දරු සැප වඩන පති පෙම රකින රෝබිය නසන පත්තිනි

ජනවාරි 15, 2021

පත්තිනිය සහ කාන්තාව අතර ඇත්තේ අපූරු සබඳකමකි. එහෙත් පත්තිනි අම්මා යනු පතිවෘත්තතාවයේ සංකේතයක් වන අතර, පත්තිනි අම්මා කතාවේදී නොමඟ ගිය ස්වාමියෙකු ගැන ද අසන්නට ලැබේ. ‘වසන්තමාලය’ ග්‍රන්ථයේ පත්තිනි කතාව අනුව ඇගේ ස්වාමියා කෝවලන්ය.

පත්තිනියගේ මුල් නාමය වන්නේ ‘කන්නකී’ ය. කුමන හෝ හේතුවක් නිසා පත්තිනිය හෙවත් කන්නකීයගේ ස්වාමියා කෝවලන් ‘මාධවී’ නම් නළඟනක හා ප්‍රේමයෙන් බැඳේ. මාධවී හා පෙම්බැඳී කෝවලන් තමා සතු සියලු ධනය ඇය නිසා වනසාගත් අතර, අවසානයේ ඔහු ආපසු පත්තිනිය හෙවත් කන්නකී වෙත ආවේ හිස් අතිනි. එසේ දිළිඳුව ආවද සිය ස්වාමියා සාදරයෙන් පිළිගන්නට කන්නකීට හැකි විය.

පත්තිනි හෑල්ල හා පත්තිනි උපත

පත්තිනි හෑල්ල නම් කාව්‍ය ග්‍රන්ථයේ කෝවලන් ‘පාලඟ’ නමින් ද හඳුන්වා ඇති අතර, කන්නකී

‘පත්තිනි’ නමින් හඳුන්වා දී තිබේ. අතේ සතේ නැතිව සිටි කෝවලන් හෙවත් පාලඟට වෙළඳාමක්

කරගෙන යාම සඳහා කන්නකී තමා සතු සළඹ දෙනුයේ එය විකුණා මුදල් කරගන්නා ලෙස කියමිණි. පාලඟ පාණ්ඩ්‍ය රටට සළඹ විකිණීමට ගිය අවස්ථාවේ පාණ්ඩ්‍ය රජු විසින් සිය බිරිඳ‌ගේ සළඹ සොරකම් කළ බව පවසා සැකකොට හිස ගසා කෝවලන් මරා දමන ලදී. මෙයින් වඩා කෝපයට පත් පත්තිනිය තම පතිවෘත්තා බලය පෙන්වමින් ශාප කොට පාණ්ඩ්‍ය නගරය ගිනි තබා වැනසුවාය. මේ හේතුව නිසා ඇය දකුණු ඉන්දියාවේ ජනතාව අතර දේවත්වයට පත්වූවාය.

පත්තිනි සළඹ

ශ්‍රී ලංකාවේදී ජනප්‍රියම දේවතාවියක ලෙස පත්තිනි ඇදහීම සිදු කෙරේ. විශේෂයෙන් මහනුවර යුගයේ ජනතාව අතර ජනප්‍රියම දේවතාවිය ලෙස ‘පත්තිනි’ ය ස්ථානගතව තිබේ. ගජබා

රාජ්‍ය පාලන යුගයෙහි ගජබා රජු විසින් සොළී දේශයෙන් ගෙනෙන ලද වස්තු අතර ‘පත්තිනි සළඹ’ නිසා මෙම දේවතාවිය සිංහල ජනයා අතර වඩාත් ප්‍රසිද්ධ විය. කෝට්ටේ යුගයේදී පත්තිනිය ඇදහීම සුලභව පැවති අතර, මහනුවර යුග‌යේදී ද්‍රවිඩ රාජ්‍ය බලපෑම් හමුවේ ඉතා උසස් අයුරින් ව්‍යාප්ත වූ බව‌ පෙනේ. පැරකුම්බා රජතුමා විසින් කෝට්ටේ යුගයේදී පත්තිනි දේවියට දේවාලයක් කර පූජා කළ බව “කෝකිල සංදේශයෙහි” මෙලෙස සඳහන් වේ.

