පනස්වන සංවත්සරය සමරන සුබසෙත

මැයි 24, 2019

පනස්වන සංවත්සරය සමරන සුබසෙතට දීඝායු

ඈත අතීතයේ හෙළයේ හෙළ රජ සමයේ සිට තත්කාල ශාස්ත්‍රය සහිත ඡ්‍යොතිෂ ශාස්ත්‍රය, හෙළ වෙදකම, යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව, සෙත් කවි ගෘහ නිර්මාණ ශිල්පය, බෞද්ධ ප්‍රතිපත්ති හා බැඳී පවතින, සිංහල සංස්කෘතිය පිළිබඳව දැඩි විශ්වාසයකින්, ගෞරවයෙන් යුක්තව පිළිගෙන තිබුණ නිසා නිරෝගිමත් සදාචාර සම්පන්න ශක්තිමත්, අභිමානවත් සාමකාමී සමාජයක් පැවති බව රහසක් නොවේ.

නමුත් 60 දශකය වන විට විදේශීය බලපෑම් නිසා එදා ඒ පැවති ශාස්ත්‍රයන් පිළිබඳව ජනතාව තුළින් විශ්වාසය ගෞරවය බැහැරවීමේ අවධානමක් ඇතිවීම නිසා ඉහත සඳහන් ප්‍රතිපත්ති ශාස්ත්‍රයන් අනාගත පරපුරේ යහපත පිණිස සුරක්ෂිතව පවත්වාගෙන යාම පිණිස ලේක්හවුස් ආයතනයේ පින්වත් නැණවත් බලධරයන් විසින් ක්‍රි. වර්ෂ 1969 මැයි මස 28 වැනි දා විජේසිරි විද්‍යාරත්න මැතිඳුන්ගේ උපදේශක කර්තෘත්වයෙන් සුබසෙත පුවත්පත එළිදක්වා ඇත.

එදා මෙදා තුර කිහිප පලකගේ උපදේශකත්වය යටතේ සුබසෙත පළකර ඇති නමුත් ජයතිලක අඹුවන්ගල මැතිතුමා යටතේ සුබසෙත පවත්වාගෙනගිය සමයේ ඉතා සාරවත් වූ, නිවැරැදිවූත් එදිනෙදා ජීවිතයට අවශ්‍ය උපදෙස් සහිත ලිපිවලින් යුක්තවීම නිසා සුබසෙත පත්‍රය සම්බන්ධ ජනපි‍්‍රයතාවය වැඩිවිය. අඹුවන්ගල නාමය සුබසෙත කියූ පමණින් අඹුවන්ගල නාමය සිහිපත් වේ. අද දවස වන විට අඹුවන්ගල නාමය හා කැපවීම සුබසෙතට ලැබිම සුබසෙත පවත්වාගෙන යාමට ශක්තියක් ආශීර්වාදයක් වී ඇත.

මගේ දැනීමේ හැටියට ආචාර්ය පියසේන රතුවිතානශූරීන් සුබසෙත උපදේශක කර්තෘ පදවියට පත් කෙටි කාලයක් තුළ දී ඉතා දුෂ්කර ගම්බද ප්‍රදේශවල අප්‍රසිද්ධව ජීවත්වන තත්කාල ශාස්ත්‍රය පිළිබඳ මනා දැනුමක් ඇති ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයින්, වෛද්‍යවරුන්, යන්ත්‍ර මන්ත්‍ර කටයුතු කරන අය, සෙත් කවිරචකයින් ගෘහ නිර්මාණ ශිල්පීන්, අතබලා ශාස්ත්‍ර කියන්නන් සොයා ඒ අයගේ දක්ෂතා හැකියාවන් සොයා බලා සුබසෙත පත්‍රය මඟින් සමාජයට හඳුන්වා දෙමින්ද ඒ අයගේ අදහස්වලට සුබසෙත පත්‍රයේ ඉඩකඩ සලසාදෙමින් ජනතාවට ඒතුළින් සහනය ලබා ගැනීමට ඉඩකඩ සැලසීම නිසා සුබසෙත කෙරේ තැබූ විශ්වාසය තවදුරටත් වර්ධනය විය. ජනතා ප්‍රසාදය වර්ධනය විය.

පිටිසර ගම්බද ප්‍රදේශයක් අප්‍රසිද්ධව තත්කාල ශාස්ත්‍රය මූලික කර ඡ්‍යොතිෂ සේවයේ යෙදුණු මට තත්කාල ශාස්ත්‍රයේ හාස්කම් විස්කම් පෙන්වීමට සුබසෙත මට උසස් වේදිකාවක් විය. ලක්ෂ ගණනකගේ ජනතා දුක් කඳුලු පිස දමා සැනසීම ලබා දීමට හැකිවීමේ ගෞරවය සුබසෙතට හිමිවිය යුතුයයි මගේ විශ්වාසයයි. සිංහල අලුත් අවුරුදු අතිරේකයට, වෙසක් පොසොන් අතිරේක කියවීමට ජනතාව තුළ විශේෂ බලාපොරොත්තුවක් විය.

