හොල්මන් දකින්නේ කාලතරණයට ලක්වන අයද?

ජනවාරි 5, 2024

ඒ 1981 වසරේ පෙබරවාරි මස 11 වෙනිදාය. ඇමෙරිකාවේ පෙනිසිල්වේනියා ප්‍රාන්තයට අයත් කොටෙස්විලා ප්‍රදේශයේ ගම්බද නගරයකි. අවුරුදු දහයක පමණ වයසේ දැරියක වූ මෙලිස්සා මාරි ආචර් පාසල් නිමවීමෙන් අනතුරුව සිය පාපැදියේ නැඟී නිවෙස කරා පැමිණෙමින් සිටියාය. මේ මාර්ගයේම වූ ඉන්ධන පිරවුම් හලක් සහ ග්‍රොසරියකට ද හිමිකම් කියූ ඇයගේ පියා මෙලිස්සාව සිය මෝටර් රථයෙන් පාසැලට රැගෙන යාමට සහ ඒමට කටයුතු සූදානම් කළේය.

එත ද ස්වභාවයෙන් ම නිර්භීත සහ විචක්ෂණශීලී දැරියක වූ ඇය වඩාත් ප්‍රිය කළේ සිය පාපැදි ගමනටය. මේ කියන දිනයේ තරමක කුණාටුවක් සිහි ගන්වන සැර සුළඟක් ද හමමින් තිබූ අතර, මඳක් ඉක්මන් ගමනක යෙදෙන ඇගේ වයසේම වාගේ පිරිමි ළමයෙක්ද, තව ටික දුරකද ඒ වයසේම ගැහැනු ළමයින් කීප දෙනෙකු සහ දැඩි සුළං පහරින් හිස බිමට යොමු කරගත් වැඩිහිටි කාන්තාවක්ද ඇය දුටුවාය. මේ කිසිවකු මෙලිස්සා කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකළ අතර, ඇයට සිතුණේ ඔවුන්ට තමාව නොපෙණුනාවත් දෝ යන තරමක් විමතිය දනවන හැඟීමකි.

නමුත් ඇය තුළ ඊට වඩා විමතිය ඇති කරනු ලැබුවේ තමාට දක්නට ලැබුණු මේ ගැහැනු ළමයින් සහ පිරිමි ළමයාද පෙර කී වැඩිහිටි කාන්තාවද හැඳ සිටි ඇඳුම් පැළඳුම්වල වූ විශේෂත්වයයි.

පාසල් සිසු සිසුවියන් වූ මේ ළමයින්ගේ නිල ඇඳුම් මෙන්ම එම කාන්තාවගේ ඇඳුම්ද කිසිසේත්ම, මේ යුගයේ ඒවා නොවූ අතර ම, අනිවාර්යයෙන්ම දශක කීපයකට පෙර වූ පරණ තාලයේ ඇඳුම් විලාසිතාවකට අයත් බව ඇයට ප්‍රත්‍යක්ෂ විය. මේ සිදුවීම දක්නට ලැබුණේ ඇයගේ නිවසට කිලෝ මීටර් දෙක තුනක් කිට්ටුවෙනි. පැරැණි පන්නයේ පා පැදියක නැඟී තමාට ඉදිරියෙන් ගමන් ගන්නා තරුණියක ඇයගේ නෙත් ගැටුණි. පෙර දුටු අය මෙන්ම මේ තරුණියද හැඳ පැලඳ සිටියේ කලකට ඉහත පැවැති ඇඳුම් විලාසිතාවකි. එසැණින් ඇය පසුකර වේගයෙන් පැමිණෙන වාහනයක නලා හඬක් ඇසුණෙන් මෙලිස්සා තම පාපැදිය නොපමාව අයිනකට ගත්තාය. නමුත් ඇයට ඉදිරියෙන් ගමන් ගත් තරුණියට ඒ සඳහා ඉඩක් නොවූයෙන් ඇයගේ පාපැදිය වාහනයේ ගැටුණි. බරපතළ තත්ත්වයක් ඇති වූ බව නොපෙනුණත් තරුණිය බිම වැටුණු අතර පොත් බෑගයේ වූ පොත පත ද සී සී කඩ විසිර ගියේය. වර්තමාන ඩබල් කැබ් රථයක් බඳු එම පැරැණි ට්‍රක් රථය දීප්තිමත් කොළ පැහැයෙන් යුතු කුඩා එකක් වූයේය. අනතුරත් සමඟ වාහනයෙන් බැසූ රියදුරු කව්බෝයි පෙනුමකින් යුතු ඇඳුමකින් සැරසී සිටියේය.

ඉතා සන්සුන් ලෙස සිහිසුන්ව සිටි තරුණිය ඔසවා තමාගේ රථය තුළට ගත් හෙතෙම ඉන්පසු තමා ආ පෙදෙසටම වාහනය වේගයෙන් පදවාගෙන පිටත්ව ගියේය.

පාරේ විසිරී තිබූ පොතපත ඇතුළු කිසිවකට අත නොතැබීමට මෙය බලා සිටි මෙලිස්සා ප්‍රවේසම් වූයේ පොලිස් සමීක්ෂණ සඳහා එසේ තිබීම අවශ්‍ය බැව් දැන සිටි නිසාය. මේ අනපේක්ෂිත සිදුවීම දෙස මොහොතක් ගල් ගැසී බලා සිටි මෙලිස්සා තවදුරටත් විමතියට පත් වූයේ රෝහලකට ඉක්මණින් ළඟා වීමට යා යුතුව තිබියදීත් ට්‍රක් රථය ඉදිරිපසට ම ඇදී යාම ගැනය.