 

ගජබා නිරිඳු කරවූ පහස මෙන් පෙර

මහබා මේ පැරකුම් නරනිඳු සසිරි බර

සසොබා රන් කොතින් කරවූ සිරි මැදුර

නරඹා ‘පතිනි’ පුද වැඳ යා ගන් මිතුර

පත්තිනි දේවාල පෙරහර.

මහනුවර ශ්‍රී දළදා මංගල්‍යයේ සිව් දේවාල පෙරහැරින් එකක් වනුයේ පත්තිනි දේවාල

පෙරහැරයි. මහනුවර සතර දේවාල අතර ශ්‍රී දළදා මාලිගාවට ආසන්නයේම පත්තිනිය වෙනුවෙන් ද දේවාලයක් ඉදි කිරීමට රජවරු කටයුතු කළහ. මේ යුගයෙහි බිහි වූ සාහිත්‍ය ගද්‍ය පද්‍ය රාශියක පත්තිනිය ගැන සඳහන්ව තිබීම අනුව පත්තිනි දේවියට තිබූ ජනප්‍රිය බව සලකා ගත හැක.

අඹ ගෙඩියෙන් උපන් පත්තිනි

සිංහල බෞද්ධ ජනතාව අතර පත්තිනි දේවිය ජනප්‍රිය කරවීම සඳහා අබෞද්ධ ද්‍රවිඩ දෙවියන් ඇදහූ උදවිය නොයෙකුත් ක්‍රම භාවිත කළහ. විශේෂයෙන් උඩරට රාජධානි යුගයේදී මේ

සඳහා ගත් උත්සාහය කැපී පෙනෙන සුළු විය. මෙයින් එකක් වන මෙම කථාව බෞද්ධ සාහිත්‍යයේ කිසිම මූලාශ්‍රයක සඳහන් නොවේ. රහතුන් වහන්සේ 300 නමක් සමඟ බුදුන් වහන්සේ විශ්වකර්මයා විසින් පඬි රට මවන ලද අඹ උයනකට වැඩි බවත් එහිදී විශ්වකර්මයා විසින් බුදුනට පූජා කරන ලද අඹ ගෙඩිය වළඳා එහි ඇටය අනද තෙරුන් ලවා සිටවූ බවත් සඳහන් වේ. මේ කාලයේ පඬිරට සිටි පඬි රජුට ඇස් තුනක් තිබිණ. මේ නිසා බලවත් වූ පඬි රජු ඉන්දියාවේ වෙනත් රජවරු සියදෙනෙකුට ද වද දෙමින් වැවක් බන්දවනු දුටු සක්දෙවි එම භවනේ සිටි පත්තිනිය අමතා පඬි රජුගේ තුන්වෙනි ඇස වනසන ලෙස නියම කළේය. මේ අනුව පත්තිනිය ඉහත කී අඹ ඇටයෙන් පැළවූ ගසේ අඹ ගෙඩියක දහසක් පිරිවර සමඟ උපන්නාය. රන්වන් අඹය විදීමට සමතකු සෙවූ පඬි රජුට ඒ සඳහා මහලු මිනිසෙකු ඉදිරිපත් විය. හේ අනිකකු නොව සක් දෙවිඳුය. ඔහු පඬි රජු බලා සිටියදීම අඹයට විදේදේය. අඹය බිම වැටුණු අතර, අඹ ගෙඩියේ කිරි වැදී රජුගේ තුන්වෙනි ඇස කන විය. (එහෙත් දේව පුරාණයට අනුව ඇස් තුනක් ඇත්තේ ශිව දෙවියන්ට පමණී.) රජු කරඬුවක බහා එම අඹ ගෙඩිය කාවේරි නදියට දැමූ අතර, එයින් පත්තිනිය උපන් බවට බෞද්ධ ස්වරූපයෙන් මතයක් ඉදිරිපත් කිරීමට මෙයින් උත්සාහ කර ඇත. මේ අනුව පාණ්ඩව රට ගිනි ලෑ අවස්ථාවේ එහි බෞද්ධ විහාරාරාම ආරක්ෂා වූ බව ද සඳහන් වේ. පත්තිනිය පිළිබඳ මෙම කථා සීලප්පදිකාරම් හා මනිමේඛලා ග්‍රන්ථවල සඳහන්ව ඇත. මේ අතර තවත් කථාවක සඳහන් වනුයේ කාශ්‍යප බුදුන් සමයේ කඨින චීවර දහසක් පූජා කිරීමේ ආනිශංසයෙන් අලුත් ගිරි පර්වතයේ පත්තිනිය දෙවියෙකුව උපන් බව ‘පත්තිනිය පැතීම’ නම් ග්‍රන්ථය සඳහන් කරයි. මෙය ද පත්තිනිය බෞද්ධ ජනතාව අතර ජනප්‍රිය කරවීමට ගත් උත්සාහයක් බව පෙනේ.

