සෙනසුරා මිතුරුකර දෙන ශනි මෘත්‍යුංජය

නොවැම්බර් 22, 2024

රාහුට හා කේතුට නියමිත යන්ත්‍ර පැහැදිලි කළා නම් සෙනසුරුටත් නියමිත යන්ත්‍රය පැහැදිලි නොකරාම බැහැ. මොකද මේ ග්‍රහයෝ තිදෙනාම එකම වර්ගයේ ග්‍රහයො නිසා. තුන් දෙනාම පාපි ග්‍රහයො. හොඳට වඩා නරකමයි ප්‍රතිපල දෙන්නේ. ඒක නිසාමයි පාපි කියන්නේ. මේ තුන්දෙනා හරියට වියැළුණු දෙල් කොළයක යට සැඟවී ඉන්න සර්පයෝ වගේ කියල තමයි අපේ පැරැණි ඡ්‍යොතිෂ ආචාර්යවරු එදා විස්තර කළේ.

එහෙම සර්පයන් අපට වැරදිලාවත් පෑගුණොත් අත්වැරැද්දෙන් කියල සමාවක් නැහැ. මේ ග්‍රහයන්ගේ නරක කාලයටත් එහෙමම තමයි. මේ එක්කම තව එකක් කියන්ටම ඕනෑ. රාහු තරම් පිටරට යවන තවත් ග්‍රහයෙක් නැති තරම්. ඒ වගේම සෙනසුරා තරම් ලාභ ප්‍රයෝජන ලබාදෙන තවත් ග්‍රහයෙක් මේ සෞරග්‍රහ මඩුල්ලෙම නැති තරම්. එ වුණාට අපේ බොහොමයක් ඡ්‍යොතිෂ මහතුන් මේ සෙනසුරුව ඒරාෂ්ටකවලින් විකුණාගෙන කනවා. ඇයි ඉතින් සෙනසුරුට ඒරාෂ්ටක 03ක්ම තිබෙනවනේ. අපි ඒ ගැන පසුව කතා කරමු.

ශනෙර් නැත්නම් සෙනසුරු ග්‍රහයාට රූපෙන් ටික ටික වෙනස් වූ මෘත්‍යුංජය යන්ත්‍ර කීපයක්ම තිබුණට ශනි මෘත්‍යුංජය හරියටම නියමෙටම ඒ කිව්වේ ටක්කෙටම ප්‍රතිපල දෙනවා. සෙනසුරු අපල කාලයට ශනි මෘත්‍යුංජය දාමු කිව්වට හරිම අමාරුයි තඹ කොළේ අඳින්න. ඒක නිසාම මේ යන්ත්‍රයට අඟල් 2 වෙනුවට අඟල් 3 පළල කොළයක් පාවිච්චි කරන්නට වේවි. ඒත් ඉතාම අවධානයෙන් කල්පනාවෙන් අඳින්න ඕනෑ. අපි හිතමු ඔබට ශනී මෘත්‍යුංජය යන්ත්‍රය දමන්ට කිසියම් කෙනෙකුට භාර දුන්නා කියලා. එයා දිනයක් කියලා එදාට ඔබ ගියාම ඒ යන්ත්‍රය සුරයක දමලා බෙල්ලට හෝ ඉනට දමාවි. එහෙම කරන්න එපා. කිසිම ප්‍රතිපලයක් නැහැ. ඔබ වියදම් කළ මුදල් අපරාදේ. යන්ත්‍රයක් දමන්න පොරොන්දු වුවා නම් ඒ යන්ත්‍රය, යන්ත්‍ර ශ්‍රේණිය පොතින් හෝ යන්ත්‍ර රත්නය පොතින් හෝ වෙනත් පොතකින් හෝ ඔබට පෙන්වන්න ඕනෑ ඉස්සෙල්ලා. යන්ත්‍රය පලඳින දිනයට ඒක සුරයට දමලා බෙල්ලෙ දමන්න කලින් නැවත ඔබට පෙන්වන්න ඕන එදා පෙන්වපුු යන්ත්‍රයද කියල. ඒ යන්ත්‍රයේ ඔබේ නම, ලග්නය, නැකැත සඳහන් වෙලා තිබෙනවද බලන්න. අනෙක රත්රන් ආලේප කරන්න අවශ්‍ය යන්ත්‍රයක් නම් ඒකත් කරලද බලන්න. මේවා නිවැරැදිව සම්පූර්ණ නම් පලඳා ගන්න. මම මීට කලිනුත් කිව්වා.

