වෙදකම් පරයන කෙම්ක්‍රම අත්හදා බලන්න

ජුනි 17, 2022

කුඩා දරුවන්ට වැලඳෙන දෝෂයකි බාලගිරි දෝෂය. බාලගිරි නමැති යක්ෂයාගෙන් ඇතිවන බාලගිරි දෝෂය වැලඳුනු ළදරුවා නිතර හඬයි. මෙය වැළැක්වීම සඳහා “බාලගිරි දෝෂය අද නොවේ හෙටයි” යනුවෙන් ලියා ගෙදර දොරකඩ උළුවස්සේ අලවනු ලබයි.

අපේ ගැමියන් අතර ප්‍රචලිතව පැවතෙන ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන් කෙම් ක්‍රමය හඳුන්වාදිය හැකි ය. කෙම් ක්‍රමය සඳහා ඖෂධ පාවිච්චියක් නොකෙරේ. එය ගුප්ත ක්‍රමයකි. ඇතැම් කෙම්ක්‍රම වෙදකම්වලට සමානය. එහෙත් එහි ඇති ගුප්ත ලක්ෂණ නිසා ඒවා කෙම් වශයෙන් හඳුන්වනු ලබයි. රුදාවක් හෝ වේදනාවක් ඇති වූ විට එයට යම් ඖෂධයක් දීමෙන් එය දුරුකරගත හැකි ය. එහි ගුප්ත ලක්ෂණ නොමැත. එම වේදනාවට බෙහෙතක් නොදී වෙනත් ක්‍රමයකට සුව කිරීම කෙමක් වශයෙන් සැළකේ. ඖෂධ දීමෙන් සුව වන්නේ කෙසේදැයි විද්‍යානුකූලව සොයාගත හැක. එහෙත් කෙමක් කිරීමෙන් වේදනාව සුව වෙන්නේ කෙසේදැයි විද්‍යාවට හසු නොවේ. කෙම් වර්ග කිහිපයක් අප අතර භාවිතයේ පවතී. එක් වර්ගයක් සතුන්ට වැලඳෙන රෝග සඳහා ය. මිනිසුන්ට වැලඳෙන ඇතැම් රෝග සඳහා තවත් කෙම් ක්‍රම ඇත. තවත් කෙම් ක්‍රම භාවිතා වන්නේ ලෙඩ රෝග සඳහා නොව වෙනත් උපද්‍රව සඳහා ය.

පහත සඳහන් කෙම් ක්‍රම අපේ ගැමියන් අතර භාවිතයේ පවතී. ඇසේ නගනයක් ආවිට ලුණු කැටයක් ගෙන වතුර කළයක් ළඟට ගොස් ‘නගනේ මරුමගනේ කළගෙඩියට පොඟනේ” යයි කියමින් එම ලුණු කැටය තෙවරක් නගනයේ අතුල්ලා වතුර කළයට දැමූ විට නගනය සුව වේ.

ඉක්කාවක් වැටෙන විට “ඉක්කයි මායි ගමට ගියා ඉක්කා හිටියා මං ආවා” යයි හත්සැරයක් කීවිට ඉක්කා වැටීම නවතී. ඇඟේ ඉන්නන් ආවිට සුවකර ගැනීමට ද කෙමක් ඇත.

තඹ සතයක් ගෙන ඉන්නන්ගේ අතුල්ලා එය රෙදි කැබැල්ලක ගැට ගසා දෙහිගහක ගැට ගැසීමෙන් ඉන්නන් සුව වේ.

පිස්සු බල්ලකු සපා කෑවිට අඟුනවැලක උතුරට ගිය මුලක් ගලවා එයින් කළං දොළහක් වතුර පත අට එකට සිඳුවා පානය කිරීමෙන් පිස්සු බලු විෂ නැසෙන බව ගැමියෝ විශ්වාස කරති.

