මරුවා, ග්‍රහයා සහ නොසැලකිල්ල

මැයි 3, 2024

නරක වෙලාවට දෙවියන් පවා අහක බලන බව කතාවට කියනු අසා ඇතුවාට සැක නැත. කෙතරම් සත්‍ය කතා කළ ද අන්‍යයන් එය පිළිගන්නේ නැත. එමෙන්ම නරක වෙලාවට මාරයාද කුරුමානම් අල්ලන්නේ පොඩ්ඩ බැරි වුණ විට තමන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමටය. පාලිත තෙවරප්පෙරුම මහතාගේ මෙන්ම ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගයේ වූ හදිසි අනතුරුවලින් අපට මේ බව පැහැදිලි වෙයි.

කෙතරම් හොඳ කළ කෙනකු ද කෙතරම් නරක කළ කෙනකු ද යන්න එහිදී වැදගත් නොවේ. එය කර්මය ලෙස හෝ දේව කැමැත්ත ලෙස වුව කෙනකුට හැඳීන්විය හැකිය. එසේම ග්‍රහයන්ගේ බලපෑම ලෙසද අවශ්‍ය නම් ඡ්‍යොතිෂයට අනුව ගණනය කර බැලිය හැකිය. ඒ අනුව විවිධ ඡ්‍යොතිෂ ක්‍රම අනුව විදුලියට, වාහනවලට, බෝම්බවලට, පිහි ඇනුම්වලට, ජලයට, ගින්නට ආදි වශයෙන් බලපානා අග්නි, වරුණ, යම වැනි බලපෑම්වල ශක්තිමත් හෝ දුර්වලතා මත මාරක අනතුරු සිදුවන අයුරු පිළිබඳ අප සොයා බලන්නේ බොහෝ විට ප්‍රසිද්ධ හෝ දැවැන්ත සිදුවීම් සිදු වීමෙන් පසුවය. එනිසාමය ඒවා හදිසි අනතුරු ලෙස සැලකෙන්නේ.

හදිසි අනතුරු සැබැවින්ම හදිසි අනතුරු ම වන්නේ ද යන්න ඡ්‍යොතිෂය පිළිබඳ අදහසක් ඇත්තෙකුට විමසිලිමත්ව සිතිය හැකිය. ඡ්‍යොතිෂ සිද්ධාන්ත පිළිබඳ විශ්වාසයක් ඇත්තන්ට තම කේන්දරය පරීක්ෂා කිරීමේදී හදිසි අනතුරු තිබෙන බව කලින් දැන ගැනීමට හැකියාව පහසුවෙන් පවතී. එහෙත් යමක් සිදුවන්නට පෙර ඒ පිළිබඳ සොයා නොබලන ගතියක් නිරන්තර පෙන්වන මනුෂ්‍ය ගතිය නිසා බොහෝ දෙනා හදිසි අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර නොගන්නා බව මතක් කළ යුතුමය.

කුජ යුරේනස් හෝ ශනි කුජ සංයෝගය හෝ විසිදෙවැනි දෙර්කාණාධිපතිගේ බලපෑම හෝ වෙන කුමක් හෝ වේවා තමන්ට අනතුරක් සිදුවන කාල පරාසය පිළිබඳ යම් අවබෝධයක් ඇති කරගැනීමට සැලකිලිමත් වූවා නම් අනතුරේ ප්‍රමාණය අඩු කර ගැනීමට ක්‍රමවේද යෙදීමට පවා හැකියාව තිබෙන බව නොරහසකි. ඒ ජ්‍යොතිෂය විශ්වාස කරන පිරිසටය.

ඡ්‍යොතිෂය යනු මිථ්‍යාවක් යැයි සිතන භෞතිකවාදීන් හට ද මෙවැනි අනතුරු වළක්වා ගැනීමේ හැකියාවක් පවතී. ඒ මරුවා සමඟ සාකච්ඡාවකින් නොවන බව අපි දනිමු. එහෙත් එය කළ හැක්කේ තමන්ගේ කටයුතු පිළිබඳ සැලකිලිමත් වීමෙනි. ෆොක්ස්හිල් අනතුර මෙන්ම තෙවරප්පෙරුම අනතුර යන දෙකම අපට පැහැදිලි කරන්නේ නොසැලකිලිමත් බව මරුවාට වාසි ගෙනෙන බවකි. මෝටර් රථ ධාවන තරගයක ධාවන පථය ආසන්නයේ රැඳී සිටීම යනු මරුවාට අතවැනීමක් බව නොරහසකි. බොහෝ රටවල මේ කටයුතු කෙරෙන පිළිවෙල රූපවාහිනී නරඹන සියලු දෙනා පාහේ දැක ඇති බවට සැක නැත. ටයර් පේළි, යකඩ වැටවල් ආදියෙන් පිටුපස සිට පමණක් වින්දනයක් ලබන තරගයක් ලෙස එය පවතින්නේ එහි ඇති මාරක අනතුරු සේයාව පැහැදිලි නිසාය. එහෙත් එවැනි තරගයක් නැරඹීමට මල් පෙරහැර නරඹන්නා සේ ළඟට යෑම යනු නොසැලකිලිමත් බව ලෙස හැර හැඳීන්විය හැකි තවත් ක්‍රමයක් ඇත්නම් ඒ එකම වචනයකි.

