එක වචනයක් හෝ පැවසුවොත් තා මළවුන් අතරයි...

ඔක්තෝබර් 4, 2019

සීතල සුළඟ සමගින් සන්ධ්‍යා අන්ධකාරය කෙමෙන් කෙමෙන් ප්‍රදේශය ආක්‍රමණය කරද්දී රිදීමැඩිල්ල වෙල් යාය අසබඩ දික්ගහලෙන කඳු මුදුනේ පිහිටි ගල් ගුහාවේ සුවිශේෂී වතාවත් ගණනාවක් සිදු කෙරුණේ පහත පිහිටි සතුරන්ට ඒ ගැන කිසිවක් දැන ගැනීමට ඉඩක් නොතබමිනි. ප්‍රබල ගෝරාවරුන්ගේ පූර්ණ ආරක්‍ෂාව යටතේ කෙරුණු ඒ මන්ත්‍ර සහ තාන්ත්‍රික ක්‍රමවේදයන් සඳහා ගෙන්වනු ලැබූ අස්වාභාවික බලවේග නිසා කඳුකරය වටා නිරන්තරයෙන් සුළි සුළඟක් ලෙස අසාමාන්‍ය වායු ප්‍රවාහයන් හමා බැස්සේය. පහත වෙල් යායේ කඳවුරු බැඳ උන් ආක්‍රමණික සෙබළුන්ගෙන් බොහෝ දෙනෙක් මේ නිසා තරමක බියෙන් පසු වූ අතර, විශාල ආරක්ෂක සෙබළ වළල්ලක්ද කඳවුර වටා යොදවා තිබිණ.

හිරු අස්තගත වනවාත් සමඟම කාලවර්ණ තිර වලින් මුවදොර ආවරණය කර තිබූ ඒ ගල් ගුහාවේ ඇරඹුණු ඒ වතාවත් අවසන් වෙද්දී මැදියම් රැයට ආසන්න වෙමින් පැවතුණි. ධූරා ඇතුළු මහා ගෝරාවරුන් කිහිප දෙනෙක්ම වතාවත් කෙරෙන ස්ථානයේ රැ¼දී සිටි අතර, එහි සිටි පරිවාර ගෝරාවරුන් සියලු දෙනාම ගල් ලෙන හාත්පසින් රැකවල් කළහ. මහා විද්‍යාජෝති කුමරු විසින් මේ වතාවත් සියල්ල ඉක්මණින් සහ අංග සම්පූර්ණව ඉටු කළ අතර, විද්‍යාජෝති කුමරු ඇතුළු ගෝරාවරුන් තිදෙනෙක් නොපෙනී ගොස් සතුරු

කඳවුරට ඇතුල් වන්නට සැදී පැහැදී සිටියහ. මැදියම් රැයට ආසන්න වෙද්දී සියල්ල අවසන් වූ බව විද්‍යාජෝති කුමරුන් විසින් ධූරා වෙත දැනුම් දුන්නේය. ඒ නියමය අනුව විද්‍යාජෝති කුමරුත්, යෂ්ඨි හරඹයේ අග්‍රගණ්‍ය මහා ජීවාලෝක කුමරුන් සහ හෙළයේ මහා කරණම් ශූර මහා චන්‍ද්‍රනාථ කුමරුන් මෙසේ නොපෙනී ආක්‍රමණික සතුරු කඳවුරට යන්නට සූදානම් ව සිටි අතර, ඔවුන් මෙසේ තම තමන්ගේ රුධිරය ගෙන මිශ්‍ර කර, ඒවා යක්ෂ ගෝත්‍රික බල මන්ත්‍ර

වලින් ජීවම් කර ආලේප කිරීමේ ප්‍රබල ක්‍රමවේදයක් මෙහිදී භාවිතා කළහ. බාහිර ලෝකයාට මුළුමනින්ම නොපෙනී යන නමුත්, එහිදී ඔවුන් දර්ශනය වන්නේ ඔවුනොවුන්ට සහ ගෝරාවරුන් හට පමණකි. මෙසේ සූදානම්ව, පූර්ණ සන්නාහ සන්නද්ධව ඔවුන් අර කළු තිර යෙදූ ගල් ගුහාවෙන් පිටතට පැමිණෙද්දී ඔවුන්ගේ සහෝදර මහා ගෝරාවරුන් හට හැර අනෙක් සාමාන්‍ය හෙළ යුද සෙබළුන් හට පෙණුනේ කාලවර්ණ තිර රෙදි මෑත් වී සුළං ප්‍රවාහයක් වැනි යමක් පිටතට පැමිණි බව පමණි. මේ නිර්භීත හෙළ රණ ශූරයින් තිදෙනා,

