යහපත් පුරුෂයකුගේ දේහ ලක්ෂණ

ජනවාරි 14, 2022

තද කළු පැහැති ඍජු කෙස් හිස පුරා ඝනව වැවී ඇත්නම් එම පුද්ගලයා ඉතා උසස් ගුණ ධර්මවලින් පිරිණ හැමවිටම නිදහස පි‍්‍රය කරන්නෙක් වෙයි.

 

සිනාවෙන් හෝ කතාවෙන් හෝ හඳුනාගන්නට බැරි මිනිසාගේ දේහ ලක්ෂණ තුළින් හෝ ඔහුගේ චරිතය හඳුනාගත හැකිනම් අපිට ඔහු හා කටයුතු කිරීමට වඩාත් පහසුවෙනු ඇත. අතීතයේ විසූ අපේ පැරණි ඍෂිවරු එක් එක් පුද්ගලයන්ගේ ශරීරයේ පිහිටි විවිධ අංග ලක්ෂණ අනුව ඔවුන්ගේ චරිත ස්වභාවයන් පිළිබඳව විවිධ අනාවැකි පැවසීමට සමත්වූහ. අපේ පැරණි දේහ ලක්ෂණ විද්‍යා පොත පත කියවීමෙන් මෙය මනාව පැහැදිලි වෙයි.

 

පිරිමියකුගේ දේහ ලක්ෂණ පිළිබඳව සැලකීමේදී හිසේ හැඩය, හිසකෙස්, මුහුණ,නළල, ඇස්දෙක, ඇහිබැම, නාසය, නිකට, දෙකන්පෙති, රැවුල, උරහිස්, පපු ප්‍රදේශය ආදිය වඩා වැදගත් වෙයි. පිරිමියකුට ආවේණික වූ චරිත ස්වභාවයන් ඉහත සඳහන් අංගවලින් විද්‍යමාන වෙයි.

තද කළු පැහැති ඍජු කෙස් හිස පුරා ඝනව වැවී ඇත්නම් එම පුද්ගලයා ඉතා උසස් ගුණ ධර්මවලින් පිරිණ හැමවිටම නිදහස පි‍්‍රය කරන්නෙක් වෙයි. උසස් අධ්‍යාපනයකට හිමිකම් ලබන ඔහු ප්‍රතාපවත් පුද්ගලයකු ලෙස සමාජයේ කැපී පෙනෙයි. යුක්තිය, සාධාරණත්වය අගය කරන මොවුහු අසාධාරණත්වය හමුවේ දැඩි ලෙස කෝප සහගත වෙයි. මෙවැන්නෝ වයස් ගතවන විට මහා උගතුන් ලෙස ප්‍රසිද්ධ වෙති. වාද විවාදවලට වැඩි කැමැත්තක් නොදැක්වුවත් තම අදීන නිවහල් අදහස් ප්‍රකාශ කිරීමට කිසිවිටකත් මැළි නොවෙති.

රැලි හිසකෙස් ඇති පුරුෂයෝ කලාත්මක අංශයට වැඩි නැඹුරුතාවයක් දක්වති. දැඩි ස්ත්‍රී ලෝලිත්වයෙන් හෙබි ඔවුන් පරාර්ථකාමි බවින් යුක්තය. අනුන්ගෙන් තමන්ට යමක් ලැබුණත් තමන්ගෙන් කිසිවක් අන් අයට දීමට මැළිකමක් දක්වති. සිත්ගන්නා කඩවසම් පෙනුමක් උපතින්ම ඔවුනට දායාද වී ඇති බැවින් ස්ත්‍රීහු බොහෝ විට මොවුන්ගේ ඇසුරට යොමුවෙති. මේ නිසා ඔවුන්ගේ විවාහ ජීවිතය ද බොහෝ විට අවුල් සහගත වෙයි. හේතුව ඔවුන් අනියම් සම්බන්ධතා පවත්වා ගත යාමය.

