ස්වසන පද්ධතිය ආශි‍්‍රතව හටගන්නා ඇදුම රෝගය

අප්‍රේල් 30, 2021

රථවාහනවලින් නිකුත් කෙරෙන දුම් ඕසෝන් වායුව පෙනහලුවල ක්‍රියාකාරීත්වය අඩාල කිරීමට පවා ප්‍රබලය. මීට අමතරව පරාග මල් රේණු, පූස් සත්ත්ව ලොම් දූවිලි, හුණු කුඩු හා වාතයේ ඇති වෙනත් ක්ෂුද්‍ර අංශු ද නාසය හා මුඛය ඔස්සේ පෙනහලු කරා ගමන් කොට ඇදුම රෝගී තත්ත්වය උත්සන්න කිරීමට පවා සමත් වේ. කැස්ස, හතිය හුස්ම ගැනීමේ අපහසුතාවය පපුව හිර කිරීම වැනි රෝග ලක්ෂණ ඇදුම රෝගයේදී පෙන්නුම් කෙරේ. රෝගය උග්‍රවූ අවස්ථාවේදී රෝගියාගේ ගත අඩපණ වී කතා කිරීමට පවා නොහැකි තත්ත්වයට පත්වේ.

 

ප්‍රභේද පහකින් සමන්විත වූ මෙම රෝගය ශුද්ධාශ්වාසය, මහාශ්වාසය, චින්නප්ශ්වාසය, උර්ද්ව ශ්වාසය හා තමක ශ්වාසය යනුවෙන් ආයුර්වේදයේ හඳුන්වා ඇත. මානසික හා ශාරීරික වේදනාවට පත් කෙරෙන ඇදුම රෝගය රෝගියාට පමණක් නොව අන් අයට ද මහත් දුකක් වේදනාවක් ගෙන දෙන රෝගයකි. රෝගී දරුවකුට හෝ වැඩිහිටි රෝගියකු රෝගය හටගැනීමෙන් හුස්ම ගැනීමේ අපහසුවෙන් රෝගියා විදින වේදනාව කිසිදු අයකුට බලා සිටිය නොහැකිය. එය සිත කම්පාවට පත් කරන තත්ත්වයකි.

තවද ඇදුම ඇදීම ස්වාතය මුහ රෝගය සහ තමකශ්වාසය නමින්ද හැඳින්වෙන මෙම රෝගය උපතේ සිට මරණය දක්වාම ඇති ඕනෑම අවස්ථාවක වැළදිය හැකිය. ශ්වසන පද්ධතියට අයත් නාසය නාස්කුහරය , ශ්වාසනාලය අනු ශ්වාසනාලිකා පෙනහලු කුහරයන පෙනහලු ගර්භ ආදී කොටස් ඇදුම රෝගයේදී මහත් පීඩාවට පත්වේ. මෙහිදී ස්වාසනාල පටුවීම පෙනහලු තුළ පවතින සෙම ගණවීම ආදි හේතුන් නිසා හුස්ම පිටකිරීමට හා හුස්මගැනීමට අපහසුවේ. අද සමාජයේ බොහෝ දෙනකුට මෙකී රෝගය වූ ඇදුම වැළදී ඇත්තේ පාරම්පරිකව හා නොසැළකිලිමත්භාවය නිසාය. ඇදුම රෝගය තාත්තාගෙන් පුතාටත්, පුතාගෙන මුණුපුරාට හා මිණිපිරියටත් වශයෙන් රෝගය පරම්පරා ගත වී ඇත. එහෙත් ඒ හැම දෙනාටම නුවූවත් රෝගය දෛනික ජීවිතයේදීත් ඇදුම වැළඳීම කඩිනම්ව සිදුවේ. බොහෝවිට ඇදුම රෝගය දුම් දූවිලි සහිත පරිසරයක සිට රැකියාවේ නිරතවන අයට බෙහෙවින්ම වැළඳේ. සත්ව ගොවිපළවල, ලී මෝල්, කොහු මෝල්වල, මාර්ගවල සේවයේ නියුතු අයට ගල්මෝල්වල හා රසායනික ද්‍රව්‍ය ආශි‍්‍රතව රැකියාවේ නියුතු අයට පහසුවෙන්ම රෝගය වැළඳේ.