ධූරා අබියස දණ ගසා කිසියම් නමස්කාර මුද්‍රාවකින් අවසර ගත්හ. මෙහිදී ධූරා කිසියම් අස්වාභාවික ලෙස

අතැඟිලි පැටලවූ හස්ත මුද්‍රාවකින් ඔවුන්ට අවසර දුන්නේය. ඉන් පසුව, දෙනෙත පමණක් පෙනෙන ලෙස කාලවර්ණ ශීර්ෂාවරණ පැළඳ ගත් ඔවුන් ඝන වනය තුළින් පහත වෙල් යායේ පන්දම් දල්වා තිබූ ඉසව්වේ තිබෙන සතුරු කඳවුරු දෙසට යනු, ධූරා ඇතුළු මහා ගෝරාවරුන් බලාගත් බැල්මෙන් බලා සිටියහ.

පසුගිය දින කිහිපයේදී සිය ආක්‍රමණික සෙබළුන් සිය ගණනක් අස්වාභාවික අන්දමින් හෙළ බළ

සේනාව අතින් මැරුම් කෑම නිසාදෝ, සිම්ජා සහ හරේරා විසින් සතුරු කඳවුර වටා රැකවල් තර කර තිබිණ.

ළඟ ළඟින් යොදවා තිබූ ආරක්‍ෂක සෙබළුන් අතර මිනී කන ලුන්ඩා යෝධයින් රාශියක්ද වූහ. හෙළ යක්ෂ ගෝත්‍රිකයන්ගේ හැකියාවන් පිළිබඳව දැන් දැන් දැනෙන්නට පටන් ගෙන තිබූ නිසාවෙන් මෙසේ දැඩි ආරක්ෂාවක් කඳවුර වටා යෙදීමට ඔවුන් තීරණය කළහ. එහෙත් නොපෙනී විත් සතුරන් ඝාතනය කිරීමට හෙළ යක්ෂ ගෝත්‍රික මහා ගෝරාවරුන්ට හැකියාව ඇති බවක් ඔවුන් සිහිනෙන් හෝ නොසිතූහ.

බටහිර දෙසට ඇදී තිබූ අඩ සඳේ ආලෝකයෙන් රිදීමැඩිල්ල වෙල් යායට ඉහළින් මතුව තිබූ දැඩි

තිමිර පටලය ආලෝකමත් වී තිබිණ. විශාල වෙල් යායේ මැදට වන්නට තනා තිබූ කඳවුර වටා තැනින් තැන දල්වා ලූ පන්දම් රාශියක්ද වූයේය. එවන් තත්ත්වයක සහ ප්‍රබල ආරක්ෂාවක් යටතේ කිසිම සතුරෙකුට සතුරු කඳවුරට ඇතුල් වන්නට නොහැකි බව සිතූ සිම්ජාත් ඔහුගේ සගයින් දෙදෙනාත් සතුටින් උදම් අනමින් නින්දට ගියත්, ඔවුන්ට ඉදිරියෙන් නැගී සිටි දැවැන්ත දික්ගහලෙන කන්ද දෙසින් ඔවුන් දෙසට පැමිණෙන

අන්තරාව ගැන හාංකවිසියක් වත් දැන නොසිටියහ. වන ගහනය දෙසින් ආක්‍රමණයක් එතැයි සැක කළ නිසාවෙන්, සතුරු කඳවුර වටා දික්ගහලෙන කන්දට මුහුණ ලා පිහිටි ප්‍රදේශයේ මුර සෙබළුන් රාශියක් යොදවා තිබුණි. ඒ ප්‍රදේශයේ ගිනිමැළ ගණනාවක් ද ගසා තිබූ අතර, තියුණු දෙනෙතින් යුතු අමානුෂික මුර සෙබළුන් අසිපත් අත දරා එහා මෙහා ගියහ.

වන ගහනය දෙසින් පැමිණි සෙමෙන් සෙමෙන් තණපත් සහ කුඩා පඳුරු තැලෙන පහත් පියවර

හඬවල්, ගමන් කරන්නාවූ සතුරු සෙබළුන්ගේ පා හඬින් මැකී ගියේය. සතුරු සෙබළුන් පා තබන රටාවටම පා තබමින් සිය පා හඬවල් සඟවමින්, මේ ප්‍රබල හෙළ රණශූරයින් තිදෙනා සතුරන්ට නොපෙනී ගොයම් කපා තිබූ කුඹුරු වෙල මැදින් ගොස් ආරක්‍ෂක සතුරු සෙබළ වළල්ල පසු කළහ. ඔවුනොවුන් හා පහත් හඬින්, සිනා සෙමින් කථා කරමින් සිටි මේ සතුරු සෙබළුන්, සිය දෙනෙත් වලට නොපෙනී ප්‍රබල පුද්ගලයින් තිදෙනෙක් තමන් පසුකර කඳවුරට ඇතුළු වූ බව කිසි කලෙක නොසිතූහ. තරමක අන්ධකාරයෙන් යුත් කඳවුර ඇතුළත සම් කූඩාරම් අටවා තිබූ අතර, ඒවා අතරින් තැනින් තැන අවි ගත් සතුරු සෙබළුන් එහා මෙහා සැරිසැරූහ. කිසිම කලෙක නොපෙණුනු සතුරෙක් තම කඳවුරට එතැයි ඔවුන් නොසිතූහ.

