ඔබට හිමි දරුවන් ගැන කියන දරුඵල රේඛා

ජූලි 23, 2021

විවාහ ජීවිතයට එළැඹුණ යුවලකගේ එකම ආශාව බලාපොරොත්තුව වනුයේ දරු සම්පතක් පිළිබඳවයි. මානව වර්ගයාගේ පැවැත්මට මෙන්ම ක්‍රමික විකාශනයද සිදුවනුයේ දරුවාගේ පැවැත්මෙනි. සමහරු දරුවන් නැතිව පසු තැවෙති. තවත් සමහරු බිහිවුණ දරුවන් නිසා දුක් විඳිති.

 

මේ හැම දෙයක්ම සිදුවනුයේ පෙර භවයේ තමන් කළ පින් පව් අනුවය. අපිට දරුවන් කවදා හිමිවේවිද, ලැබෙන දරුවන් වාසනාවන්ත අය වේවිද, මෙවැනි නොයෙක් සිතිවිලි නව යුවළකගේ මනස තුළ ඇතිවීම ස්වභාවිකයි. මෙවැනි ගැටලුවලට විසඳුම් ඔවුන්ගේ අත්වල පිහිටි දරුඵල රේඛාවලින් පැහැදිලි කරගත හැකි ය.

අත්ලක පිහිටන දරුපල රේඛා අත්ලේ ස්ථාන කීපයකින්ම හඳුනාගත හැක. දැන් අපි පළමුවෙන්ම විවාහ රේඛාවෙන් පෙන්නුම් කරන දරුඵල පිළිබඳව පරීක්ෂා කරමු. සුළඟිල්ලත්, හෘදය රේඛාවත් අතර ප්‍රදේශයේ විවාහ රේඛාවන් පිහිටා තිබෙන බව පසුගිය ලිපියෙන් ඔබ දැනුවත් වෙලා ඇතිනේ. එහෙම නම් දැන් ඔබේ අවධානය එම රේඛාවලට යොමු කරන්න. මේ සමඟ පළවන රූපසටහනින් එම රේඛාවල පිහිටීම තේරුම් ගත හැකිවේවි. එම රේඛාමත සුලඟිල්ල පැත්තට (උඩු පැත්තට) විහිදෙන සියුම් රේඛා දරුඵල රේඛා වශයෙන් බටහිර හස්ත රේඛා විශේෂඥයෝ හඳුන්වති. සමහර අයගේ මෙම රේඛා හෘදය රේඛාව පැත්තටත් විහිදිය හැකියි. දැන් ඔබ පළමුවෙන්ම එම ස්ථානයේ සටහන් වී ඇති දීර්ඝ හා සෘජු රේඛාවලින් පිරිමි දරුවන්ගේ ගණනත්, කෙටිවූ, ඇද වූ රේඛා තුළින් ගැහැනු දරුවන්ගේ දැනගත හැක. රූපසටහනේ දැක්වෙන ආකාරයට වමේ සිට දකුණට මෙම රේඛා ගණන් කළ යුතු ය. මේ අනුව කුළුඳුල් පිරිමි දරුවා හෝ ගැහැනු දරුවා වෙනුවෙන් වැටෙන රේඛාව පිටි අල්ල පැත්තෙන් මුලටම පිහිටන බව දැනගන්න.

විවාහ රේඛාවට අමතරව දරුඵල පිළිබඳව සටහන්වන තවත් ස්ථාන කීපයක්ම අපේ අත්ලේ දැකිය හැකියි. මහපට ඇඟිල්ලත් එක ස්ථානයක් වේ. මහපට ඇඟිල්ල මුල මහපටගිල්ල හා සිකුරු මණ්ඩලය වෙන් කරන රේඛාව පිහිටලා ඇති. යවාකාර (වී ඇට ලකුණු) වී ඇට මාලයක් ලෙසින් එය පිහිටා ඇති බව රූපසටහනින් පෙනෙනවා ඇති. එහි දිස්වෙන ලොකු වී ඇට ලක්ෂණවලින් පිරිමි දරුවන්ගේ ගණනත් පුංචි වී ඇට ලක්ෂණවලින් ගැහැනු දරුවන්ගේ ගණනත් තීරණය කළ යුතුයි. මෙම රේඛා ගණන් කළ යුත්තේ උඩ සිට පහළටයි. පැහැදිලි ලක්ෂණවලින් විශේෂ දියුණුවක් ලබන දරුවන් ගැනත් නොපැහැදිලි ලක්ෂණවලින් දියුණුවෙන් අඩු දරුවන් ගණනත් ප්‍රකාශ වෙයි.