ඡ්‍යොතිෂ විග්‍රහයට මුල් තැන දෙන්නකුට ඒ නොසැලකිල්ල ඇති වන්නේ ග්‍රහ පිහිටීම් ඒ අයුරින් යෙදුණු විට යැයි තර්ක කළ හැකිය. එසේ දෝ සතර පිළිබඳ සැලකිලිමත් වන්නේ නම් කළ යුත්තේ මුලින් කී පරිදි තමන්ට අනතුරක් තිබේදැයි ඒ ක්‍රමයටම සොයා බලා ඉන් වැළකීමට පියවර ගැනීමය. එසේ නොකරන්නේ ද නොසැලකිලිමත් බව නිසාමය. මෙය ද කිකිළිය හා බිත්තරය පිළිබඳ සුප්‍රසිද්ධ කියමන මෙන් දෙපිලට බෙදී කල්ප ගණන් වාද කළ හැකි විෂයයක් වනු ඇත.

එහෙත් මෙහිදී අවධාරණය කළ යුතු දෙය නම් තමන් කරන කියන කටයුතු යහපත් සිහියෙන් යුතුව කිරීමට සුදානම් වීමය. එනම් සම්මා සතියයි. යහපත් සිහියෙන් යුතුව කරන කටයුතුවලදී එළැඹි සිහියෙන් ක්‍රියා කිරීම නිසා මේ කටයුත්තේ මේ අයුරින් යෙදීමෙන් මෙවැනි දේ සිදුවිය හැකි යැයි ඉවක් හට ගනී. එය විනෝදය නිසා හෝ මිත්‍ර සමාගමය සමඟ සතුටු සාමීචියේ යෙදීමෙන් හෝ අහිමිව යන ඉවක් නොවේ. ඒ සියලු වින්දනයන් මැද වුව තමන්ගේ ආරක්ෂාව පිළිබඳ තමන්ගේ සිත කියන දේ අනාහත නාදයෙන් මෙන් ඇහෙන්නට ගන්නේ සිහිබුද්ධියෙන් යම් දෙයක නරත වන පුද්ගලයාටය.

සැබෑ සතුට ජීවිතයට ළඟා වන්නේ සම්මා දිට්ඨියෙන් හෙවත් යහපත් දැක්මෙන් යුතුව, සම්මා සතියෙන් හෙවත් යහපත් සිහිකල්පනාවෙන් යුතුව කරන කටයුතුවලනි. එසේ නොවන සැම මොහොතකම තම ක්‍රියාවේ කිසියම් හෝ අඩුපාඩුවක් නිසා ලැබෙන සතුට පවා අහිමිව යයි.

මෙය ඡ්‍යොතිෂයෙන් කළ හැකි දෙයක් හෝ ග්‍රහයන්ගේ පිහිටීම නිසා අහිමි වන දෙයක් හෝ ලෙස සලකනවාට වඩා ජීවිතය ගෙවීමේදී සෑම දෛනික කටයුත්තකටම අදාළ පුරුද්දක් ලෙස සලකන්නේ නම් අපට මහා අනතුරු පමණක් නොව නානකාමරයේදී සිදුවන අනතුරු, පඩිපෙල්වලදී සිදුවන අනතුරු වැනි එදිනෙදා සුළු අනතුරු පවා වළක්වා ගත හැකි වනු ඇත.

යමෙකු මිය ගිය පසු එයට හේතු සෙවීම හෝ සිදු වූ වරද පිළිබඳ පශ්චාත් ප්‍රකාශ කිරීමෙන් පලක් නැත. එහෙත් ජිවතුන් අතර සිටින අය එයින් ලබාගත යුතු පාඩමක් ඇත්නම් ඒ පිළිබඳ අවධානය යොමු කිරීම අවදානමෙන් අප බේරා දමනු නියතය. එනිසා අප විශ්වාස කරන කුමන හෝ ශාස්ත්‍රයක්, ආගමක්, දහමක් හෝ යහ පුරුද්දක් වේ නම් ඒ සියල්ලේ පිහිට ගෙන අප නිරන්තර අනතුරට ලක් කරන නොසැලකිල්ල පිළිබඳ සැලකිලිමත් වන්නේ නම් මරුවා මෙන්ම ග්‍රහයා ද සම්මා සතියට පරාජය කළ හැකි වනු ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.