ළදරු රෝග සඳහාගුණ දෙන අගනා ඔසුවක් රත්මල්

නොවැම්බර් 11, 2022

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දී රෝගීනට ප්‍රතිකාර කිරීම පමණක් නොව නිරෝගී පුද්ගලයන්ගේ නිරෝගී බව රැක ගැනීමටත් කටයුතු කරයි. එනම් ආයුර්වේදයේ දැක්වෙන මූලික පරමාර්ථ දෙක වන නීරෝගි පුද්ගලයාගේ නීරෝගි බව ආරක්ෂා කිරීමට කටයුතු කිරීම හෙවත් ස්වස්ථ පරායණය සහ රෝගී පුද්ගලයාගේ රෝගී භාවය තුරන් කිරීමට කටයුතු කිරීම හෙවත් ආතුර පරායණයයි.

 

ආයුර්වේදයේ මෙම චිකිත්සා ක්‍රියාවලියේ දී මුල් කාලයේ කටයුතු කළේ කාය චිකිත්සා සම්ප්‍රධාය සහ ශල්‍ය සම්ප්‍රදාය අනුවයි. එනම් මුලින්ම භාරද්වජ සෘෂි තෙම දෙව්ලොව ගොස් ඉන් කාය චිකිත්සා සම්ප්‍රධායත් ධන්වන්තරී සෘෂි තෙම ඒ ඇසුරින් ශල්‍ය සම්ප්‍රදායත් මනුලොවට ගෙනා බව පැවසේ. මෙසේ ගෙන ආවද ළමුන් සඳහා චිකිත්සා ක්‍රමවේදයක අඩුව පැවතුණි.

 

එයට හේතුව ළමයින් සඳහා ප්‍රතිකාර කිරීමේදී කළ යුතු ක්‍රියාවන් යෙදිය යුතු ඖෂධ මෙන්ම ඒවායේ මාත්‍රාවන් පිළිබඳ නිවැරැදි දැක්මක් එහි නොතිබිණි. මේ අඩුව පිරවීමට කාශ්‍යප සෘෂි තෙම දෙව්ලොව ගොස් කෞමාර භෘත්‍යය තන්ත්‍රය මනු ලොවට ගෙනා බව දක්වා ඇත. මෙම කෞමාර භෘත්‍යය තන්ත්‍රෙය් ළමුන්ට ප්‍රතිකාර කිරීම, ළමුන්ගේ පෝෂණය ඇතුළු බොහෝ කරුණු අඩංගු විය. මේ අයුරින් ළමයින් සඳහා වෙනමම චිකිත්සා ක්‍රමවේදයක් එහි දක්වා තිබුණු අතර එහි ළමයින්ට ඇති විය හැකි විශේෂ රෝග ඒවාට යොදන ඖෂධ ආදිය ගැන මනාව සඳහන් කර තිබුණි.

මෙසේ ළමයින් සඳහා ප්‍රතිකාර කිරීමේ දී යොදා ගනු ලබන ඖෂධ යෝගයන්හිදී නැතුවම බැරි අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් වශයෙන් රත්මල් හැඳින්විය හැකිය. අලංකාර මල්වලින් යුතු ප්‍රසන්න පෙනුමක් සහිත රත්මල් ශාකය අප ජීවත් වන පරිසරයේ සෑම තැනම පාහේ දක්නට ලැබෙන බැවින් ඒ පිළිබඳ අවබෝධයක් නොමැති අය සිටිත් නම් ඒ ඉතා සුළු ප්‍රමාණයක් වනු ඇත. බොහෝ තැන්වල වැවී තිබෙනු දක්නට ලැබෙන මෙම ශාකය ගෙවතුවල, එසේම මාර්ග අසල අලංකාරය සඳහා ද වවනු ලබන බව දක්නට ඇත. මෙසේ ඉතාමත් බහුල ලෙස සියලුම ප්‍රදේශවල දැකිය හැකි ඖෂධීය වශයෙන් වටිනාකමක් මෙන්ම වැදගත්කමක් පවතින බව ඈත අතීතයේ සිටම ගම්බද අපගේ මුතුන් මිත්තෝ දැන සිටියහ. විශේෂයෙන්ම ළදරුවන්ගේ රතගාය වැනි අසනීපවලදී අත්බෙහෙත් ලෙස රත් මල් අඩංගු ඖෂධ යෝගයන් යෙදීමට බොහෝ දෙනා දැන සිටියහ. මෙනිසා රත්මල් අලංකාරයටත් වඩා එහි ඇති ගුණය සලකා වවා ගැනීමට එදා ගම්බද ජනතාව පුරුදු වී සිටියහ.

 

රත්මල් වැවෙන ප්‍රදේශ

විදේශීය වශයෙන්

ඉන්දියාවේ සියලුම ප්‍රදේශයන්හි පාහේ දැකිය හැකිය.

දේශීය වශයෙන්

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවල විශේෂයෙන්ම තෙත් කලාපීය ගංගා ඇළ දොළ ආශ්‍රිත ජලය සහිත බිම්වල කුඹුරු අද්දර මනාව වැවෙන පැළෑටියකි. වියළි කලාපයේ ද වැවිය හැකි පැළෑටියකි.

