උතුම් ධර්මයේ මඟම යන්න

මැයි 13, 2022

වෙසක් සඳ පායන්නට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. අප අමාමෑණි ශාන්තිනායක බුදු පියාණන්ගේ උතුම් වූ තෙමඟුල සමරන්නට ලෝකවාසී බොදුණුවෝ සැදී පැහැදී සිටිති. ඉපදීම, බුදුවීම සහ පිරිණිවන්පෑම යන උතුම් සම්බුදු තෙමඟුල සමරන අවස්ථාවේ අප රට පත්ව ඇති තත්ත්වය අවබෝධකොට ගෙන සමඟි සම්පන්නව කටයුතු කිරීමට හැකි නම් ඒ සඳහා බුදුන්වහන්සේ දේශනා කළ ධර්මය මහත් පිටිවහලක් වනු නොඅනුමානය. බුදුන් දෙසූ ධර්මය මඟින් සිහිපත් කෙරෙනුයේ එකිනෙකා කෙරෙහි මෙත් සිත් පතුරුවමින් සමඟියෙන් සහ සහජීවනයෙන් කටයුතු කිරීමේ වටිනාකමයි. එමෙන්ම කොතරම් දුකක්, වේදනාවක්, වෛරයක් සිතෙහි ජනිත වුව ද එකිනෙකා කෙරෙහි ඉවසන සුළු බවයි. බුදු උපත අපට අමා මිහිරක් වනුයේ බුදුන් වදාළ ධර්මය අනුව අප හැසිරෙන්නේ නම් කටයුතු කරන්නේ නම් පමණි. මෙම අසිරිමත් දිනයේ අසිරිය සැබවින්ම විඳ ගැනුමට නම් ආමිස හා ප්‍රතිපත්ති පූජාවේ නිමග්නව අප කටයුතු කළ යුතුය.

වර්තමානයේ සියලු සත්වයින් ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රශංසා, සැප දුක යන අටලෝ දහම සැබෑවටම අත්විඳීමින් සිටිති. මේ සියල්ල හමුවේ උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට අප කටයුතු කළ යුතුය. ඒ සංසාරයේ අත්විඳීන දුක, දුකට හේතුව, දුක නැතිකිරීම, දුක නැති කිරීමේ මඟ

යන මාර්ගයි. මෙම චතුරාර්ය සත්‍යය අප ජීවිතවලට කොතරම් සැනසිල්ලක් ලබාදෙනවාද? අතීතයේ පැවැති මිනිස් ජීවිත ඉතා සරලව ගලාගෙන ගිය බව නොරහසකි. අද සමාජයේ පවතින කාර්යබහුල ස්වරූපය එදා මිනිසුනට නොවීය. ඔවුනට අසීමිත අවශ්‍යතා නොවිණි. එහෙත් අද ඇත්තේ ක්ෂණිකව වෙනස් වන සංකීර්ණ සමාජ ජීවිතයකි. මුදල් පසුපස හඹා යන, ඉවසීමක් කොතනකවත් දක්නට නොමැති මිනිසුන් පිරි සමාජයක්ය. ඈත අතීතයේ පුද්ගලයකුගේ පරමායුෂ අවුරුදු 160ක් 120ක් පමණ ඉහළ අගයක තිබුණු බව අපි අසා ඇත්තෙමු. මේ වන විට එම පරමායුෂ උපරිම අවුරුදු 70-65 දක්වා පහතට බැස ඇති බවක් පෙනේ. මෙම පරමායුෂ තවත් වසර ගණනකින් අවුරුදු දහය දක්වා අඩුවී යන බවට බුදුන්වහන්සේ දේශනා කර තිබේ. එම කාල සීමාවේ දී මේ සමාජයේ වෙසෙන මනුෂ්‍ය වර්ගයා මෘගයන් සේ හැසිරෙන බවත් තිරිසන් සතුන් සේ ගහ මරා ගනිමින් ලොව ලේ විලක් බවට පත් වන බව වැඩිදුරටත් සඳහන්වේ. අද අපි මේ සමාජය දෙස බලද්දී අත් දකින්නේ එහි ආරම්භය නොවේදැයි යමෙකුට සිතෙන්නට පුළුවන. එය ඇත්තකි. මිනිසා පක්ෂ පාට මෙන් ජාතීන් ලෙස ආගමික අන්තවාදීන් ලෙසත් බෙදෙමින් ඇන කොටා ගන්නා බව පැහැදිලිව දක්නට ඇත. සෑබෑවටම අපට මෙම තත්ත්වය වළක්වා ගත නොහැකි ද? හැකියි. ඒ බුදුන් වහන්සේ අපට පෙන්වාදුන් ධර්මයේ මඟ යෑමෙන් පමණි. බුදුන්වහන්සේ තම අසිරිමත් ධර්මය ඔස්සේ පෙන්වා දෙන්නේ, හිස ගිනි ගත්තෙක් එය නවත්වන්නට කටයුතු කරන්නේ යම් සේ ද භව ගින්දර නිවාගැනීම සඳහාත් එලෙස හිතයොමු කළ යුතු බවයි. සැබැවින්ම, උතුම් තෙමඟුල සිහිකරන පින්බර වෙසක් දිනයේ භව ගින්දර නිවා ගැනුමට නම් චතුරාර්ය සත්‍යය ඔස්සේ විහිදෙන බෞද්ධ දර්ශනය කෙරෙහි අප සැමගේ අවධානය යළි යළිත් යොමු කළ යුතු නොවේද? අප ගෙවන මේ අතිභයංකර ජීවිතයටත්, අනාගතයටත් මුහුණදීමට නම් එය මහත් වූ පිටුබලයකි. මහත් වූ අස්වැසිල්ලකි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.