යමෙකුගේ සෙනසුරු නරක් වුණාම මෙන්න මේ විපාක දෙනවා. එනම්

නිත්‍යං විවාද වද භන්ධන රෝග පීඩා
භන්ධෝ සදා විමුක්නං වර මිත්‍ර වෛරම්
අසානි රස්ථ කෘභි නිශ්ඵල නාස්ති හානිං
ඝර්මේසු දසා සුත රෝග්‍ය පෛනී

සෙනසුරා සෞරග්‍රහ මණ්ඩලයේ ඉන්න දීමනාවලට ප්‍රධානියා නම් අපට අපල කරන්නෙ අපි කළු නිසාද? හොඳට මතක තබා ගන්න කළු මිනිසුන්ට මේ සෙනසුරා එතරම් අරියාදු කරන්නෙ නැහැ. අපල කරන්නෙ නැහැ. මොකද සෙනසුරාත් කළු පාට නිසා. සෙනසුරා කළුපාටට කැමැතියි. ශනි හැම තිස්සෙම කෑමට ගිජුයි. ඒක නිසාම බොහෝ මිනිසුන් කියනවා සෙනසුරා කසල ගොඩේ ඉන්න හිගන්නා කියලා. ඒකෙ ඇත්තක් නැතුව නොවේ. සෙනසුරාගේ වාහනය කපුටා. ඕනෑ තැනයි එපා තැනයි අවුස්සනවා. හිඟන්නාම තමයි. කොච්චර කෑවත් බඩගිනියි. ගොඩක් කන්නෙත් නැහැ. කපුටාම තමයි.

දන්නවද සෙනසුරාට අයිති දිශාව, එනම් වරුණ දිසාව. දැන් නම් ඒ පැත්තට ඒ නම කියන්නෙ නැහැ. ඒ දවස්වල ප්ලුටෝ, යුරේනස්, නැප්චූන් කියල ග්‍රහයො වගයක් හිටියා. දැන් ඒ නම් නැහැ. ඒ වෙනුවට උතුරුමැද, බස්නාහිර, උතුර වගේ නම්නෙ භාවිත කෙරෙන්නෙ. කොහොම කිව්වත් අර්ථය එකයි. බටහිර.

හැම එකක්ම වෙනස් වන ලෝකේ මේ නමත් වෙනස් වෙලා. ඔබ දැකල තිබෙනවද ඉදිබුවා කියන සතා. ඉබි වර්ගයට වැටෙන්නෙ අන්න ඌ තමයි. සෙනසුරාගේ අවතාරය. ශනි මෘත්‍යුංජය වැඩි වාර ගණනක් ජප කරන කොට මේ රූපය දිස්වෙන්න ගන්නවා. රන් නැදැවට නමින් ඇති ආයුධය තමයි දකුණු අතේ තබා ගෙන ඉන්නෙ. මේ ලක්ෂණ මතකයේ තබාගෙන තමයි මේ යන්ත්‍රය මතුරන්න ඕනේ. ඔය අංජනම් බලනකොට හනුමා වෙනුවට වඳුරෙක් වගේ රූපයක් දර්ශනය වන්නේ. ඒ වගේ මූලික ලක්ෂණ දර්ශනයට එනවා.

“මෙන්න මේ කවිය කියවන්නකෝ ශනි ගැන තව දේවල් අවබෝධ වේවි.”

“වරුණ දිශාවට අධිපති ශනි දෙවි මණ නන්දා
කළු පාටින් ගත බබලා රන් නෑදැවට රන්දා
කපුටෙකු පිට ගමන් කරයි මනුලොව බල මින්දා
වරුණ දෙසින් ශනි වඩිනට නමා සිරස වැන්දා”

මම තව එකක් කියන්නම්. මේ විදියට යන්ත්‍ර ගැන නිවැරැදි දේ සපයන්නෙ ඔබේ යන්ත්‍ර දැනීම වැඩිකරල යන්ත්‍ර විද්‍යාව කරන අය වැඩි කරවන්න මිස යන්ත්‍ර හොරු ඇති කරන්න නොවේ. නපුරු අය යන්ත්‍ර මතුරල නැති කරදර ඇති කරගන්න එපා කියලත් ඉල්ලනවා.

යන්ත්‍ර මතුරන කොට ඔය එක එක රූප දර්ශනය වුණාට බය වන්න අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍ය පුද තියල එන්ට කියල දිෂ්ටි මන්ත්‍රයෙන් මැතුරුවාම එනව තමයි. ඕකට බය වන්ට ඕනද? ඒ වුණාට මම දන්න වැඩි දෙනෙක්ම බයයි. සමහර යන්ත්‍ර තිබෙනවා ග්‍රහයෝ දෙතුන් දෙනෙකුට එකම යන්ත්‍රය දමන්න පුළුවන්. එහෙත් ශනි මෘත්‍යුංජය දමන්නෙ සෙනසුරු අපලයටම විතරමයි. වැඩිපුරම හොඳ ශනි ඒරාෂ්ටකයට.

