බිළිඳාගේ අනාගතයට බලපාන වැදගත් චාරිත්‍ර

ජුනි 23, 2023

යුවතිපතියන් දෙදෙනකුගේ ප්‍රමුඛ බලාපොරාත්තුව වන්නේ තම විවාහයෙන් පසු ඔවුන්ගේම කුලුදුල් සිඟිති දරුවකුගේ සුරතල් බැලීමේ අවස්ථාව උදාවන තෙක්ය. සිඟිති දරුවකු යනු මවුපියනට මෙන්ම මුළු මහත් සමාජයටම මහඟු දායාදයකි. වටිනා සම්පතකි. එසේම දරුවකු යනු මුළු ලොවටම මිණි කැටයකි.

ඒ අනුව සිඟිති දරුවකු ඉපදුණු අවස්ථාවේ දී මූලිකවම අප සිදු කරනු ලබන්නේ එම දරුවා මොලොව එළිය දකින මෙහොත පදනම් කර ගනිමින් නැඟෙනහිර ක්ෂිතිජයේ පායා ඇති ග්‍රහ තාරකා පදනම් කොට ගනිමින් ජන්ම පත්‍රයක් දක්ෂ ඡ්‍යොතිෂවේදියෙකු ලවා සාදවා ගැනීමයි. එම දරුවා පූර්ව ආත්මභාවයේ සිදුකර ඇති පව්, පින්, අපල හා සපල ලෙස එම ජන්ම පත්‍රය හෙවත් හඳහන තුළ මැනවින් සටහන්ව ඇත. එය පූර්ව ආත්ම භාවයේ කැඩපතකි.

සිංහල බෞද්ධ ජන සමාජය තුළ ඡ්‍යොතිෂයට හිමිව ඇත්තේ ප්‍රමුඛ ස්ථානයකි. ඒ අනුව එම ඡ්‍යොතිෂ සිද්ධාන්ත පදනම් කර ගනිමින් අලුත උපන් සිගිති දරුවෙකු වෙනුවෙන් ජන්ම පත්‍රයක් සාදනු ලබයි. ඉන් අනතුරුව පළමුව සිඟිති දරුවෙකු සඳහා ගොඩනඟන එම ජන්ම පත්‍රයට අනුව අපේ සංස්කෘතියත් පදනම් කොට ගනිමින් අලුත උපන් දරුවෙකු වෙනුවෙන් දරුවාගේ මුල් අවුරුදු 03 ඇතුළත මූලිකව අප චාරිත්‍ර 08ක් ඉටු කරනු ලබන අතර ඒ අතරින් ප්‍රධාන චාරිත්‍ර 06ක් අනිවාර්යයෙන්ම දරුවා වෙනුවෙන් ඉටුකරනු ලබයි. එම මූලික චාරිත්‍ර 08 ලෙස නම් තැබීම, රන්කිරි කට ගෑම, හිරු දක්වීම, ආගමික ස්ථානයක් වෙත දරුවා කැඳවාගෙන යාම, හිසකෙස් කැපීම, ගැහැනු දරවන්ගේ කන් විඳීම, දරුවාට ඉඳුල් කට ගෑම, අකුරු කියවීම දැක්විය හැකිය. මෙහිදී හිරු දක්වීම ලෙස හඳුන්වනු ලබන්නේ මවුකුසින් මොලොව ජන්ම ලාභය ලැබූ සිඟිති දරුවා පළමු වරට දොරට වැඩීමේ අවස්ථාවයි. දරුවෙකුගේ මතු ජීවිතය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ඔහු හෝ ඇය පිළිබඳව ඒ ඒ අවස්ථාවල අනුගමනය කරනු ලබන නැකැත් පිළිවෙල අනුවය ඒ අනුව බත් කැවීමේ නැකතින් දරුවාගේ ශරීර සෞඛ්‍යයත් අකුරු කියවීමේ නැකතින් දරුවාගේ ඥාන ශක්තියත් ඇතිවේ.

මෙම කටයුත්තේදී ඡ්‍යොතිෂයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ඒ අනුව මෙහිදී මූලික වන චාරිත්‍ර හයකි. එම චාරිත්‍ර හය නම්,

1. නිවැරැදිව ගණ පිහිටුවා දරුවාට අර්ථවත් නමක් තැබීම.

2. සුබ නැකතට නිවැරදිව ජීවම් කර පංචායුධයක් කර පැළඳීම.

3. සුබ නැකතට මංගල හිස කෙස් රොද කැපීම.

4. ගැහැනු දරවන්ගේ කන් විදීම,

5. සුබ නැකතට ඉඳුල් කට ගෑම.

6. සුබ නැකතට අකුරු කියවීම.

නිවැරැදිව ගණ පිහිටුවා දරුවාට අර්ථවත් නමක් තැබීම

මෙම චාරිත්‍රය දරුවාට ජීවිත කාලය තුළම බලපාන ඉතාම වැදගත් චාරිත්‍රයකි. විශේෂයෙන් සිඟිති දරුවකුට ජන්ම පත්‍රයේ උපන් නැකත අනුව එම නැකතට සීහෙන ලෙස නිවැරැදිව ගණ පිහිටුවා අර්ථවත් නමක් තැබිය යුතුය. මෙම නම් තැබීම පිළිබඳව අපට බෞද්ධ ඉතිහාසය තුළද කරුනු අසන්නට ලැබේ. අලුත උපන් දරුවෙකුට නමක් තැබීමේදී එය ඉතාමත්ම සුපරික්ෂාකාරීව කළ යුතු කටයුත්තකි. මූලිකවම දරුවා උපන් ජන්ම නැකත පදනම් කොට ගනිමින් නමක් තැබිය යුතු අතර, එසේ අපහසු අවස්ථාවල පමණක් උපන් ලග්නයට හෝ උපන් දිනයට හිමි අක්ෂරයක් ගෙන අර්ථාන්විත නමක් තැබිය යුතුය. විශේෂයෙන් නමි තැබීමේදී ගණ පිළිබඳව සැලකිලිමත් වීම ප්‍රධාන සාධකයක් වනු ඇත.

සුබ නැකතට නිවැරැදිව ජීවම් කර පංචායුධයක් කර පැලඳීම

මෙම දරුවාට පංචායුධයක් පැළඳීමද ඉතාම වැදගත් වන චාරිත්‍රයකි. විශේෂයෙන් නිවරැදිව ජීවම් කරන ලද පංචායුධයක් දරුවා ඉපදී මාස 03කට පසු දරුවාගේ ගෙලෙහි සුබ නැකතකට අනුව පැළඳිය යුතුය. එමඟින් ඔබගේ සිඟිති දරුවාට ගුප්ත බලවේගවලින් මෙන්ම සියලු දෙයින් පිහිට ආරක්ෂාව ලැබෙනු ඇත.

 

ඉතිරි චාරිත්‍ර පිළිබඳ ලබන සතියේ කියවමු.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.