දැයට කිරුළ ප්‍රදර්ශනයේ දී මෙම සියලු ශාස්ත්‍රඥයින් එක්කරගෙන ප්‍රදර්ශනයේදී කොටස්කරුවකු වශයෙන් ජනතාවට නොමිලයේ කළ සේවයට එයට සහාය ලබා දුන් ශාස්ත්‍රඥයින් සුබසෙත ගෞරව සම්මාන ලබාදීමෙන් සුබසෙත පත්‍රයේ ස්වර්ණමය යුගය සටහන්කර ඇතැයි මා සිතමි.

සුබසෙත පත්‍රය ආරම්භ කළ දා සිට මෙපමණ කාලයක් තුළ දී සුබසෙත අද දක්වා පවත්වාගෙන ඒමට නන් අයුරින් සහාය දී මිය පරලොව ගිය සැමට පින් අනුමෝදන් කරන අතර, ඉදිරියට මෙම පුවත්පත පවත්වාගෙන යාමට ඇප කැපවී සිටින සැමට සුබසෙත සහිත දීර්ඝායු පතමි.

ජයශ්‍රී, ඡ්‍යොතිෂවේදී, රාජ්‍ය සම්මානලාභී, පොල්ගම්පල,

කේ. ඇක්මන්.

 

 

 

 

සුබසෙත පත්‍රයට 50 වසරක් පිරීම

සුබසෙත ඡ්‍යොතිෂ පත්‍රය ආරම්භ කරණ ලද්දේ එහි නිර්මාතෘ පියසේන නිශ්ශංකයන් විසින් වන අතර ඔහුගේ උපදෙස් මත ඡ්‍යොතිෂය කර ගෙන යනු ලැබුවේ විජයසිරි විද්‍යාරත්න ඡ්‍යොතිෂඥ මහතා විසිනි.

ඔහු විසින් ආරම්භ කරන ලද සුබසෙත ඡ්‍යොතිර් විද්‍යා පත්‍රය අද වන විට 50 වසරක් ගත කළ බව අදටත් විශ්මයජනක වේ.

මන්ද යත් ලංකාවේ මේ වන විට ඡ්‍යොතිෂ පත්‍ර හිසේ කෙස් ගණනේ බිහි වුවද දිගු කාලයක් කරගෙන යාමට අපහසු වුයේය. විජයසිරි විද්‍යාරත්න මහතාට පසුව සිවපාල බණ්ඩාර මහතා එම තනතුර 1970 ගණන් වල භාර ගත් අතර පත්‍රය ඉතා හොඳින් කරගෙන එන ලදී. ඔහුගේ ඇවෑමෙන් දයාරත්න රණසිංහ මහතා කරගෙන ආ අතර එම කාල සීමාවේදී පත්‍රය ඉතා හොඳින් කරගෙන එන ලදී.

ඔහුගේ ඇවෑමෙන් වර්ෂ 1985 දී පමණ ජයතිලක අඹුවන්ගල මහතා කර්තෘත්වය භාරගෙන කටයුතු කළ අතර ඉතා උසස් සේවයක ඡ්‍යොතිෂ්‍ය සම්බන්ධයෙන් සහ පත්‍රයේ උන්නතිය වෙනුවෙන් කටයුතු සම්පාදනය කරන ලදී. ඔහු ටික දිනකට ඉහතදී වර්ෂ 94ක් ආයු ගෙවා අපව හැරදා යන්නට ගියේය. ඉන් පසු ඒ අඩුව පිරවීම සඳහා කපිතාන් චන්ද්‍රසිරි නවරත්න මහතා කර්තෘත්වය භාරගෙන දිගටම එය අඩුවක් නොමැතිව කරගෙන ගිය අතර ඡ්‍යොතිෂය නවමු මගකට ගෙන යන ලදී.

ඉන් පසු ගීතා ජයසූරිය මැතිණිය ඔහුගේ අඩුව පුරවන ලදී. ඇයද පත්‍රයේ අඩුවක් නොමැතිව හරියාකාරව රටේ ජනයාට ඡ්‍යොතිෂ්‍ය සම්බන්ධයෙන් ඉගෙන ගැනීම සඳහා පත්‍රය නවමු අන්දමකට ගෙන ගිය අතර අනෙකුත් ජොතිෂ්‍ය පත්‍රවලට වඩා මුල් තැනක් ගෙන ගියේය.