රත්මල් ශාකයේ ස්වරූපය :-

රත්මල් ශාකයේ ස්වරූපය සැලකීමේදී මෙය මීටර් 2 – 3 ක් පමණ උසට වැවෙන පඳුරක් බව දැකිය හැකිය. මෙම ගස් වැවීමට එතරම් කාලයක් අවශ්‍ය නොවේ. මධ්‍යකාලීනව වැවෙන්නට කාලය ගතවේ. වැවීමට තෙතමනය අවශ්‍ය වේ. ගස් ද එතරම් විශාල නොවේ. මධ්‍යම ප්‍රමාණයට වැඩේ. මෙම ශාකයේ පත්‍රවල කටු නැති තරම්ය. පළලට වඩා පත්‍ර දිගය. සෙ.මී. 3 -9 දක්වා පමණ පත්‍ර දිගින් යුතුය. පත්‍රවල අග කෙළවර මොට්ට වී ඇත. මෙහි මල් විශාල සංඛ්‍යාවක් හට ගනු ලබයි. රතු මල් කෙටි නටු සහිත පුෂ්ප මංජරි කෙළවර පිහිටා ඇත. මෙම ශාකයේ හටගනු ලබන ගෙඩි රතු පැහැ වන අතර රවුම් හැඩයට සමීප හැඩයක් ගනු ලබයි. එය මි.මී.3ක් පමණ විෂ්කම්භයෙන් ද යුතු වේ. මෙම රත් මල් පඳුරු ගෙවත්තේ අලංකාරය සඳහාත්, සෙවණ ලබා ගැනීම සඳහාත් ඖෂධ සඳහා ප්‍රයෝජනය ලබා ගැනීමටත් වවා ගනු ලබයි. විවිධ භාෂාවලින් හඳුන්වනු ලබන නාම

පොදු සිංහල නාමය රත්මල් වන අතර

සංස්කෘත බසින් බන්ධුක, රක්තක, ඊශ්වර, බින්ධුක, රකිත, පාතාලී ආදී නාමයන් යෙදේ. හින්දි බසින් රංගන හා රජන යන නාමයන්ද වංග බසින් රඩ්ගන යනුවෙන් ද දෙමළ බසින් වෙඩ්ඩි හා විච්චි යනුවෙන් ද යෙදේ.

ඉංග්‍රීසි බසින් බ්භදඨතඥ ට්ඥපචදඪභථ යනුවෙන් යෙදෙයි. රත්මල්වල උද්භිද විද්‍යාත්මක නාමය ධ්යධපච ජධජජඪදඥච ඹ්ඪදද වන අතර කුලය අඋඕධ්ඒඛ්ඡ්ඒඡ් හෙවත් මංජිෂ්ඨා කුලය වේ.මෙම කුලයට අයත් අනෙකුත් ශාකයන් වනුයේ කොලොම්, සින්කෝනා, ගලිස් ඉපිකාන්, අහු, පත්පාඩගම්, ප්‍රසාරණී, වැල්මදට හා බක්මී ආදියයි.

ඖෂධ සඳහා ගනු ලබන අංග :-

පංචාංගය මල් හා පොතු විශේෂයි.

ප්‍රභේද :-

1.රතු 2. සුදු 3. කහ 4. මහරතඹලා වශයෙන් ප්‍රෙභ්ද 4කි. මේ අතුරින් මහරඹලා සඳහා සංස්කෘත බසින් පිණ්ඩීකර යයිද හින්දි බසින් කෝටා ශාන්ධාල යයිද, වංග බසින් ගාන්ධාල රඪගන යයි ද දෙමළ බසින් ගුලේන්ද්‍රකෝරා යනුවෙන් ද හඳුන්වන අතර එහි උද්භිද විද්‍යාත්මක නාමය ධ්යධපච ර්‍ථචපමඪටතධපච මචදඪ ලෙස ද කුලය අඋඕධ්ඒඛ්ඡ්ඒඡ් හෙවත් මංජිෂ්ඨා කුලය මද වේ.

* අඩංගු රසායනික උපාදාන :-

මෙහි මුල්වල සුගන්ධවත් පදාර්ථයන් ද කටුක රසැති තෛල පදාර්ථයන් ද ටැනින් (ජ්චබබර ඊචදදඪද) ,මේද සහිත අම්ල වර්ග (ජ්චබබර ඒජඪඤඵ) සහ සුදු පාට ස්ඵටිකාකාර ද්‍රව්‍ය පදාර්ථයන් ද ඇත. මල්වල වර්ණකර පදාර්ථයන් ද කසට කාබනික(ර්‍ණපචඨචදඪජ) පදාර්ථ ද ඇතුළත්ය. ඉටි සහ භෂ්ම ද අන්තර්ගතය.

රත්මල්වල ඖෂධීය මාත්‍රා :-

යෝගයන්හි ව්‍යවහාරය අනුවය.

