පොතු කබර වගේම තොල් පැලීමත් සමේ රෝගයක්

ජනවාරි 28, 2022

 

මිනිස් සමාජයට තර්ජනයක්ව පවතින සමේ රෝග දිනෙන් දින වැඩිවන බව දක්නට ලැබෙන අතර මෙම සමේ රෝග සම මතුපිට විකෘතිතා ඇති කරයි. විවිධ චර්ම රෝග අතරින් බහුලවම දක්නට ලැබෙන චර්ම රෝග කිහිපයක් ගැන අපි අද විමසා බලමු.

චර්ම රෝගීන් බෙහෙවින්ම සමාජයේ පිළිකුලට ලක්වන හෙයින් මෙම රෝගීන් මානසික අසහනයට පත්වෙති. චර්ම රෝගවලින් ශරීරයේ අලංකාරය නැතිවන අතර නීරෝගිකම ආරක්ෂාවට මහත් තර්ජනයක් ද වන්නේ ය.

වර්තමානයේ වායුගෝලයට එකතුවන විකිරණ රසායන විෂ, කෘෂිනාශක, විෂ වායු ආදිය හේතුවෙන් හැදෙන චර්ම රෝග සම්බන්ධයෙන් සම ආරක්ෂා කර ගැනීමට හැම දෙනාම උනන්දු විය යුතු ය. සමේ අපිරිසුදුකම සහ සමට ස්පර්ශ වන කිලිටි රෙදිපිළි ආදියෙන් ලේ අපිරිසුදු වීම නිසා නොයෙක් චර්ම රෝග හටගැනීමට පිළිවන. සම මතුපිට ඇතිවන චර්ම රෝග කිහිපයක් පිළිබඳ අපි විමසා බලමු.

පොතු කබර

මෙය බෝවන රෝගයක් නොවුණත් සමේ අවලක්ෂණ ඇති කරයි. පොතු කබර නමින් සාමාන්‍ය ජනතාව හඳුන්වන මෙම රෝගයේදී සමේ තැනින් තැන කොරපොතු මෙන්ම ලප සෑදී එම පොතු ගැලවීම හා කැසීම සිදුවේ. බොහෝ විට මුළු ශරීරය පුරාම ඇතිවේ. හිසේ පමණක් ඇතිවන අවස්ථාද ඇත. එම නිසා හිස්සොරි යයි වරදවා තේරුම් ගෙන ප්‍රතිකාර කරන අවස්ථා ද ඇත.

බොහෝ විට මෙය පාරම්පරිකව ඇතිවේ. දෑතේ නියපොතු දෙපාවල නියපොතු, දිරායෑම සමඟ පැහැයේ වෙනස්වීමක්ද දැකිය හැකි ය. නිය පොතුවල සිදුරු මතුවේ. ඉක්මනින්ම නියපොතු කැඩී යයි. දණහිස වැලමිට වැනි සන්ධිස්ථානවලින් පටන් ගන්නා අවස්ථාද ඇත. ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු ය. මෙයට ප්‍රතිකාර කිරීමේ දී ආහාරපාන පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු ය.

හොරි

රාත්‍රී කාලයට කැසීම අධික මෙය විශේෂයෙන් ළමයින් අතර බහුලය. දෑතෙහි ඇඟිලි කරුවල සහ පාදයේ යටි පතුල්වලින් පටන් ගන්නා මෙම රෝගයට නිසි ප්‍රතිකාර නොලැබුණහොත් එය ආශි‍්‍රතව වර්ධනය වී ශරීරය පුරා පැතිරයන්නට පුළුවන. මෙයට ඉක්මනින්ම ප්‍රතිකාර ලබා ගත යුතු ය. ඒ සඳහා ඇත්තෝර කොළ කොටා මිරිකා යුෂ ආලේප කරන්න. මදටිය කොළ කොටා මිරිකා යුෂ ආලේප කරන්න.

දිනපතා ස්නානය කිරීම වැදගත් ය. රෝගියාගේ ඇඳුම් පැලඳුම් ඇඳ ඇතිරිලි, විෂබීජ නැසෙන පරිදි තම්බා තද හිරු එළියෙන් වියළාගත යුතු ය. පවුලේ වෙනත් අයටද මෙම රෝගය වැළඳීම වළක්වා ගැනීම සඳහා ද කටයුතු කළ යුතු ය.

සුදු කබර

සුදු කබර නමින් ජනයා අතර හඳුන්වන මෙම රෝගය ශරීරයේ තැනින් තැන සුදු පැහැති ලප මතුවන රෝගයකි. මෙහිදී ශරීරය පුරාම මේ රෝගය පැතිර යා හැකි ය. රෝගියා ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු ය. ආහාරපාන පිළිබඳව ඉතා සැලකිලිමත් විය යුතු ය. සබන් වර්ග පාවිච්චි කිරීම සුදුසු නැත. වෛද්‍ය ප්‍රතිකාර සමඟ පළාවර්ග, අලුත් පලතුරු, ධාන්‍ය වර්ග වැඩි වශයෙන් ආහාරයට ගත යුතු ය. රෝගියාගේ හිත සැනසීම සතුටෙන් තැබීම සුදුසු වේ.