විශාල ප්‍රදේශයක් පුරා පැතිර පැවති සිම්ජාගේ කඳවුර තුළ ගමන් කළ මේ ප්‍රබල ගෝරාවරුන්

තිදෙන, සතුරෙකු මරා දැමීමට ලැබුණු සෑම අවස්ථාවක්ම මග හැරියහ. හේතුව, සුළු අත්වැරදීමක් හෝ සිදුවුවහොත් ගල් ගසනු ලැබූ දෙබරයකින් මෙන් හාත්පසින් සතුරු සේනාව අවදි වුවහොත්, තම ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වනු ඇති බැවිනි. එම නිසා මනා පරීක්‍ෂාවෙන් යුතුව ගමන් ගත් ඔවුන්, අවසානයේ යුද සෙබළුන් වළල්ලක ආරක්ෂාව යටතේ පැවති තරමක් විශාල කූඩාරම් තුනක් අසලට පැමිණියහ. එනම් සිම්ජා සහ ඔහුගේ සගයින් දෙදෙනාගේ කූඩාරම් වූයේය. මෙහිදී රහසින් සාකච්ඡා කළ මේ ගෝරාවරුන් තිදෙන, ඒවා මගහැර එම ප්‍රදේශය වටා ගොස් මිනී ඇට සහ මිනිස් හිස් කබල් එල්ලා තිබූ තවත් කූඩාරමක්

අසලට පැමිණියහ. ඒ නම් ඔවුන්ගේ ඉලක්කය වූයේය. එනම් මෂ්පිණ්ඩි නම් යක්දෙස්සා ගේ කූඩාරම වීය.

කූඩාරමේ ඇතුළු වන ස්ථානයේ පන්දමක් දල්වා, මුර සෙබළුන් දෙදෙනෙක් ද මුර කරමින් සිටියහ.

ඒ නිසා, අන්ධකාරයේ කූඩාරම පිටුපසින් ගිය මේ රණශූරයෝ තිදෙනාගෙන් දෙදෙනෙක්, කූඩාරමේ තිරකඩ ඔසවා තලගොයින් මෙන් බඩගාගෙන ඊට ඇතුළු වූහ. පිටතින් කිසිවෙක් ඒ දෙස බලා සිටියේ නම් ඔහුට පෙනී යනු ඇත්තේ කූඩාරම් රෙද්ද ඉබේම සෙමෙන් එසවී යළිත් ඉබේම පහතට වැටෙන අන්දමයි.

කූඩාරම තුළට ඇතුළු වූ මහා විද්‍යාජෝති කුමරු සහ මහා ජීවාලෝක කුමරුන් දුටුවේ කුඩා

පහනකින් කූඩාරම ආලෝකමත් වී ඇති බවයි. ක්‍ෂණික බැල්මකින් ඔවුන් දුටුවේ සමින් කළ ඇඳක මෂ්පිණ්ඩි තද නින්දේ පසුවන බවත්, ඒ අසලම තවත් පහනක් දල්වන ලද මල් තටුවක් වැන්නක් පවතින බවයි. ඒ අසල ගුරුකම් වලට ගන්නා තවත් අඩුම කුඩුම රාශියක් වූයේය. මෂ්පිණ්ඩි ගේ ඇඳ අසලම බිම අතුරන ලද

සම්කඩක ඔහුගේ තාවකාලික ආවතේවකරු යැයි සිතිය හැක්කා වූද, සෙබළ ඇඳුමින් සැරසුණා වූද, තවත් පුද්ගලයෙක් නිදා සිටියේය.

මෙහිදී මේ ප්‍රබල ගෝරාවරුන් දෙදෙන හිස සලා කිසියම් සංඥාවක් කරගත් අතර, මහා විද්‍යාජෝති කුමරුන් මෂ්පිණ්ඩි ගේ සයනය අසලට ගියේය. ජීවාලෝක කුමරුන් සෙමෙන් සිය දැළිපිහි තලයක් මෙන් තියුණු වූත්, බර වූත් කිණිස්ස රැගෙන බිම නිදා සිටි පුද්ගලයා අසලට පහත් වූයේය. කල් යල් බලා විද්‍යාජෝති කුමරු මෙහිදී ක්‍ෂණිකව මෂ්පිණ්ඩි ගේ මුහුණට පහත් වී දැඩි ග්‍රහණයෙන් මහල්ලාගේ මුව වසා අල්ලා ගන්නවාත් සමගම, ජීවාලෝක කුමරුන් අර බිම නිදා සිටි අතවැසියාගේ මුව තරයේ වමතින් වසා, දකුණතින් එල්ල කළ එකම තියුණු කිණිසි පහරින් නිදා සිටි මිනිසාගේ ගෙළ වෙන් වන්නටම කපා දැමුවේය.