රත්මල් අඩංගු ඖෂධීය යෝග :-

ඉන්දියාවේ රත්මල් මුල් පාචනය සහ අතීසාරරෝග මැඩ පැවැත්වීමට භාවිත කරයි. පත්‍ර හා මුල් චූර්ණය ව්‍රණ තුවාලවලට ආලේප කළ හැකිය. ශ්‍රී ලංකාවේ විශේෂයෙන් රත් මල් ළදරුවන්ගේ රතගායට නිතර භාවිත කරයි. එසේ ම ඇස් රෝග සඳහා ද රත් මල් භාවිත කරයි.

රතගායට

1. රත් මල් කොළ හා පොතු තම්බා ගත් වතුරට සීනි මිශ්‍ර කර බීම ඉතා ගුණදායකය.

2. තනිකර රත් මල් පොතු ක්වාථය ද යෝග්‍ය වේ.

3. වදමල් කැකුළු, රත්මල්, රත් හඳුන්, වැල්මී තම්බා ගත් වතුර සීනි මී පැණි දමා බීම ඉතා ගුණදායකය.

ලේ පිරිසිදු වීමට

ලුණුවිල, වැල්මී, රත්මල් මොට්ටු කලං 01 බැගින් ගෙන තලා නටන වතුර

මේස හැඳී 3ක් දමා තබා නිවා පෙරා ටික ටික පෙවීම ඉතා ගුණදායකය.

මලබද්ධය සහිතව රතගාය ඇති විට අරළු, රත්හඳුන්, රත්මල් කැකුළු, ලුණුවිල සහ වදමල් කැකුළු කෂාය කර දීම ඉතා ගුණදායකය.

රත කුෂ්ටයට

1. සූරිය පොතු, මදටිය පොතු, රත්මල් ගසේ පොතු අරළු කෂාය සවිඳ ලුණු දමා බීමට දීම ඉතා ගුණදායකය.

2. රත් හඳුන්, රත්මල් කැකුළු, ලුණුවිල, වැල්මී, අරළු කෂාය දීම ඉතා ගුණදායකය.

3. රත්මල් කොල, උඳුපියලිය, කැකුළු හාල් ටිකක් එක්ව වතුරින් අඹරා රත කුෂ්ටයේ ගෑම ඉතා ගුණදායකය.

4. මල් අබ කොළ,රත්මල් කැකුළු අඹරා තල තෙලින් ගෑම හොඳයි.

5. රත්මල් කැකුළු පමණක් අඹරා ගෑම ද ඉතා ගුණදායකය.

6. රත්මල්, අත්තන, නික කොළ සමව ගෙන කොටා මිරිකා සූර්ය පාකයෙන් තෙල් පාට වන තුරු කාකාරා හබරල පත්‍රයක ගා තබන්න.

7. රත්මල් කැකුළු මිටක් ඔලිඳ ඇට මදත් බැද ස්වල්පයක් ද වදමල් හා බෝ කොළ සමව ගෙන අඹරා තල තෙල් වලින් අනා ගෑම ඉතා ගුණදායකය.

පැසවූ ව්‍රණ ශෝථ පිපිරීමට

1. රත්මල් කැකුළු ඌරු තෙල් වලින් අඹරා ගෑම ඉතා හොඳයි.

2. රත්මල් දලු උදුපියලිය, කැකුළුහාල් ඇල්දියෙන් අඹරා ගෑම ඉතා ගුණදායකය.

3. සියලුම ගඩු සඳහා රත්මල් ගසේ පංචාංගය ඇල්දියෙන් අඹරා ගෑම ඉතා ගුණදායකය.

එසේම හික්කා රෝගයට රත්මල් මුල් පාණ්ඨය හෝ ක්වාථයද

ශ්වේත ප්‍රදර හා පූයා මේහයට

රත්මල් මෝදකය ද යොදනු ලබන අතර ඒවා බොහෝ සෙයින් ගුණදායකය.

මේ අනුව පැහැදිලි වන්නේ රත්මල් යනු ළදරුවන්ට ඇතිවන රතගාය ඇතුළු ලේ දූෂිත රෝග සඳහා බොහෝ සෙයින් යොදා ගනු ලබන අගනා ඔසුවක් බවයි. එසේම වැඩිහිටියන්ටද ශරීරයේ ලේ පිරිසිදුවීමට යොදනු ලබන සමහර ඖෂධ යෝගවලදී රත්මල් එකතු කර ගනු ලබයි.

මේ නිසා අතිශයින් වැදගත් රත්මල් සෑම ගෙවත්තකම වවා ගැනීම බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වේ. විශේෂයෙන් පොඩි ළමයින් සිටින නිවෙස් අසල රත්මල් වවා ගැනීම නිවසේ වෛද්‍යවරයකු සිටිනවා හා සමානය. මේ නිසා මෙවන් අගනා ඖෂධීය ශාක ඒවායේ වටිනාකම හඳුනාගෙන වැඩි වැඩියෙන් වගා කර ගන්නේ නම් එයින් සමාජයට සිදුවන්නේ මහඟු සේවයකි.

 

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ

කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.