ඇයගේ කාලයේදි මාතර ඡ්‍යොතිෂ නොමිලේ සේවයක්ද පවත්වන ලදී. ඒ සඳහා ලක්ෂ ගණනින් මහජනයා නොමිලේ ඡ්‍යොතිෂ සේවාව ලබා ගැනීම සඳහා දින 5 ක්ම සේවය ලබා ගැනීමට පැමිණියේය. දිවයිනේ නොයෙක් පළාත් වලින් ඡ්‍යොතිෂඥයෝ ඒ සඳහා ඔවුනගේ සේවය නොමිලේ ලබා දෙන ලදී. මේ සඳහා උපදේශක කර්තෘ වන නිලූකා ඒකනායක මහත්මියගේ නොමද සහයන් ලබා දෙන ලදී. නිලූකා ඒකනායක මහත්මියගේ ඇවෑමෙන් පියසේන රතුවිතාන මහතා උපදේශක කර්තෘ වශයෙන් සේවය භාර ගන්නා ලද අතර සුබසෙත පත්‍රයට වසර 40 ක් පිරීම නිමිත්තෙන් අරලිය ගහ මන්දිරයේදි ගරු එවකට ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා වෙතින් ඡ්‍යොතිෂඥයින් 40 කට සහ ආයුර්වේද වෛද්‍යරුන් 40 සඳහා සම්මාන පිරිනමන ලදී.

රාජ්‍ය වෙනස් වීමෙන් පසු පියසේන රතුවිතාන මහතාගේ ඇවෑමෙන් චම්පිකා අඹුවන්ගල මැතිනිය සුබසෙත පත්‍රයේ කර්තෘත්වයට පත් වී එහි සේවය කර ගෙන ගිය අතර පත්‍රය හොඳ තත්ත්වයෙන් කරගෙන ගියේය. ඉන් පසුව අජිත් ධර්මසිරි මහතා මේ වන විට කර්තෘත්වය කරගෙන යන්නේය. මෙය තමා සුබසෙත පත්‍රයේ වසර 50 ක අතීතය. අප මෙම පත්‍රය තවත් යුග ගණනාවක් ඉදිරියට ගෙන යාම සඳහා සුබ පතන්නෙමු. සුබසෙත පත්‍රයට ජය වේවා!

ඡ්‍යොතිෂඥ

බී.එන්.බී. පෙතියාගොඩ ඡ්‍යොතිෂ නන්දන

 

 

 

 

සුබසෙතට සුබපැතුම්

ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හදාරණ කාලයේ සිට විශේෂඥ ආයුර්වේද වෛද්‍යවරියක ලෙස සේවය කරන මේ කාලය දක්වා සුබසෙත පුවත්පතට ආයුර්වේද ක්ෂේත්‍රය පිළිබඳවත් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවේද පිළිබඳවත් විවිධ ලිපි රැසක් ඉදිරිපත් කිරීමට මා යොමු වූයේ ‘සුබසෙත’ පුවත්පත කෙරෙහි මා තුළ තිබූ පැහැදීම නිසා ය.

පාරම්පරික සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රම පිළිබඳව වත්මන් පරපුර දැනුම්වත් කිරීම සහ මතු පරපුර වෙනුවෙන් ප්‍රමිතියෙන් සහ ගුණාත්මක බවින් යුතු වැදගත් ලිපි පළකිරීම හේතුවෙන් පාඨක ප්‍රතිචාරය මෙන්ම ආයුර්වේද වෛද්‍ය වෘත්තිකයන්ගෙන් ලැබුණ ප්‍රතිචාරය අතින් සුබසෙත පුවත්පත අද ලබා ඇති සාර්ථකත්වය අතිශයින් අගය කළ යුතු කරුණකි.

සම්පත් දායකත්වය අතින් සුබසෙත පුවත්පත අද ඉතා පොහොසත් ය. ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය අපේක්ෂා කරන අප කාගේත් ආඩම්බරයට එය හේතුවකි.

සුබසෙත පුවත්පතට වසර 50ක් සපිරෙන මේ මොහොතේ පුවත්පතෙහි කර්තෘ මණ්ඩලයටත් කාර්යය මණ්ඩලයටත් මගේ උණුසුම් සුබපැතුම් පතන්නට අවස්ථාව ලැබීම මම ඉතා අගය කොට සලකමි.

වෛද්‍යශූරී වෛද්‍ය විශාරද, හෙළ වෙද නන්දන,

විශේෂඥ ආයුර්වේද වෛද්‍ය ලක්ෂ්මි සේනාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.