ඇතැම් කෙම් සඳහා ගන්නා ඖෂධ වර්ගවල නම් රහසක් වශයෙන් තබාගෙන වෙදකම් කිරීමද තවත් කෙම් ක්‍රමයකි. අධික ලේ ගැලීමක් සිදුවන විට වෙද මහතා අදාළ ගස හෝ වැල ළඟට ගොස් එයට වැඳ මේ ගසේ ඇති ඖෂධ බලයෙන් ලේ ගැලීම නවතීවායි ප්‍රාර්ථනා කොට ඒ ගසේ ලා දල්ලක් පහත් කොට කඩාගෙන අතමිට මොලවා ගනී. දල්ල කඩන්නා හාම ලේ ගැලීම නවතින බව විශ්වාසයක් පවතී. තවත් කෙම් ක්‍රමයක් වන්නේ දූත ලක්ෂණ බලා ප්‍රතිකාර කිරීමය. මෙය සර්ප දෂ්ටනයේ දී සිදු කෙරේ. සර්පයකු දෂ්ඨ කිරීමේ පුවත රැගෙන එන දූතයා පළමුව ප්‍රකාශ කරන වචන කීපය අනුව දෂ්ටකර ඇත්තේ කුමන සර්පයා දැයි වෙද මහතා දැන ගනී. ඒ අනුව දූතයාට කම්මුල් පහරක් ගසා විෂ බස්සයි. දෂ්ට කළ සර්පයා අනුව කම්මුල් පහර ගැන තීරණය කෙරේ. දරු ප්‍රසූතියේදී උපයෝගී කර ගන්නා තවත් කෙමකි පොල් ගෙඩිය බිඳීම. ගර්භිණී මාතාව විළිරුදා විඳින විට ඇය සිටින කාමරයේ එළි පත්ත උඩ පොල්ගෙඩියක් තබා එකවරම එය දෙබෑ වීමට පිහියකින් කොටනු ලබයි. පොල්ගෙඩිය දෙබෑ වෙනවාත් සමඟම දරුවා ලැබෙන බව ගැමියෝ විශ්වාස කරති.

කක්කල් කැස්ස වැලඳුන විට සිදුකරන්නේ අමුතුම කෙමකි. කපුටන් නාන වේලාවක් බලා එතැනින් අපිරිසුදු වූ වතුර ගෙන ලෙඩාට බීමට දුන් විට කක්කල් කැස්ස සුවවන බව ගැමියෝ පවසති. සමහර ගස්වල වසර ගණනක් ගෙවුනත් ඵලදාව හටගන්නේ නැත. මෙම ගස්වලට දරුවන් ඇති අම්මා කෙනෙකු ලවා පිල්ල ඇති මෝල්ගසකින් හත්වරක් පහර දීමට සැළසිය යුතු ය. මෙය සෙනසුරාදා දවසක හිරු බැස ගිය විට සිදුකළ යුතු ය. ඉන්පසු එම ගසේ සරු ඵලදාවක් ඇතිවන බවට ද මතයක් පවතී. කකුලක් උලුක් වු විට එය නිඹුල් දරුවකු ලවා පෑගවීමෙන් සුවවන බව තවත් විශ්වාසයකි. කුඩා දරුවන්ට වැලඳෙන දෝෂයකි බාලගිරි දෝෂය. බාලගිරි නමැති යක්ෂයාගෙන් ඇතිවන බාලගිරි දෝෂය වැලඳුනු ළදරුවා නිතර හඬයි. මෙය වැළැක්වීම සඳහා “බාලගිරි දෝෂය අද නොවේ හෙටයි” යනුවෙන් ලියා ගෙදර දොරකඩ උළුවස්සේ අලවනු ලබයි. ළදරුවා ලෙඩ කිරීම සඳහා එන භූතයා “බාලගිරි දෝෂය අද නොවේ හෙටයි” යන දැන්වීම කියවා ආපසු හැරී යයි. හෙට දිනත් භූතයා පැමිණි විටද ඔහුට කියවන්නට ලැබෙන්නේ “බාලගිරි දෝෂය අද නොවේ හෙටයි” යන දැන්වීමය. ඔහු හැමදාම එනවිට දකින්නට ලැබෙන්නේ එයමය. එබැවින් කොපමණ දවසක් ආවත් ළදරුවාට ලෙඩ කිරීමට ඔහුට අවස්ථාව නොලැබේ. ඒ දැන්වීමේ ඇති හෙට දිනය කිසි දිනක උදා නොවන හේතුවෙනි.

මේ ආකාරයට මිනිසාටත්, සතුන්ටත්, ගහකොළටත් ඇතිවන ලෙඩ රෝග දෝෂ ආදිය සුවකර ගන්න කෙම් නමැති ගුප්ත ක්‍රමය ඈත අතීතයේ සිට අපරට ජනතාව අතර ප්‍රචලිතව පවතී. විද්‍යාවට හසුනොවන මෙම ප්‍රතිකාර ක්‍රමය තවත් ශතවර්ෂ ගණනාවක් අපරට ජනතාව අතර ආරක්ෂා වීම ඉරහඳමෙන් නොනැසී පවතී.

පී.ඒ. කපුරු බණ්ඩාර ආරච්චි

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.