භගන්දර සහ අර්ශස් සඳහා අත්දුටු ක්ෂාරසූත්‍ර ප්‍රතිකාරය

මාර්තු 24, 2023

 

ස්ඵික් (තට්ටම) ප්‍රදේශයේ සිට භග (යෝනි මාර්ගය) ගුද (rectum) සහ වස්ති (මුත්‍ර මාර්ගය) ප්‍රදේශය දක්වා ගමන් කරන ඔඩු වණයක් භගන්දර යනුවෙන් හැඳින්වේ. ගුද මාර්ගයේ සිට අඟල් 2ක් පමණ ප්‍රදේශයේ පිඩකාවක් (බිබිලක් / සැරව ගෙඩියක්) හටගෙන එයට වහා, නිසි ප්‍රතිකාර නොයෙදුවහොත් එය ඔඩුයාමෙන් භගන්දරය හටගනී. මේ සඳහා රෝගීන් 175 පමණ යොදා ගනිමින් නාවින්නේ බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනයේ කරන ලද සායනික පර්යේෂණයකදී 130 (74 % පමණ) භගන්දර රෝගීන් සුව වූ බවත් එම රෝගීන්ගෙන් 96 දෙනකු මීට ප්‍රථම නව්‍යශල්‍යකර්මයනට භාජනය වූ රෝගීන් බවත් වාර්තා විය.

 

මෙහිදී ‘ක්ෂාර සූත්‍රය’ තැනීමට පෙර ක්ෂාර තනාගත යුතුය. කරල්හැබ, සියඹලා, වරා, තලදඬු ආදිය පංචාංගයම ගෙන කුඩා කැබලිවලට කපා වියළා, ලෝහ බඳුනක දමා පුලුස්සනු ලැබේ. මෙය නිවුන පසු පෙනේරයකින් හලා ඉතිරිවන කුඩුවලට 6 ගුණයක් ජලය දමා රැයක් තබා, පසු දින උදේ පිරිසිදු කපු රෙදි කැබැල්ලකින් 21 වරක් පෙරාගත් වතුර (ක්ෂාරොදක) ලෝහ බඳුනකට දමා කුඩු බවට පත්වන තුරු ලිප තබා හිඳිනු ලැබේ. මෙය අඹරන බඳුනකට (grinder) දමා සියුම්ව කුඩුකර ගත යුතු ය. මෙම ක්ෂාර බෝතලයකට දමා ලේබලයක් අලවා තබාගත යුතු ය.

ක්ෂාර සූත්‍රයේ දළුක් කිරි ගෑමට පැය 1 - 2 කට පෙර, දළුක් ගසක් උල් පිහියකින් ඉරි ඇඳ කිරිගෙන දියර කොටස ඉවත් කරනු ලැබේ. අංක 20 (Barbour linen) ශල්‍යමය නූලක් ගෙන එය හැන්ගරයක ගැට ගසනු ලැබේ. දළුක් කිරි, ගෝස් කැබැල්ලකින් නූලේ 11 වරක් තවරා, ඉන්පසු ක්ෂාර ගෑමෙන් පසු වියළා, නැවත දළුක් කිරි හත් (7) වරක් තවරමින් වියළිය යුතු ය. එම නූල කැබිනෙට්ටුවක් තුළ වියළා නැවත 3 වරක් කිරි හා කහ කුඩු මාරුවෙන් මාරුවට ගෑම කළ යුතු ය. Ultra violet ලාම්පුවක් විනාඩි 20 - 30 පමණ කැබිනෙට්ටුව තුළ තබන්න. පහත සඳහන් රෝගයන්ගෙන් පෙළෙන අයට ක්ෂාර සූත්‍ර යොදනු නොලැබේ. උකුල් අස්ථි දිරායාම (Osteomyelitis) උකුල් අස්ථියේ හෝ කොඳු ඇට පෙළ ක්ෂය රෝගය (T.B) උදරයේ විද්‍රධි (abscess) මහාන්ත්‍රප්‍රදාහය (colitis) Appendicitis  උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය, අන්ත්‍ර පිළිකා, සමාජ රෝග (V.D) මුත්‍රා මාර්ගය පටුවීම, දකුණු හෘද්විරතිය (RV7) ක්‍රොන්ගේ රෝගය වේ.

