතින්නේ මෙවැනිමවූ අසාමාන්‍ය විශ්වාසයකි. අමූල්‍යමය වටිනාකමකින් යුත් නාගමාණික්‍යයද අතිශය දුර්ලභ වූ මැණික් විශේෂයක් ලෙස පිළිගැනෙති. මෙයද සිතූ පැතූ සම්පත් ගෙනදෙන අපූර්ව වස්තුවකි. නාගයා විසින් සිය කණ්ඨයෙහි රුවාගෙන ආරක්ෂා කරගනු ලබන මෙම අමිල වස්තුව ලබාගැනීම අතිශය දුෂ්කරවූද, අන්තරාය දායකවූද එමෙන්ම විශ්මිතවූද ක්‍රියාවක් ලෙස හඳුන්වාදිය හැකි ය. ඒ කෙසේ වෙතත් නිරුපද්‍රිතව මේ අමිල වස්තුව ලබාගත හැකි ක්‍රියාදාමයක් පුරාතන අපේ ගැමිවහරේ පවතී. 

කණ්ඨ මාණික්‍යයක් රකිනා නාගයා අනෙකුත් නාගයන්ට වඩා වෙනස් ය. අනෙකුත් නාගයන් මෙන් නොව ඒ නාගයා දැකුම්කළු ය. සුදු පුල්ලි සහිත ගොබය නිසා සුදු නාගයෙකු සේ දර්ශනය වේ. ගැමි උපමාවෙන් කියැවෙන්නේ සුදු පොරි වට්ටියක් මෙන් දිස්වන බවයි. ගමන සන්සුන් ය. මේ නාගයාගෙන් මිනිසුනට කරදරයක් සිදු නොවේ. මිනිසුන් දැක පලායාමේ ගතියක් ද මේ නාගයාට නැත. මීයන්, ගෙම්බන් වැනි සතුන් සාමාන්‍ය නාගයන් අනුභව කළද මැණිකක් රකිනා නාගයා එවැනි පිළිකුල් සතුන් අනුභව කරගන්නේ නැත. පලාවර්ග අනුභව කරන මෙම නාගයා ඇතැම්විට සුළං බී ජීවත්වන බවද ගැමි විශ්වාසයකි. 

මැණික රකින නාගයා රැයක මිස දහවලට දැකගැනීම පවා අසීරු කරුණකි. පලා අනුභවයට හෝ දහවල් කාලයේ ඇවිදීම් විරලය. බොහෝවිට මෙම නාගයා රාත්‍රී කාලයේ ආහාර අනුභවයට පෙර සිය මාණික්‍යය වමාරා තබයි. ඉන් විහිදෙන ආලෝකයෙන් අවට ආලෝකමත් වේ. මාණික්‍යයෙන් විහිදෙන ආලෝක සීමාවෙන් ඈතට නොයයි. ආහාරයෙන් පසු එම නාගයා නැවත මැණික ගිල කණ්ඨකයේ සඟවාගෙන සුරක්ෂාදායක ස්ථානයක සැතපෙයි. මෙවැනි නාගයෝ බොහෝවිට වැඩි ඈතක නොගොස් එකම ප්‍රදේශයක දින ගණන් සති ගණන් ඇතැම් විට මාස ගණන් කල් යවති.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.