කොරෝනාවෙන් ආරක්ෂාවීමට නම්...

ජූලි 29, 2022
  • කෝවිඩ් තාමත් ඉවර නෑ
  • කොරෝනා රෝගීන්ගේ වාර්තාවීමේ ඉහළයාමක්

කොරෝනා වෛරසය ශ්වසන පද්ධතිය ආශි‍්‍රතව ඇතිවන බෝවන වෛරසයක් බව පිළිගත් කරුණ වී ඇත. කොරෝනා යම් තරමකට පාලනය වී තිබුණ ද මේ වන විට යළිත් එය පටන් ගෙන තිබේ.

රෝගයේ බෝවීම

මෙම අතිභයානක කෝවිඩ් දහනවය වෛරසය අපේ සිරුරට ඇතුළුවන්නේ ශ්වසන මාර්ගය ඔස්සේ සහ ස්පර්ෂමාර්ගයෙනි. වෛරසය ශරීරගත වූවකු කහිනවිට, කිවිසුම් යවන විට කථා කරන විට මුවින් පිටවන, ඇසට නොපෙනෙන සේ පිටවන කෙළිබිඳිති වලිනුයි තවත් කෙනෙකුට රෝගය බෝවන්නේ. කොරෝනා වෛරසය ශරීර ගත වූ අයකුට රෝග ලක්ෂණ මතුවීම දින දෙකේ සිට දින දාහතරක කාලයක් තුළදී සිදුවිය හැකි බවට පරීක්ෂණවලින් සනාථ කරගෙන ඇත. එහෙත් වෛරසය ශරීරගත වූවන් දින පහ,හය පමණ ඉකුත් වීමෙන්ද රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබේ. කොරෝනා වෛරසයේ භයානකකම වන්නේ වෛරසය ශරීරගතවුවත් සමහරුන්ට එය මතු නොකොට ශරීරයේ පැවතීමයි. ඒ කියන්නේ කොරෝනා වෛරසය ශරීර ගත වන්නන්ගෙන් සියයට පනහකට, හැටකට පමණ දෙනාට කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා සිටීමයි.

මේ වන විට අප රටේ ද මේ කොවිඩ් දහනවය වෛරසය නිසා තැති ගැන්මට ලක්වෙලා. සියලුම ජනතාව පසුවන්නේ ලොකු බියකිනි. කෝවිඩ් දහනවය මාරාන්තික වෛරසය පැතිරයාම එන්න එන්නම වැඩිවෙමින් පවතී. රට පුරා කොහෙන් හෝ එක්කෙනා දෙන්නා පමණක් නොවෙයි. විස්ස, තිහ ගණනින් සොයා ගැනීමට හැකිවී තිබෙනවා. එය හොඳ තත්ත්වයක් නම් නොවෙයි. භයානකම තත්ත්වයකි.

පැතිරයා හැකි මාර්ග

දැන් දැන් ලැබෙන තොරතුරුවලට අනුව මේ වෛරසය ඇඳුමින් පැළඳුමින් බඩුබාහිරාදියෙන් මෙන්ම මුදල් අත පත ගෑමෙන් ද පැතිරයා හැකි බව පෙන්වා දී ඇත. දූෂිත වූ පරිසරයේ හමන සුළඟට ඕනෑම අවස්ථාවක කෝවිඩ් දහනවය රෝගය පතුරුවා හරින්න හැකියාව පවතිනවා. මේ භයානක තත්ත්වය නිසයි කියන්නේ. හැමටම මුඛවාඩම් පැලඳීමටත් නිතරම අත් සෝදා පිරිසුදු කර ගන්නා ලෙසටත්. මේ වෛරසය වැඩියෙන් බලපෑම් කරන්නේ සමාජයේ කණ්ඩායම් ගැසී කථා බස්කර කර සිටින අයට මෙන්ම දුරස්ථභාවය ගැන නොතකා සිටිමින් මුඛවාඩම් නොදමා සිටින අයටයි. එය දැන දැනත් බොහෝ දෙනකු සෞඛ්‍ය උපදෙස් ගණන් නොගෙන හැසිරෙන බව පෙනේ. ඔවුන් ඉන් කරන්නේ තමන්ට පමණක් නොවෙයි තම පවුලේ අයට දූ දරුවන්ට දෙමාපියන්ට සමාජයට මෙන්ම මුළු රටට කරන මහා විනාශයක්.