ඉදිරිපස කෙස් ගැලවී ගොස් තට්ටය පෑදුන පුද්ගලයන් ඔබ කොතෙකුත් දැක ඇති. කපටිකමින් අනූන මෙවන් පුද්ගලයෝ තමන්ගේ සිතැඟි දේවල් හෝ අදහස් නම් සමීප හිතවතකුට හෝ ප්‍රකාශ නොකරයි. සැඟවුණ රහස් මොවුන් තුළ පවතී. පිටතට පෙන්වන ගති ලක්ෂණ හදවත තුළ නොමැත. තද ඊර්ෂ්‍යාව ද මොවුන් තුළින් කැපී පෙනෙන අතර අන් අය තමන් අභිභවා යනවා දැකීමට ද කැමැති නොවේ. තම මිතුරාගේ තබා තම සහෝදරාදීන්ගේ පවා දියුණුව වෙනුවෙන් වෙහෙසීමට වැඩි කැමැත්තක් නොදක්වති.

හිසෙහි පසුපස කෙස් ගැලවී ඇති අය මෝඩ බවක් පෙන්නුම් කරයි. මෙවැනි පුද්ගලයෝ කීර්තිය හා නම්බුනාමවලට ඇලුම් කරති. මෙවැනි අය ගත කරන්නේ නිහඬ ජීවිතයකි. මොවුන්ගේ විවාහය ද පමාවෙන අතර එය ද අවුල් සහගත වෙයි. බෙහෙවින්ම මෙම පුද්ගලයන්ගේ භාර්යාවෝ අනාචාරයට පෙලඹෙති. නෑදෑ හිතමිතුරන්ට ළැදි නමුත් ඔවුන්ගෙන් ඔවුන්ට ලැබෙන ප්‍රයෝජන අඩුවේ. දියවැඩියාව, හෘදයාබාධ , අංශභාග වැනි රෝග ජීවිතයේ අවසාන භාගය තුළදී වැලඳිය හැකිය.

කන් දෙක පිහිටා ඇති ආකාරය අනුව ද අනාවරණය කර ගත හැකි තොරතුරු ද අපමණය. උසස් තනතුරු ගෞරව සම්මානයන්ගෙන් පුද ලබන පුද්ගලයන්ට පස්සට ගිය ආකාරයේ කන් පිහිටන බව කියැවේ. හැසිරීමෙන් හා කතාවෙන් අන් අය තමන් වෙත නම්මවා ගැනීමේ පුදුම දක්ෂතාවක් ඔවුන් තුළ සහජයෙන්ම පිහිටා ඇත. නිදසුනක් ලෙස සම්භාවනීය රාජ්‍ය නායකයන් දැක්විය හැකිය. මොවුන් තුළින් එවැනි කර්ණ ලක්ෂණයක් දැකිය හැකිය.

ඉදිරියට නෙරාවිත් පිහිටන කන් දෙකින් පෙන්නුම් කරන්නේ අනුන්ගේ දේවල් කඩා වඩාගෙන තම බඩ වඩා ගන්නා පුද්ගලයෙකු බවය. වහා වෙනස්වන සුළු අදහස් දරන මෙවැන්නෝ තමා එල්බගෙන සිටින මතයේම එල්බගෙන සිටිති. මෙවැනි අය පරිස්සමින් ඇසුරු කළ යුතුය. යම් පුරුෂයකුගේ කන් මත රෝම පිහිටා තිබේනම් එය ශුභ ලක්ෂණයක් ලෙස දේහ ලක්ෂණ විද්‍යාවේ සඳහන් වේ. අයුක්තිය අසාධාරණය හමුවේ නැඟී සිටින මෙවැනි පුද්ගලයින් නීතිය අකුරටම පිළිපදියි. අනුන්ගේ දුකෙහිදී මහත්සේ කම්පාවට පත්වෙන මොවුහු මනා හැදියාවකින් සහ ඉතා සංවර විනීත ගති පැවතුම්වලින් යුතු අය වෙති. එල්ලෙන්නාවූ මස් සහිත කර්ණයන් ඇතිවීම ද රාජ ලක්ෂණයක් ලෙස කියැවේ. ගිරා හොටයක් හා සමාන වූ නාසයක් ඇති වටකුරු මුහුණක් සහ දෙතොල ලස්සන මහතින් ද යුක්ත වූයේ නම් එම පුරුෂයා ද මහා භාග්‍යවන්තයකු බව සඳහන් කර ඇත. මෙවැන්නන්ට ජන්මභූමියේ රාජ්‍යත්වයට (අගමැති ජනාධිපති වැනි) පවා පත්වීමට ඉඩ ඇත. පැවිදි වුවහොත් මාර්ගඵල ලබන්නාවූ අයෙක්වෙයි.