පත්තිනිය හා නවගමුව දේවාලය.

ඉන්දියාවේදී එසේ උපත ලද පත්තිනිය ශ්‍රී ලංකාවේදී වඩාත් ජනාදරයට පත් වූවාය. ඇයගේ

තේජවන්ත භාවය දකුණු පළාත පුරා ද පැතිරුණ අතර, අති ප්‍රබල තත්ත්වයකට ඇය ජන සමාජයේ ස්ථානගත වූවාය. එහෙත් දේවොල් දෙවියන්ගේ ලංකාගමනය අනුව ඇය මෙරට ගජබාහු රජ සමයේ සිට ස්ථාපිතව සිටි බව පෙනේ. සීලප්පදිකාරම් නම් ද්‍රවිඩ ග්‍රන්ථය ඇසුරෙන් දහඅටවන හා දහනව වන සියවස්වලදී ලියන ලද සිංහල පද්‍ය ග්‍රන්ථ කීපයකත් ඇගේ ගුණ මැනවින් වර්ණනා කොට තිබේ. ද්‍රවිඩ මහා කාව්‍ය ග්‍රන්ථ අනුව ශ්‍රී ලංකාවේ මුල් කාලයේදී තනනු ලබන දේවාලවලින් එකක් වන්නේ පත්තිනි දේවාලයයි. මෙම දේවාල දෙවැනි ශත වර්ෂ වලට හෙවත් ගජබා රජසමයට අයත් බව පෙනේ. දැනට ලංකාවේ සුප්‍රසිද්ධ ‘නවගමුවට’ ඇය සම්ප්‍රාප්ත වනුයේ දෙවොල් දෙවියන්ගේ ලංකා සම්ප්‍රාප්තිය සමඟය. දඹදිව කුදුප්පර නුවර රාමසිංහ රජුට දාව බිසවුන් 7 දෙනෙකුට උපන් කුමාරවරුන්ගේ චණ්ඩ ගතිපැවතුම් නිසා කෝපාවිෂ්ට වූ රජු දැව නැව්වල පටවා රටින් පිටුවහල් කළ අතර, ඉන් මෙම දෙවොල් නම් කුමාරවරු සත්දෙනා හා කුරුම්බර නම් සේවක පිරිසගේ නැව් මුහුදේදී විපතට පත්වීම නිසා ලී දඬු බදාගෙන මුහුදේ පීනන්නට වූහ. මේ බව දු‌ටු සක්දෙවිඳු ගල් නැවක් මවාදුන් විට එයට නැඟ ලංකාවට පදවාගෙන ආව ද පත්තිනි දේවියට අයිති‘සීනිගම තොටමුණ’ දැක මෙතනට ගොඩ බසිමු යැයි කතා කොට ඔවුන්ගේ ඥාති සබඳතාව මතක් කර ‘පත්තිනියගේ’ විරුද්ධකම් මඟහරවාගත් බව පැවසේ.

බෝවෙන ලෙඩ රෝගවලට හා ජන ක්‍රීඩා කීපයක අධිපතිනිය

පත්තිනිය සිංහල ගද්‍ය, පද්‍ය කලාවේ හා රංගනයේ අද්විතීය ස්ථානයක වැජඹෙන බව පෙනේ. පතිවත පිළිබඳ පූජනීයත්වයෙන් පිළිගැනෙන ඇයට බෝවෙන රෝග හෙවත් ‘දෙවියන්ගේ ලෙඩ’

ලෙස සැලකෙන රෝගාබාධයන් සඳහා ද සුවය ලබාදීමේ හැකියාවක් ඇති බව විශ්වාස කෙරේ.