සිය නිවෙසට ගොඩ වූ ඇය මේ බව සිය මවට හෙළි කළාය. අනතුරුව සිය පියාටද මේ බව දැන්වන ලදුව ඔහු මෙන්ම එහි සිටි සේවකයන්ද පැවසුවේ අද දවසටවත් කොළ පැහැති ට්‍රක් රථයක් මේ මාර්ගයේ ගමන් නොකළ බවය. දැරියගේ පියා පොලීසියට කතා කර විමසා බැලීමේදී හෙළි වූයේ ද එවැනි අනතුරක් තබා ඊට සමාන කිසිදු සිද්ධියක් පිළිබඳ හෝඩුවාවක් අසන්නට හෝ දක්නට හෝ වාර්තා වී හෝ නොමැති බවය. අවසානයේදී මෙලිස්සාට සිදු වූයේ පොලිස් නිලධාරීන්ගේ විවිධාකාර හරස් ප්‍රශ්නවලට පිළිතුරු දීමටය. මෙලිස්සා තුළ බොරු කතන්දර ගොතා කීමේ පුරුද්දක් තිබේදැයි ඇගේ දෙමව්පියන්ගෙන් විමසූ ඔවුහු දිගින් දිගටම ඇගෙන් කළ විමසා බැලීම්වලින් අනතුරුව මෙය සත්‍ය වශයෙන්ම ඇය දුටු සිද්ධියකැයි පිළිගත්හ. මේ පිළිබඳ පරීක්ෂණ විධිමත් කළ යුතු බවද ඔවුහු නිර්දේශ කළහ.

දින දෙක තුනත් ඇතුළත ඇය ලැබූ මෙම අත්දැකීම් පිළිබඳ පුවත්පත්වල වාර්තා පළ විය. නමුත් මේ සිද්ධිය කුමක්දැයි විවරණය කළ හැකි කිසිවකු නොවීය.

ඒ අතර ඩේවිඩ් ඩෙනිසන් නැමැති ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියාට කලකට ඉහතදී තමා විසින් මීට සමාන පුවතක් පිළිබඳව වාර්තාවක් සිය පුවත්පතට සපයන ලදැයි මතකයට නැගුණි. ඒ 1935-1937 අතර කාලය තුළ බවද ඔහුගේ මතකයේ රැඳී තිබිණි. ඔහු මෙම වාර්තාව සපයා ඇත්තේ 1928 සිට 1955 දක්වා තමා සේවය කළ පුවත්පත් ආයතනය සඳහාය. නොපමාව එම ආයතනයට ගොඩ වූ ඩේවිඩ් ඩෙනිසන් තමා විසින් සපයන ලද වාර්තාවේ පිටපතක් ලබා ගත්තේය.

ඒ සමඟම නැවතත් පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කරන ලද අතර, මෙය දැනට දශක හතරකට ඔබ්බෙන් වූ, එනම් 1937 දිනෙක සිදුවීමක් බව තහවුරු කර ගන්නා ලදී.

ඒ අනුව මෙය අතීතයේ වූ යම් සිදුවීමක් නැවත ප්‍රතිනිර්මාණය වීමක් බව පිළිගැනීම හැරෙන්නට වෙන තීරණයකට එළැඹිය නොහැකි විය.

ඉක්බිති ඇමෙරිකානු පැරා මනෝ විද්‍යා පර්යේෂණ සංගමය විසින් මේ පිළිබඳව ඉතා සියුම් විමර්ෂණයක යෙදුණු අතර එම පැරණි සිදුවීම පිළිබඳව අල්පමාත්‍ර වූ දැනුමක්වත් මෙලිස්සා, පුවත්පතකින් හෝ ලබා නොතිබූ බව පැහැදිලි විය.

මෙලිස්සා මෙන්ම ඇයගේ දෙමව්පියන් ද මේ පැරණි සිදුවීම පිළිබඳව දැන ගත්තේ මේ මොහොතේ දී වීම විශේෂත්වයකි.

විද්‍යාත්මකව බලන කල කාල තරණයක යෙදීමක් ලෙසද සැලකිය හැකි මේ සංසිද්ධිය සාමාන්‍යයෙන් අප අසා ඇති පරිදි හොල්මන් ගණයට වැටෙන බව නොතකා හැරිය නොහැකි කරුණකි.

මේ ගැන කතා කළ තවත් පර්යේෂකයන් පිරිසකගේ අදහස වී ඇත්තේ ලොවෙහි සිදුවන සෑම ක්‍රියාකාරකමකම පිටපතක් විශ්වයේ රැඳී ඇති බවත් මෙය එයට උදාහරණයක් බවත්ය.

 

ක්වන්ටම් භෞතික විද්‍යාව වැනි විෂයයන් පිළිබඳ උනන්දුවක් සහිත මේ යුගයේ මෙවැනි දෑ පිළිබඳව මැදිහත් විමර්ෂකයින්ගේ අවධානය යොමු විය යුතුය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.