උස්වූ විශාල සක් බෙල්ලකුගේ ආකාරයේ කර්කශ වූ නළල් තලය දිළිඳු භාවය ප්‍රකාශ කෙරෙන අතර වැඩී යන ස්වභාව ඇත්තාවූ නළල ධනවත්භාවය පෙන්නුම් කරයි. යමකුගේ නළල් තලයේ රේඛා තුනක් පිහිටියේ නම් හේ වඩාත්ම වාසනාවන්ත වේ. පුත්‍රයන් හා ධනයෙන් පරිපූර්ණව අනූ වර්ෂයක් පමණ ආයුෂ හිමිවීමට හේතුවෙයි. වටවූ නළල් තලය සුබ නොවන අතර දුක්ඛිත භාවය එමගින් පෙන්නුම් කෙරේ.

ඇහිබැම එකට යාවී ඇති පුරුෂයෝ නිහඬ ජීවිත ගත කරන අය වෙති. සාමාන්‍යයෙන් ඇහි බැමි දෙක වෙන් වෙන්ව පිහිටන පිරිමි ද කලාතුරකින් දැකිය හැකිය. මොවුන් ඉගෙනීමට අදක්ෂ වන අතර ඉගෙනීම අතරමගදී අතහැර ව්‍යාපාර අංශයට නැඹුරුවෙති. ස්ත්‍රී පක්ෂයට වැඩි ළැදියාවක් දක්වන ඔවුන් රහසිගතව කාමුක ක්‍රියාවල යෙදෙනු ඇත.

මුහුණෙහි රැවුල වැවෙන සෑම ස්ථානයකම ඝන ලෙස රැවුල වැවෙන පිරිමි බොහෝවිට කරුණා වන්තයෝ වෙති. ගොරෝසු රළු පුද්ගලයන් ලෙස පිටතට පෙනුණත් මොවුන් උණුවෙන හදවතක් ඇති අඹුදරුවන්ට ද ඉතාමත් ආදරයක් දක්වන අය වෙති. වචනයෙන් දරුණුකමක් පෙන්නුවද ක්‍රියාකාරි නොවේ. යුතු අයුතුකම් හොඳින් දන්නා මොවුන් ඇසුරු කිරීමට යෝග්‍ය මිතුරෝ වෙති.

දෙකට බෙදී ගිය නිකට ඇති පිරිමින් ද ඔබ බොහෝ විට දැක ඇත. ඉතාමත් අරපරිස්සමින් යුතුව ජීවත් වෙන මොවුහු කුමන ක්‍රමයකින් හෝ ප්‍රසිද්ධියට පත්වන්නාහ. කීර්තිමත් ව්‍යාපාරිකයන්ට ද බොහෝ විට එවන් නිකටක් පිහිටනු ඇත. පළල් නිකටින් ප්‍රදර්ශනය ද වන්නේ ධෛර්යමත් පුරුෂයෙකි. ආත්ම විශ්වාසයකින් යුතුව ක්ෂණික තීරණ ගන්නා ඔහු අටලෝ දහමින් කම්පා වන්නෙක් ද නොවේ. චතුරස්‍රාකාර හැඩයෙන් යුත් දිගටි නිකටක් පිහිටන්නේ නිර්භීත පුරුෂයන් වෙතය. මුහුකුරා ගිය බුද්ධිබලයක් ඇති එවැන්නෝ ජීවිතය දෙස සර්ව සුබවාදී ලෙස බලන්නෝය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.