කාන්තාවන් සහ දරුවන් සම්බන්ධ සියලු කටයුතුවලදී ඇයගේ පිහිට පැතීම අප පුරාණයන්ගේ

පුරුද්දක්ව තිබේ. අද ද එම ක්‍රමය අනුගමනය කෙරේ. ශ්‍රී ලංකාවේ නොයෙකුත් ක්‍රීඩාවන් සඳහා ද

දේවත්වයක් ආරූඪව තිබේ. දෙවියන් සතුටු කිරීම සඳහා ඒ යුගයේ ආරම්භ කළ ක්‍රීඩා වර්තමානයේ පවා ජනප්‍රියව තිබේ. විශේෂයෙන් වසංගත රෝග බෝවන කාලවලදී පත්තිනි දේවිය උදෙසා පුද පූජා කර ඇයගේ ආශිර්වාදය සලසා ගැනීම පිණිස පෞරාණික අපේ ආදිතමයින්ට උපකාරී වූවේ අංකෙළියයි.

සිංහල හින්දු අලුත් අවුරුදු කාලවලදී ‘අංකෙළිය’ නම් වූ ජනප්‍රිය ක්‍රීඩාව කලඑළි බැසීම සිදු විය. මුලදී පත්තිනි දේවියට ආරාධනා කොට කප්සිටුවා ගම්වැසියෝ දෙපිලකට බෙදී උඩුපිල හා යටිපිල වශයෙන් බෙදී අංකෙළිය පැවැත්වූහ. යටිපිල පත්තිනිය සතු බැවින් එය දිනුවොත් ගමේ රටේ වසංගත දුරු වෙතැයි මිනිසුන් විශ්වාස කළහ.

අංකෙළි උපත හා පත්තිනි

දිනක් පත්තිනිය පාලඟ සමඟ පඬු රජුගේ අඹ උයනෙහි සපුමල් කඩන්නට ගියහ. එහිදී විස්කම්

දෙවි ඔවුනට කෙකි දෙකක් දුන් අතර, මල් කඩමින් සිටින විට ඔවුන්ගේ කෙකි දෙක එකට ඇමුණුනි. මෙම පැටලිල්ල ගලවා ගනු පිණිස ‘පාලඟ’ තම පිරිස සමඟ උඩ සිටත්, පත්තිනිය තම දෙවිලියන් සමඟ යට සිටත් ඇවිලුණු කෙකි දෙක අඳීන්නට පටන් ගත්හ. අවසානයේ මෙයින් ජයගත්තේ පත්තිනියයි. එයින් පසු ඔවුහු යළිත් වරක් ජය පරාජයක් ලබනු සඳහා අංකෙළියක යෙදීමට කතා කර ගත්හ. දෙවුන්දරින් ගත් අන්දර අඟත් ගෙන බින්තැන්නේදී අං ඇදීමේදී යෙදුණ පාලඟගේ පිලට දෙවියෝ ද පත්තිනියට මිහිකතත් සහය වූහ. එහිදී ද ජය අත්වූවේ පත්තිනියට බව අංකෙළි උපත පෙන්වා දෙයි. මේ නිසා අංකෙළිය පත්තිනියගේ ජය සැමරුවක් ලෙස සලකා අතීත ගැමියන් ඇය සතුටු කිරීම පිණිස අංකෙළියෙහි යෙදුණහ.

පොරපොල් ක්‍රීඩාව සහ පත්තිනි

සිංහල අවුරුදු සමයේ දැකිය හැකි තවත් ජන ක්‍රීඩාවක් වනුයේ පොරපොල් ගැසීමය. මෙය ද

පත්තිනිය සතුටු කිරීම සඳහා කෙරෙන සම්ප්‍රදායික ජන ක්‍රීඩාවකි. උඩුපිල සහ යටිපිල යනුවෙන්

දෙපිලකට බෙදී කරන මෙම ක්‍රීඩාවේදී උඩුපිලේ පොල් බිඳුන කල එයට පත්තිනි දෙවියන් සතුටු වන නිසා එයින් වසංගත රෝගාදිය සුවවන බව ගැමි විශ්වාසයයි. පොරපොල් ක්‍රීඩාවේදී පිල් දෙක අතර භාවිත වන්නේ මෙවැනි කවි කීපයකි.

එරන් තැඹිලි පොල් අරගෙන සුරතට

වරන් ලැබුණි පොල් කෙළියට අපහට

සියලු රෝග දුරුවෙයි ගිනි හළඹට

බිඳුනා උඩුපිලයේ පොල් හනිකට.

කෝල්මුර ගායනා හා පත්තිනි.

උඩරට සාම්ප්‍රදායික දේවමංගල්‍යය අතර කෝල්මුර, නානුමුර, දඟමුර වශයෙන් කාව්‍යමය

ගීතිකා මඟින් දෙවියන් පුදනු ලබනු පෙනේ. විශේෂයෙන් පත්තිනිය සතුටු කිරීම ඒ සතුට තුළින් ඇයගේ ආශිර්වාදය ලබා ගැනීම අතීතයේ සිට ගැමි සංස්කෘතියේ ලක්ෂණයක් විය. දැනුදු උත්සව අවස්ථාවල හා ‘කෙම්මුර’ දිනවල කාව්‍ය ප්‍රබන්ධ පන්තිසකින් යුතු කෝල්මුර ගායනය පැවැත්වේ. දෙවුන්දර දේවාලයේදී පත්තිනියට කරන ලද කෝල්මුර ගායනයට ජාතක කථා පාලියෙහි අඩංගු ‘ලටුකික’ජාතකය ද උපයෝගි වූ අතර, තවත් අවස්ථාවක එළාර රජු සිය පුත් මරා දැමීමට හේතු වූ වසුපැටියෙකු නොසැලකිල්ලෙන් මැරීම ද හේතු පාඨ වශයෙන් ගෙන ඇත. එළාර රජතුමා දාමරික වූ තම පුතා පවා මරා දැමීමට පසුබට නොවූ බව පෙනේ. පත්තිනිය පඬි රජුට තම තෙද බල පෙන් වූ බව විදහා දැක්වීම කෝල්මුර කවිවල පරමාර්ථය විය. දැනට දළදා මාළිගාවේදී දළදා හිමියන් උදෙසා ද කෝල්මුර ගායනා පැවැත්වීම මෙහි ආභාෂයක් බව පෙනේ.

පත්තිනි දෙවියන් ඇතුළුව සියලු දෙවියන් ස්නානය කරනු ලබන බදාදා දිනවල නානුමුර වෙනුවෙන් නානුමුර කවි ගායනා කරනු ලබයි. පන්තිසකින් යුද නානුමුර කවි ගායනා එක්තරා අන්දමක පූජා විශේෂයක් ලෙස සැලකේ. මෙහි විකාශනයක් ලෙස මහනුවර දළදා මන්දිරයේ ද බදාදා දිනවල නානුමුරය පැවැත්වීම පත්තිනි දේව ඇදහිල්ලේ පූජා විධි ඉදිරියට ගෙන යාමකි. කෝල්මුර, නානුමුර, දළු මුර ආදිය දේව පූජෝපහාර ලෙස විග්‍රහ කළ හැකිය.

සත්පත්තිනි.

ඉන්දියාවේ එකම ‘පත්තිනිය’ ලෙස සිටි පත්තිනිය ලංකාවට ආ පසු සත්පත්තිනිය බවට පත්ව තිබේ. ඒ මෙලෙසය,

ජලෙනි, දළෙනි, මලෙනි, සුරඹ වරක් උපන්නා

ගලෙනි කුළෙනි සඟවෙනි එක් වරක් උපන්නා.

එවෙනි මෙවෙනි හත්වෙනි වර අඬන් උපන්නා

මෙවැනි තෙදැති පතිනි මෙලක් දිව තෙද පෙන්නා.

මෙම කවි ‘සතර වරම් මල් යහන්’ ග්‍රන්ථයේ සඳහන් වේ. මෙලෙස එකම දේවිය සත්දෙනෙකු වශයෙන් ගෞරවයට පත් කිරීමට මෙරට ජනතාව පසුබට නොවූහ. පත්තිනිය අදහන ලංකාවේ බොහෝ ජනතාව ඇයටත් වඩා ඇයගේ සළඹට ගෞරවාදරය කරනු පෙනේ. ඒ ‘පත්තිනි සළඹට’ රෝග සුව කිරීමේ විශේෂ බලයක් ඇතැයි ඔවුන් විශ්වාස කරන හෙයිනි. පත්තිනියගේ ප්‍රධාන දේවස්ථානය වනුයේ මුලතිව් අසල වට්ටාපල්ලි නම් ස්ථානයයි. සිංහල ජනතාවට ද්‍රවිඩ ප්‍රදේශ වූ එම අඩවි වලට යා නොහැකි වූ බැවින් අනෙක් ප්‍රදේශවල පත්තිනි දේවාල ඉදිකොට තිබේ. පත්තිනි දේවිය බෝධිසත්ත්ව කෙනෙකු ලෙස සලකනුයේ ඇයට විශේෂයෙන් රෝග සුව කිරීමේ හැකියාව ඇති බැවිනි. උඩරට ප්‍රදේශවල තෙද පත්තිනි නමින් ඇය හඳුන්වනුයේ යකුන් එලවා මිනිසුනට සෙත සදතැයි යන ආකල්පයෙනි.

පත්තිනි දේවාල.

පත්තිනිය ඇදහීම මහනුවර යුගයේදී ඉතා ඉහළින් තිබූ අතර, ඒ නිසාම සතර මහා දේවාලයට

‘පත්තිනි’ දේවාලය ද අයත් විය. ලංකාවේ ජනප්‍රිය වන ‘නවගමුව’ හැරුණු විට මහනුවර පත්තිනි

දේවාලය ද ජනතාව අතර ජනප්‍රියව ඇත. මහනුවර යාලේගොඩ පුරාණ පත්තිනි දේවාලය ශ්‍රී

වික්‍රම රාජ සමයට නෑකම් කියන්නකි. දෙවැනි රාජසිංහ සමයේදී ඉදි කරන ලද පත්තිනි දේවාලයක් දියතිලක නුවර හෙවත් හඟුරන්කෙත පිහිටා ඇත. ඒ පිළිබඳව මන්දාරම්පුර පුවතේ මෙලෙස සඳහන් වේ.

ගොනාගම සමඟ ගලඋඩ පැවැති සැමකල

පත්තිනි මැදුර බෙදමින් පැවති සැමනිල

හඟුරන්කෙත ද සිරිවඩනා පුර වී පුල

අතවර මාරු සළසා දුනි සැම කල

උඩරට නැටුම් කලාව හා පත්තිනි

පත්තිනි මාතාව ගැන කතා කිරීමේ දී සිංහල ගද්‍ය පද්‍ය නෘත්‍ය ආදී හෙළ සංස්කෘතික

ලක්ෂණයන් සඳහා ඇගෙන් ලද මෙහෙය අති විශාලය. උඩරට නැටුම් කලාවේ නාට්‍යය හා සංගීත

කලාවේ අපූර්වතම ස්ථානයක් පත්තිනි හෑල්ලට ලැබී ඇත.

පරසිඳු පත්තිනි සඳ සැතපෙන්නේ

සැතපුන නින්දට සීන පෙනෙන්නේ

පාලඟ කඩුවක් ගත්තා වැන්නේ

කඩුව නෙවෙයි පාසළඹක් බව දැනගන්නේ

යනාදි වශයෙන් පත්තිනි හෑල්ලේ ඇයගේ ජීවන ප්‍රවෘත්තිය රචනා කොට ඇත. උඩරට නැටුම් කලාවේ පන්තේරු උපත ගැන සඳහන් කිරීමේදී පත්තිනිය අමතක කර නොමැති බව පෙනේ. මේ අනුව ශ්‍රී ලාංකික ජන සමාජයේ ‘පත්තිනියට’ හෙවත් ‘පත්තිනි අම්මාට’ ලැබී ඇති අද්විතීය ස්ථානය අතිමහත්ය.

‘කිරි අම්මා’ යන උදාර සංකල්පය බෞද්ධ ධර්මයට අනුව යහපත් භාර්යාවක් සතු උදාර ගුණාංග මතු කරන ආමන්ත්‍රණයකි. අපේ හෙ‍ළ කාන්තාවන්ගේ ජීවිතය ද ආදර්ශමත්ව අදහන දහමට අනුව හැඩගස්වා ගන්නේ නම් ඔවුන් ද නිවසේ ‘පතිනිය’ හෙවත් ‘පත්තිනිය’ වනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.