දරුවන් ගැන සටහන්වෙන තවත් ස්ථානයක් තමයි සුලඟිල්ලේ තුන්වෙනි පුරුක. එම පුරුකේ කෙලින් අතට විහිදෙන සියුම් රේඛාවලින් ද දරුඵල ගැන අනාවැකි පැවසිය හැකි බව හස්ත රේඛා විශේෂඥයෝ සොයා ගෙන ඇත. එහිදී ද එම රේඛාවල ප්‍රබල හෝ දුබලතා අනුව පිරිමි, ගැහැනු දරුවන් පිළිබඳව තීරණය කළ යුතු ය.

අතේ මැද ඇඟිල්ලේ මැද පුරුකට අයිති කොටසද දරුඵල පිළිබඳව අනාවැකි කිව හැකි තවත් ස්ථානයකි. මෙම පුරුකට අයිති කොටසේ ද සියුම් රේඛා ඇත්තේ නම් එම රේඛා ගණනය කර තමන්ට හිමිවන දරුඵල ගණන නිශ්චය කරගත හැකි ය.

මහපට ඇඟිල්ල පහළින් සිකුරු මණ්ඩලයමත වැටෙන කෙටි රේඛා සලකුණු ඔබ දැන් නිරීක්ෂණය කරන්න. එහි දැක්වෙන ගැඹුරු හා ශක්තිමත් රේඛාවලින් පිරිමි දරුවන්ගේ ගණනත් දුර්වල සියුම් රේඛාවලින් ගැහැනු දරුවන්ගේ ගණනත් තීරණය කරගත හැක. මෙම රේඛාද උඩසිට පහළට ගණන් කළ යුතු ය. මෙම සියලු දරුඵල රේඛාමත කළුලප හෝ දූපත් සලකුණු පිහිටීමෙන් අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් යුත් දරුවන් බිහිවන බවත් දැනගත යුතු ය.

එකම ස්ථානයකින් දරුඵල රේඛා දෙකක් ගොඩනැඟුණොත් නිවුන් දරුවන් ය. දරුඵල අනාවැකි පැවසීමේ දී පළමුවෙන්ම මතකයේ තබාගත යුතු දෙයක් නම් සිකුරු මණ්ඩලයත් පරීක්ෂා කිරීම ය. අතේ දරුඵල රේඛා පිහිටා තිබුණත් සිකුරු මණ්ඩලය දුර්වල නම් දරුඵල නොලැබිය හැකි ය. එම ස්ථාන බලවත් නම් (පිරුණු බවින් යුතු) අනිවාර්යයෙන්ම දරුඵල හිමි වේ. එමෙන්ම හෘදය රේඛාවෙ කෙලවර ඉදල් ආකාර සලකුණක් ඇතිනම් එබැනි ලකුණක් ඇති ගැබිනියත් ප්‍රවේශම් විය යුතු ය. දරුවන් බිහිකිරීමේ දී ජීවිත හානි ද විය හැකි ය. මේ අයුරින් අඹු සැමි දෙදෙනාගේම අත් ලකුණු පරීක්ෂා කිරීමෙන් නිවැරදිවම දරුඵල ගණන නිගමනය කළ හැකි බව ඔප්පු වී ඇත. දරුඵල රේඛා ඉතා සියුම්ව පිහිටා ඇති බැවින් බොහෝවිට පියවි ඇසට නොපෙනෙන්නට පුළුවන. මේ නිසා කුඩා දේ විශාල කර පෙන්වන කැඩපතකින් පරීක්ෂා කළ යුතු ය.

 

හිඹුටානේ

පියතිලක ද අල්විස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.