අර්ශස් අංකුර ගුදයෙන් බැහැරව ඇතිවිට ක්ෂාර සුත්‍ර යොදා ගැට ගැසීමෙන් එය වැටී යයි. භගන්දර රෝගය සඳහා ක්ෂාර සූත්‍ර යෙදීමේ දී පූර්ව කර්ම ප්‍රධාන කර්ම සහ පශ්චාත් කර්ම යනුවෙන් අවස්ථා 3 කට බෙදා ප්‍රතිකාර කෙරේ. පූර්ව කර්ම යනු වෛද්‍යවරයා, ශල්‍යාගාරය, ශල්‍ය උපකරණ, වාට්ටුව, හෙදියන් සහ උපස්ථායකයන් සූදානම් කිරීමයි. පෙරදින රාත්‍රියේ ශෝධනයක් (පිරිසුදු කිරීම) ලෙස ධාත්‍රී චූර්ණය හරිතකි (අරුළු) චූර්ණය හෝ ත්‍රිඵලා චූර්ණය නින්දට පෙර කෝපි මෙන් වත්කර පෙරා පානයට දෙනු ලැබේ. සතියකට පෙර නිරූහ වස්තියක් යෙදේ. ත්‍රිඵලා ක්වාථ වැනි අනුලෝමන ගුණැති ඖෂධයක් යෙදේ. ප්‍රධාන කර්මයේ දී රෝගියා ඇඳේ උඩු අතට හාන්සි කරවා (Lithotomy postion) ගුදය අවට පවිත්‍ර කර, වෛද්‍යවරයා තම වම් දබරැඟිල්ල රෝගියාගේ ගුද මාර්ගයට දමා, බාහිර විවරය තුළින් ඒෂණි යන්ත්‍රය (Probe) ගුද මාර්ගයට දමා එතුළින් ඉවතට ගෙන, ක්ෂාර සූත්‍රය, ඒෂතියේ සිදුර තුළින් ඉවතට ගෙන නූල ගැට ගසා කපනු ලැබේ. ජාත්‍යාදී තෛලය හෝ නීල්‍යාදී තෛලය 5- 10 ml  ගුද මාර්ගයට ඇතුළු කෙරේ. බාහිර තුවාලයට පුළුන් ගෝස් තබා ප්ලාස්ටරයක් යෙදේ. දින 2 ක් පමණ පසු (පහසුවෙන් දිරවන) කැඳ වැනි ආහාර දේ. සතියකට පසු ක්ෂාර සූත්‍රය මාරු කෙරේ. මලපහ කිරීමට විනාඩි 10 - 15 කට පෙර ජාත්‍යාදි තෛලය 5 -10 ml  ගුද මාර්ගයට යෙදේ. පංචවල්කල තැම්බූ වතුර හෝ උණුදිය බේසමකට ගෙන මල පහකර පැය 1/2කට පසු තට්ටම ගිලෙන සේ (sity bath) විනාඩි 15 පිසදා තුවාලයකට නීල්‍යාදී තෛලය පෙඟවූ පුළුන් තබා ප්ලාස්ටර් යොදනු ලැබේ. අර්ශස් රෝගියාද පෙර පරිදිම හාන්සි කර, ගුද ප්‍රදේශය පවිත්‍ර කර, අර්ශස් අංකුරය අඬුවකින් (Forceps) අල්ලා ඇද, ක්ෂාර සූත්‍රයෙන් ගැට ගසා සතියකට වරක් නූල කපා නැවත ගැටගසනු (igation) ලැබේ. දින 5 - 7 කින් අංකුරය කුණු වී (gangrene) වැටී යයි. නුගපොතු, බෝපොතු, අත්තික්කා පොතු තම්බා ගත් වතුර බේසමකට ගෙන වි. 15 ක් අවගාහ ස්වේද කර පිසදා නීල්‍යාදී තෛලය ආලේප කෙරේ.

භගන්දර සහ අර්ශස් යන රෝගයන්ට අභ්‍යන්තර ප්‍රතිකාර ලෙස අග්නිය වඩන දීපන ඖෂධ ආමය පැසවන පාචන ඖෂධ, මලබද්ධය නසන විරේචන හෝ අනුලෝමන ගුණැති ඖෂධ, ගුගුල් අඩංගු ඖෂධ, චන්ද්‍ර ප්‍රභා වටී (මුත්‍ර ශෝධනයකි) කෂාය (රක්ත ශෝධක) අර්ශස් නසන ඖෂධ යෙදේ.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.