මෙහිදී විද්‍යාජෝති කුමරුගේ ග්‍රහණයට හසුව කිසිවක් වටහා ගත නොහැකි වූ මෂ්පිණ්ඩි අත පය

ගසමින් දඟලන්නට පටන් ගත්තේය. ඔහුට තමා ග්‍රහණය කරගෙන සිටි පුද්ගලයා නොපෙණුනෙන්, නානා අන්දමේ මිථ්‍යා විශ්වාසයන් මනස පුරා දිව ගියේය. ඒ අතර, ජීවාලෝක කුමරුන් ක්‍ෂණිකව ඉදිරියට පැන,

දැල්වෙමින් තිබූ පහන නිවා දමා කූඩාරමේ දොර පියන් අසල අන්ධකාරයේ ගුළි වූයේය.

පිටතින් වූ සෙබළුන් දෙදෙනාට කූඩාරම තුළින් යම්කිසි අස්වාභාවික දැඟලීමක් ඇසුණෙන්,

ඔවුන්ගෙන් එකෙක් අනෙකා දෙස බලා, සෙමෙන් කූඩාරමේ දොර රෙද්ද ලෙස තිබූ සම්කඩ ඇරගෙන ඇතුළට ආවේය. දුටු දෙයින් ඔහු තුෂ්ණිම්භූත වූයේය. සම් ඇතිරිල්ල මත සිටි මෂ්පිණ්ඩි අස්වාභාවික ලෙස දඟලමින් සිටි අතර, අඳුරට දෙනෙත හුරු වෙත්ම, බිම වැතිර තිබූ ඒ වන විටත් හිස කඳෙන් වෙන්වී ලේ විදිමින් තිබූ සෙබළාගේ මළ සිරුරද පෙනී ගියේය. අන් කිසිවෙකු කූඩාරම තුළ සිටිනු ඔහු දුටුවේ නැත. මහ හඬින් කෑ ගසන්නට පෙරාතුව දැඩි සුළං පහරක් පිටුපසින් හමා ආවාක් වැනි හැඟීමක් සෙබළාට ඇති විය.

ඒ සැණින් පිටුපසින් ආ කිසිවෙක් දැඩිව සෙබළාගේ මුව වසා අල්ලාගෙන අන්ධකාර මුල්ලට ඇද ක්‍ෂණිකව ගෙල වෙන් වන්නටම කපා හෙළීය. කිසිදු හා හූවක් නොමැතිව අස්වාභාවික ලෙස සිය මුර සෙබළා පිටුපසට ඇදී ගොස් හිස කඳෙන් වෙන්වී මිය යනු දුටු මෂ්පිණ්ඩි ගේ භීතිය දස ගුණයකින් වැඩි වී ගියේය.

නිසැකවම මේ නම් හෙළ දේශයේ අවතාර වන්නට ඇත.

ඉන්පසුව කූඩාරමේ සිදුරකින් පිටත බැලූ මහා ජීවාලෝක කුමරුන්, කල් යල් බලා කූඩාරමේ සම්

රෙද්ද අසල සිටි මුර සෙබළාගේ ද මුව තරයේ වසා කූඩාරම් දොරින් ඇතුළට ඇද නිහඬව ක්‍ෂණිකව ගෙල වෙන් වන්නට කපා මරා දැමූයෙන් මෂ්පිණ්ඩි සිය දැඟලීම නවතා ගැහෙමින්, තමා ග්‍රහණය කරගෙන සිටි නොපෙනෙන පුද්ගලයාට යාඥා කරන්නට වූයේය. මෙහිදී අන්ධකාරයෙන් මෂ්පිණ්ඩිට රහසින් ඇසුණේ ඔහුට හුරු පුරුදු බටහිර දේශයේ බසින් පැහැදිලිව පැවසුණු එකම එක වාක්‍යයකි.

“නිහඬ වනු නීචයා... එක වචනයක් හෝ පැවසුවහොත් තා මළවුන් අතරයි...

මතු සම්බන්ධයි.

කතාව
හෙළසිරි ඉඳුනිල්
මොරමුදලිආරච්චි
සිතුවම - සමන් ශ්‍රී කාන්ත

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.