නොයෙකුත් මාධ්‍යවලින් හා සෞඛ්‍ය අංශවලින් යුධ පොලිස් ප්‍රධානීන් මෙන්ම රජය මඟින් දවස පුරාම කෝවිඩ් දහනවයේ භයානකකම නිසා පිළිපැදිය යුතු විධි දිගින් දිගටම දන්වා සිටියත් සමහරුන් ඒ ගැන සැළකිලිමත් බවක් දක්වන බවක් නොපෙනේ. පවුලක වැඩිහිටියන්ගේ පැවතුම් අනුවයි දූ දරුවන්ද හැසිරෙන්නේ. ඔවුන් ඒ ගැන අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.

සෞඛ්‍ය පුරුදු පිළිපඳින්න

දරුවන් මුඛවාඩම් නොපැළඳ සමූහ වශයෙන් එක්වී සෙල්ලම් කරන බව පෙනේ. මෙසේ දූවිලි පවතින ස්ථානවල හැසිරීම සුදුසු නැහැ. මේ දරුවෝ අත් නොසෝදා පෙර මෙන් යම් යම් කෑම ජාති කෑමට ද පුරුදුව සිටිති. මේ ගැන වැඩිහිටියන් සොයා බැලිය යුතුයි. අධික දුවිල්ලට හා ශීත ජලයෙන් හා කෑම ජාති නිසා දරුවන්ට සෙම වර්ධනය විය හැකියි. මේ නිසා මේ වයිරස් කාලයේදී දරුවන්ට පමණක් නොවෙයි. වැඩිහිටියන් ද ශීතල කෑම වගේම කිරි බීමද අඩු කළහොත් හොඳයි. යහපත් සෞඛ්‍ය පුරුදු ශ්වසන පුරුදු නිරතුරුවම අනුගමනය කළ යුතුමයි. ඉන් රෝගය පැතිරයාම වළක්වා ගත හැකිය.

නිවසේ සිටියත් මහ මඟ ගමන් කරත් කණ්ඩායමක් ළඟ සිටියත් කිවිසුමක් යන විට කැස්ස ඇතිවූ විට අතේ යටිපැත්ත වැළමිට උස්සා නාසය සහ මුඛය වසා එය පිටකිරීමට ක්‍රියා කළ යුතුයි. සෑම අවස්ථාවකදීම සබන් යොදා අත්දෙක සේදීමටත් විෂබීජනාශක දියරයකින් අත් නැවත පිසදා ගැනීමටත් අමතක නොකළ යුතුයි.

ප්‍රතිශක්තිය වඩන ආහාර

මෙතෙක් නිශ්චිත ප්‍රතිකාරයක් සොයා නොගත් මෙම රෝගයෙන් ගැලවීමට ඇති මග හැකිතාක් දුරට ප්‍රවේසම් වීමෙන් හා ප්‍රතිශක්තිය වඩන ආහාරපාන පමණි. බොහෝදුරට ශීත කළ ආහාර පානවලින් වෑළකීම හොඳම ප්‍රතිකාරයයි. යහපත් ශ්වසන පුරුදු නිරන්තරයෙන්ම අනුගමනය කිරීමෙන් රෝගය වළක්වාගත හැකිය. ඕනෑම වෛරසයක් ශරීරගත වීමෙන් මිදීමට ශරීර ප්‍රතිශක්තිය තිබිය යුතුය. එය හොඳ තත්ත්වයක තබා ගැනීම අවශ්‍යම වේ. ඒ සඳහා පෝෂ්‍යදායි සමබර ආහාර වේලක් ගත යුතු වේ. එය තුන්වේලටම ගැනීම නීරෝගිතාවයට බෙහෙවින් උපකාරී වේ.