ඉන්නන්

මෙය සම මතුපිට ඇතිවන ගැටිති විශේෂයකි. ඉන්නන් බෝවන හා බෝ නොවන වර්ග ඇත. මේවා ස්පර්ශයෙන් බෝවීම සිදුවේ. ඕනෑම තැනක ඉන්නන් ඇතිවිය හැකි ය. යටිපතුල්වල හිසකෙස් අතර ලිංගේන්ද්‍රයන් වැනි ඕනෑම තැනක ඇතිවිය හැකි ය. කූඩලු ඇට ඇල්දියෙන් අඹරා ගෑම මෙයට එක් පහසු ප්‍රතිකාරයකි.

දද

මෙහිදී ද කැසීම හටගනී. සැරව ගැලීම දියරයක් සම මතුපිට ගැලීම ඇතිවේ. දැවිල්ල හටගනී. ඇත්තෝර කොළ, කොහොඹ කොළ, ඇහැළ කොළ, අමුකහ තැම්බු වතුරෙන් සෝදා පිරිසුදු කළ යුතු ය. එමෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු ය.

උඳුගොව්වන් කෑම

මෙයද හිසේ ඇතිවන චර්මරෝග අවස්ථාවකි. සමහර අවස්ථාවලදී මුහුණ රැවුල කපනවිට එම ස්ථානයේ තැනින් තැන කෙස් ගැලවී ඇති බව පෙනේ. මෙයද ඉක්මනින් ප්‍රතිකාර කළ යුතු රෝගයකි.

අළුහම්

ශරීරයේ තැනින් තැන කැසීම් සමඟ හටගන්නා ලප විශේෂයකි. මේවා බොහෝ දුරට කෙනකුගෙන් තව කෙනකුට බෝවීමට පුළුවන. එම නිසා ඇඳ ඇතිරිලි, තුවා, ඇඳුම් පැලඳුම් ආදිය පරිහරණයේ දී පරිස්සම් විය යුතු ය. ප්‍රතිකාර ලෙස පේර කොළ ඇල්දියෙන් අඹරා අළුහම් ඇති ස්ථානවල තවරා විනාඩි 10 ක් පමණ අව්වේ සිට ස්නානය කළ යුතු ය. මෙලෙස දිනපතා සති දෙකක් පමණ මේ ප්‍රතිකාරය කළ යුතු ය. ඇත්තෝර කොළ, කොහොඹ කොළ ද මේ සඳහා සුදුසු වේ.

තොල් පැලීම

මෙයද ශරීරයේ උෂ්ණාධික තත්ත්වයක් පෙන්වන රෝගී අවස්ථාවකි. මෙහිදී ප්‍රතිකාර වශයෙන් කතුරුමුරුංගා කොළ, ගිතෙලින් බැද කෑම සුදුසු ය. තවද මී පැණි සමඟ ගොටුකොළ යුෂ පානය කිරීම ගුණදායකය.

අසාත්මිකතාව

දළඹුවන්, හැකරැල්ලන් වැනි විෂ සහිත සතුන් ශරීරයේ තැවරීම නිසාද මේ තත්ත්වය ඇතිවිය හැකිය. බොහෝ විට ආහාරපාන ඖෂධ ආදිය සිරුරට නොගැළපෙන අවස්ථා ඇත. මෙහිදී අසාත්මිකතාවයට තුඩුදුන් හේතු අනුව ප්‍රතිකාර කළ යුතු ය. සමහරවිට මල්වල පරාග සිඹීම මෙන්ම ශරීරයේ තැවරීම නිසාද මේ තත්ත්වය ඇති විය හැකි ය. දළඹු විෂට පොල්තෙල් ස්වල්පයක් අතුල්ලා ඒ ස්ථානයේ පිරිමැදිය යුතු ය.

ආහාර අසාත්මය වූ විට එයට ප්‍රතිකාර වශයෙන් තැඹිලි පොල්කොළ කපා පොල්කටු අඟුරු මත තබා එයට කොහොඹ තෙල් වක්කර එයින් නැගෙන දුම ශරීරයට ඇල්ලිය යුතු ය. එමෙන්ම අසාත්මය වූ ආහාර නැවත නොගත යුතු ය.

විශේෂයෙන් බලයන්, කෙළවල්ලන්, ඉස්සන්, කකුළුවන්, දැල්ලන් වැනි උෂ්ණාධික මාළු වර්ගද හරක් මස්, ගෝණ මස් වැනි උෂ්ණාධික මස් වර්ගද අඹ, අච්චාරු, විනාකිරි, තක්කාලි වැනි ඇඹුල් ගතිය ඇති ආහාර වර්ගද නිතර නිතර අනුභව කිරීමෙන් අසාත්මිකතාවය ඇති විය හැකි ය.

 

උපදෙස්

දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ

ජාතික ආයතනයේ හිටපු අධ්‍යක්ෂ,

වෛද්‍ය දේවපි‍්‍රය අභයවර්ධන

වෛද්‍ය - ස්වර්ණා චන්ද්‍රලතා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.