ඔබ සෙනසුරා ගැන අහල තිබෙනවනේ. විෂ්ණු දෙවියො කියන්නෙ අපේ බුද්ධාගම හා ශ්‍රී ලංකාව ආරක්ෂා කරන නීලවර්ණ ශරීරය තිබෙන කිසියම් දේව බලවේගයක්. විෂ්ණු දෙවියො මහේශාක්‍ය දෙවියෙක්. මේ දෙවියන්ටත් සෙනසුරා බඩගින්නෙ තබලා බට කොළ කැව්වානේ. ඒක මහ විශාල දීර්ඝ කතාවක්. සෙනසුරාට අයිති නැකැත් තමයි පුෂ, අනුර, උත්‍රපුටුප. සෙනසුරුට ඔක්කොම අවුරුදු 19යි. ඉන් පළමු අවුරුදු 3 යි දින 3 ක් සෙනසුරුගෙන් සෙනසුරුට. සෙනසුරු ගැන තවත් රහසක් හෙළිකරනවා.

සෙනසුරුගේ මේ අපල කාලය තුළදී සෙනසුරා නීච හෝ නරක් වුණොත් ගැහැනු ළමයෙකුට නම් මාසික ශුද්ධිය දින ප්‍රමාද කරනවා. ඒ දිනවලට අධික වේදනාවක් ඇති කරනවා. පිරිමි කෙනෙකුට නම් හවසට හවසට බඩ පිපෙනනවා. එතකොට සෝඩා ටිකක් බිව්වාම ඇරිල යනවා. ඔහොම දින කීපයක් ගත වුණාම ක්‍රමයෙන් උඩට ඇවිල්ල හෘදය වස්තුව හිර කරනවා. ඡ්‍යොතිෂ පොත්වල තිබෙන්නෙ ‘කැවුත්ත අල්ලනවා’ කියලා. කැවුත්ත කියන්නේ අක්මාවට. එතකොට රෝහලට ගෙන ගියාම වෛද්‍යවරු කියන්නෙ හෘදය වස්තුවේ හදිසි හිරකිරීමක් කියලා. වෛද්‍යවරු කියන්නෙ ඒ වගේ හෘදය හිරකිරීම් තුන්පාරයි කියලා. ඡ්‍යොතිෂයේ කියන්නෙත් ශනි ඒරාෂ්ටක තුන් පාරයි කියල. වචන වෙසක් වුණාට එකම දේ සිදුවන්නේ. කොහොම කිව්වත් අවසානය මරණය තමයි. මෙන්න මේ වෙලාවට එකම පිහිට මේ ශනි මෘත්‍යුංජය යන්ත්‍රය විතරයි ඡ්‍යොතිෂය පැත්තෙන්.

මේ සෙනසුරා ගැන පැරැණි කතාවක්. ඒත් සත්‍යයක් කියන්නද? අපි අහල තිබෙනව නේද? සෙනසුරා හොඳට දෙනවා. ගියාම ගන්නවා කියලා. ඒක අමූලික බොරු. සෙනසුරාගේ යෝග කාලයට හැමදේම දෙනවා. ඒ කිව්වෙ හොඳ පුරුදුත් නරක පුරුදුත් දෙනවා. නිකං ලැබෙන නිසා අපිත් ගන්නවා. සෙනසුරාගේ ඒ යහපත් කිරණ ජන්මියාට නොවැටෙන කොට අර සැප වස්තුව ලැබීමත් නතර වනවා. එහෙම නතර වුණාට අර පෙර පුරුදු නතර වන්නේ නැහැ, එක වරම. දැන් වේගවත් වියදම විතරයි. ආදායමක් නැතුව සැර වියදම කරන කොට තත්ත්වය තේරුම් ගන්ට පුළුවන්නෙ. දැන් ඉතින් සෙනසුරාට බනිනවා. දීල ගත්තා කියලා. ඒක නිසා සෙනසුරා නොවෙයි කවුරු දුන්නත් තමුන්ට එපා නම් ගන්න එපා. එතකොට ඔබත් නිදහස් සෙනසුරාත් නිදහස්.

සිද්ධි සූනියන් පුදට මී පැණි පොරි තබනවා. වගේ සෙනසුරු පුදට තබන්නෙ පොල් රොටි 09, කෙසෙල් ගෙඩි 09, පඬුරු 09, බුලත් 09, මල් 09 වර්ගයයි. මීට අමතරව රත්හඳුන්, කහකුඩු, තැඹිලි ගෙඩියක් තබන්න. මේ ආකාරයට නියමිත පුද තබලා නිවැරැදි ශනි මෘත්‍යජ්ජය පැළැන්දුවොත් ඔබ නොහිතන ශාන්තියක් ලැබෙන බව වගකීමෙන් සඳහන් කරනවා.

පාරම්පරික ඡ්‍යොතිෂවේදී,

ගුප්තවේදී,

මීපේ ගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.