අධික මත්පැන් පානය අධික දුම්පානය නිදිවැරීම නිතර නිතර වායුසමීකරන කාමර තුළ සිටීම ඇඟලුම් කර්මාන්තශාලාවල රැකියාවේ නිරත වී සිටීම මෙන්ම කෘත්‍රිම ආහාරවර්ග ශීත කළ ආහාර වර්ග නොදිරවන ආහාර වර්ග ගැනීමත් රෝගය වැළඳීමට අවස්ථාවක් වේ. විශේෂයෙන් අධික දුම් පානය ඇදුම රෝගයට කෙළින්ම බලපාති. දුම් වැටියේ පවතින නිකොටින් තාර වැනි අංශුන් පෙනහලු ගර්භය තුළ තැන්පත් වීමෙන් හුස්ම ගැනීම අපහසු වේ. එහිදී පවතින විෂ වර්ග ද ඇදුම රෝගයට හේතු වේ. නිවසේ සුරතලයට ඇති කරනු ලබන බල්ලන් , බළලුන් හා කුරුල්ලන්ගේ ඇඟෙහි පවතින දුවිලි හා සිනිඳු ලොම් ආග්‍රාණය කිරීමෙන් ද රෝගය හටගනී .යම් යම් හේතුන් මත ඇතිවන මතබේද කෙරෙහි ද නිතර නිතර කල්පනා කිරීමෙන් ද රාත්‍රි කාලයේ ශීත ජලය ස්නානය කිරීමෙන් ද වැස්සට, පින්නට අසුවීමෙන් ද රෝගය හට ගැනීමට හේතුවේ. සුළු සුළු අසනීපවලදී සමහරුන් ඖෂධ වෙළඳ සැල්වලින් හිතුමතේට පෙති කරල් ගෙන බීමට පුරුදුව සිටිති. වෛද්‍ය උපදේශකයකින් තොරව සිදු කරෙන ඒවායින් නොයෙකුත් ප්‍රශ්න මතුවිය හැකිය. එම බෙහෙත් ශරීරයට විෂ විය හැකිය. එයද ඇදුම රෝගයට හේතුවක් විය හැකිය. දීර්ඝ කාලයක් පීනස් රෝගයෙන් පෙළීම හේතුව ද ඇදුම රෝගයට කරුණු යෙදේ.

නිතර හට ගැනෙන සෙම්ප්‍රතිශ්‍යාව සෙම්ගෙඩි හා සෙම් අමාරු ගැන ද මුලින්ම අවධානය යොමුකොට ප්‍රතිකාර ගත යුතුය. ඇදුම රෝගියකුට නිරන්තරයෙන්ම කැස්ස ඇතිවන අතර දහවල් කාලයට වඩා රාත්‍රී කාලයේදි නොකඩවා කැස්ස ඇතිවීමෙන් මහත් පීඩාවට පත්වේ. නින්දෙන් අවදිවූ අවස්ථාවේදී ද කැස්ස හටගනී. ඇතැම්විට වියළි කැස්ස මෙන්ම සෙම් සහිත කැස්ස ද ඇතිවේ. සෙම ගණකමට පොදියට පිටවූ විට යම් සහනයක් රෝගියාට දැනේ. දුම්, දූවිලිවලට යොමුවුවහොත් අධික ලෙස කිවිසුම් යාම ඇතිවේ. එවිට පපුවේ වේගය අධිකවන අතර කථා කිරීමේ අපහසුවක් ද ඇතිවේ. එවැනි අවස්ථාවලදී ළඟසිටින අය නුරුස්සන ගතියක් ද පවතී. රෝග තත්ත්වය උත්සන්න වීමෙන් තොලකට උගුර වියළී යයි. මුඛයෙන් හුස්ම ගැනීම ද වැඩිවේ. ඇදුම රෝගියකුට නිසි ලෙස ප්‍රතිකාර ලබා දිය යුතුය. ප්‍රතිකාර ලබාදීම පසු කිරීමෙන් රෝගියා වේදනාවෙන් දැඩි මානසිකත්වයට පත්වේ. සමහර වෛද්‍ය ප්‍රතිකාර මඟින් පෙන්වාදී ඇත්තේ ඇදුම රෝගය සුවකළ නොහැකි බවයි. නමුත් දේශීය මෙන්ම ආයුර්වේද ප්‍රතිකාරවලින් රෝගය සම්පූර්ණයෙන්ම සුවපත් කළ හැකිය. ඇදුම රෝගයට රෝගියා අපහසුතාවයට පත් නොවන අයුරින් ප්‍රතිකාර කළ යුතුය. ඒ සඳහා දෙනු ලබන ස්වාසරාජ කල්කය හා පැණිය රