පවුලේ සතුට වෙනුවෙන් මේ දේවල් කරලා බලන්න

දෙසැම්බර් 18, 2020

විවාහක යුවළකට හැමදාම ආදරෙන් සතුටෙන් ඉන්න බැරිද? වර්තමානයේදී මෙය ඉතාමත් ආන්දෝලනාත්මක තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. ‌බොහෝ අඹුසැමියන් අද විවාහයට පසුව ඉතා ඉක්මනන් දික්කසාදය කරා යොමු වෙනවා. කවදාවත්ම දික්කසාද නොවී පවුල් ආරවුල් විසඳා ගන්න මෙන්න මේ දේවල් කරලා බලන්න.

බැදීම් රැකගන්න.

දෙදෙනා අතර බැදීම් වඩාත් තදින් ආරක්ෂා කරගත යුතුමයි. විශ්වාසය බිදී යන විදිහට හැසිරෙන්න එපා. කේන්ති ගියත් සමාව ඉල්ලන්න. සමාව දෙන්න පසුබට වෙන්න එපා. ඔබ දෙදෙනා අතර බැදීම වගේම දූ දරුවන්, නෑදෑයන්, යහළු මිත්‍රයන් අතරින් අතරට යන බැදීම් ද දෙදෙනාගේ දෙමාපියන් සහෝදර සහෝදරයින් අතරද ගෞරවනීය බැඳීමක් තියා ගන්න අමතක කරන්න එපා. පුංචි පුංචි දේවල්වලින් ඔහුව/ ඇයව සතුටු කරන්න.

උපන්දින සැමරුම්, පුංචි තෑගි වගේම පුංචිම පුංචි හාදුවක් සමඟ ආදරණීය දොඩමළු වීමක් වුවත් බැ¼දීම ශක්තිමත් කරාවි. ගැටළුවලට දෙදෙනාම පිළිතුරු සොයන්න. සේවා ස්ථානයේ සිටියදී පවා දුරකතන ඇමතුමක් දී හෝ සුවදුක් සොයා බලන්න. පවුල් ජීවිතයේ සොඳුරු බව තව තව වැඩි වේවි.

සහයෝගය දෙන්න.

දෙදෙනා එකම නිවසක ‌බෝඩිංකාරයින් දෙදෙනෙකු නොවිය යුතුමය. විවාහ ජීවිතය පුරාවට සැමියා බිරිඳටත්, බිරිඳ සැමියාටත් සහයෝගය දිය යුතුය. මිල මුදල් පරිහරණයේදී, කරන කියන වැඩ කටයුතුවලදී , ගමන් බිමන්වලදී හැමදේකදීම සහයෝගය දෙන්න අමතක කරන්න එපා. තමා පමණක් දිනන හැටි ගැන හිතන්න එපා. පවුලක් විදිහට අපි දිනන්නේ කොහොමද කියලා හිතන්න.

ගෞරව කරන්න.

දෙදෙනාගේ අදහස් නොගැළපෙන බව ඇත්ත, ඕනෑම කටයුත්තකදී ගැළපීම් 100% ක් තියෙන අය නම් හොයා ගන්න අමාරුයි. ඒත් විවාහයෙන් පස්සේ නොරිස්සුම්, එකඟ නොවීම්, තියෙද්දීත් එකිනෙකා තේරුම් ‌ගෙන ආදරෙන් සැලකිය යුතුමයි. විවේචනය කිරීම අතහැර දැමිය යුතුයි. සෙනෙහසින් යමක් පහදා දිය හැකියි. එය තේරුම් ගැනීමත් කළ යුතුයි. එකිනෙකාට ගෞරව කිරීම කියන්නේ ඉතාමත් හොඳ දෙයක්.

මේ ගෞරව කිරීම් සඳහා පුංචි පුංචි දේවල් යොදා ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස ඔහු ගෙන ආ තෑග්ගක් අගය කරන්න. පැසසුම් දෙන්න. එය වටිනා බව අඟවන්න පුළුවන්. කොහොම නමුත් ඔහුටවත් ඇයටවත් ඇනුම් පද, හිත පෑරෙන විහිළු, නිර්දය ලෙස විවේචනය මෙන්ම තව කෙනෙකු සම්බන්ධ කර සංසන්දනය කිරීම් නවතා දමන්න. සියලු අඩුපාඩු දුර්වලකම් පෞද්ගලිකව ඉතා දයාබරත්වයෙන් පහදා දෙන්න.

සමාව දෙන්න සමාව ඉල්ලන්න.

පවුල් ජීවිතයේදී හිත රිදෙන ගොඩක් දේවල් සමහර විට සිදු වෙයි. ඒ සමහර දේවල් නිසා ඔබේ

හිත හදාගන්නත් අමාරු වේවි. නමුත් වරක් දෙවරක් නොව කිහිප සැරයක්ම සමාවදී බලන්න. වරදක් කළොත් සමාව ඉල්ලන්න පැකිළෙන්න එපා. හැබැයි එකම වරද හැම තිස්සේම කරන්න නම් එපා. අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න. සෑම විට කොපමණ අපහසුතාවයෙන් වූවත් සමාව දීමට පසුබට නොවන්න.

මිත්‍රශීලිව කතාබහ කරන්න.

ඔබ දෙදෙනා විතරක් නෙවෙයි. දූ දරුවන් සමඟ ද ඉතා මිත්‍රශීලිව කථා කරන්න. අදහස්,හුවමාරුව තුළින් බොහෝ ප්‍රශ්න නිරාකරණය කර ගන්න පුළුවන්. “ඇහුම්කන් දීමට ඉක්මන් වුවත් කතා කිරීමට ප්‍රමාද විය යුතුයි”. කියන එක මතක තබා ගන්න. කරන කියන දේවල් ගන්නා තීරණ ඉදිරි වැඩසටහන් පිළිබඳව කතාකර අදහස් උදහස් විමසන්න. එකිනෙකා අතර මිත්‍රශීලිව තොරතුරු බෙදා ගන්න.

හික්මවීම හා හික්මීම.

සදාචාරාත්මකතාවය පවුල් ජීවිතයට වඩාත් වැදගත්. හික්මීමට අවශ්‍ය කරුණු කාරණා දෙදෙනාම තේරුම් ගත යුතුයි. දූ දරුවන්ට ද හික්මීම පිළිබඳව කියාදිය යුතුයි. හික්මීම හෝ හික්මවීම නැති වුණොත් ඉක්මනටම වරදිනවා. මේ නිසා මඟ පෙන්වීම් ඉතා වැදගත්. කෝපයක් ඇති නොවන ලෙස කලකිරීම ඇති නොවන ලෙස හික්මීම හා හික්මවීම කරන්න. එය ඔබේ පවුලේ සතුටට බෙහෙවින්ම වැදගත් වේවි.

සාරධර්ම රැකීම හා ආදර්ශවත් වීම.

හරිම‌ දේ සහ හොඳම දේ කරන්න. අද බොහෝ දෙනෙක් තාක්ෂණික ලෝකයේ අතරමං වෙලා ඉන්න හින්දම සාරධර්ම පවා නොහඳුනයි. පුංචි දේකටත් ස්තුති කිරීමක් කරන්නත් අද අපට අමතක වෙලා. ඒ නිසා ඔබ දෙපළත්, දූ දරුවනුත් අතර හොඳ පුරුදු හා ගෞරව කිරීම් ද සදාචාර ප්‍රමිති ද ඇතිකර ගන්න. ආදර්ශවත් වෙන්න. වැරදි කිරීම් නවතා දමන්න. ඔබ ආදර්ශවත් වීම සාරධර්ම වැඩි දියුණු වීම රත්තරං පවුලක් හදා ගන්න ගොඩක් වටිනා බව අමතක කරන්න එපා. අවවාදයට වඩා ආදර්ශය උතුම් බව විශ්වාස කරන්න.

විශ්වාසය තහවුරු කරන්න.

විශ්වාසය වීදුරුවක් වගේ. බිඳුණොත් නැවත සකසා ගැනීම ලේසි නෑ. නීතිගරුක වීම හා පොරොන්දු රැකීමත් විශ්වාසයේ අඩංගු අංග කිහිපයක්. ඇත්ත කතා කරන්න. විශ්වාසය රැක ගන්න කියලා බොරු කියන්න එපා. ඔබව අතිශයින්ම විශ්වාස කරන අයගේ විශ්වාසය කිසිම විටෙක බිඳීන්න හදන්න එපා. හිත් බිඳීම් ඇති වෙලා පවුලේ තියෙන සතුට නැත්තටම නැතිවෙලා යන එක විශ්වාසය කඩවීමත් එක්කම සිදුවෙන දෙයක්. අවශ්‍ය අවස්ථාවලදී බොරු නොකියා ඇත්තම කියලා හැමදේම විසඳගන්න.

කඩිසර වෙන්න පිළිවෙළට වැඩ කරන්න.

පවුල ඇතුළේ වගකීම් වගේම යුතුකමුත් තියෙනවා. ඒවා නිසි ලෙස ඉෂ්ට කරන්න. අලසකම එයට බාධාවක්. පිළිවෙළට වැඩ කරන්න. ඒ හැම දෙයක්ම පවුල ඇතුළේ සතුට රැකගන්න වැදගත් වෙනවා. පවුල් ජීවිතයේ සැනසීම රැ‌ඳෙන්න දෙවරක් නොසිතා මහන්සි වෙලා වැඩ කරන්න. ඉන් ඔබට ආත්ම තෘප්තිය නොඅඩුවම ලැබෙයි. ඔබෙන් බලාපොරොත්තු වන දේ බලාපොරොත්තු වෙනවාට වැඩියෙන් දෙන්න. අලසකමින් හා අපිළිවෙළට කේන්තියෙන් වැඩ කරලා ලැබෙන දුකට වඩා එය ඔබට අපමණ සතුටක් වේවි.

ඔබ ඔබේ පවුල තේරුම් ගන්න. ඔබ ඔබව තේරුම් ගන්න. ඔබේ බිරිඳ හෝ ස්වාමියා දූ දරුවන් හොඳීන් තේරුම් ගන්න. හොඳ වගේම ඔබේ දුර්වල පැති ඔබම වටහා ගන්න. සිතීමේ හැකියාව ඔබව සුරක්ෂිත කර ඔබේ පවුලේ සතුට නිරතුරුවම රකිනු ඇත.

Femina ඇසුරෙනි,

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.