ලබා ගත යුතු ආහාර පාන

එමෙන්ම ශරීරයේ විජලනතාවය ඇති නොවීමට නිතර නිතර පාන වර්ග ද ගත යුතුය. නිතර නිතර උණුකරන ලද ජලය පානය කිරීමටත්, ලෙමන් යුෂ පානය කිරීමත් යෝග්‍ය ය. ලුණු මිශ්‍රකරන ලද ජලයෙන් හා දෙහි මිශ්‍ර කරන ලද උණු ජලයෙන් උගුර සේදීමත් කහ ස්වල්පයක් උණු ජලයට යොදා උගුර සේදීමත් වඩාත්ම සුදුසුය. ශරීරයට ඇතුළු වන වෛරස උගුරේ රැඳී සිට ශ්වසන මාර්ගයට යන බැවින් මේ තුළින් ඒවා බොහෝදුරට වැළකේ.

ප්‍රබල විෂබීජ නාශකයක් වන කහ ආහාර ද්‍රව්‍ය සකස් කිරීමේදී යොදාගත හැකිය. එය කිරි හොද්දට, පරිප්පුවලට, එළවළුවලට ආදී සෑම ආහාරයකට යොදාගත හැකිය. වාතය සමනය කිරීමේ ගුණදායක ඖෂධයක් වන කහ ශරීර ප්‍රතිශක්තියට මෙන්ම අක්මා රෝගීන්ට ද ගුණදායකය. සුදුලූනු ව්‍යාංජනයක් ලෙසත් ව්‍යාංජන රසවත් කිරීමට ගන්නා කුළුබඩුවක් ලෙසත් සිරුරට අවශ්‍ය ඛනිජ රාශියක්ම ඇත. ශරීරය තුළ පවතින විෂ ගතිය ද ඉවත් කිරීමේ හැකියාවක් ඇති සුදුලූනු මතක ශක්තිය වැඩි කිරීමටත් ප්‍රතිශක්තිය වර්ධනය කිරීමටත් හැකියාවක් ඇත. රතුලූනුවල සිරුරේ ප්‍රතිශක්තිය වැඩිකරීමේ බලයක් පවතී. ශක්තිය ප්‍රෝටීන් මේද, ඛනිජ, කාබෝහයිඩ්‍රේට්, කැල්සියම්, යකඩ, මැග්නීසියම් , පොස්පරස්,පොටෑසියම්, සෝඩියම්, සෙලනියම් වැනි පෝෂ්‍යපදාර්ථ බහුලව අඩංගු වේ. ස්වල්ප වශයෙන් පවතින විටමින් බී, ඒ සහ සී ද අඩංගු වේ.

සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රතිශක්තිය සවිමත්නම් බියවිය යුතු නැත. අපි ආහාරයට එක්කරන කුළුබඩුවල ප්‍රතිශක්තිය ඉහළනම් වන විශේෂ ගුණයක් පවතී. පැණි රසයෙන් යුත් පලතුරුවලින් ද සිදුවන්නේ ප්‍රතිශක්තිය ඇති කිරීමයි. දෙළුම් ඇට, ගස්ලබු, ගෝවා, ධාන්‍යවර්ග වැනි තන්තු ආහාර ආහාර පිසීමේදී අධික ලෙස තැම්බීමෙන් ප්‍රතිශක්ති ගුණය අඩු වේ.

තවද තල, කුරක්කන්, මුරුංගා, උඳු, ගස්ලබු , ඇපල් ආදී එළවළු පලතුරු ද ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට ක්‍රියා කරයි.

ආයුර්වේද වෛද්‍ය

සුමිත් එම්.පී. රාජපුරA

සටහන

බී.ඇල්. පේ‍්‍රමරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.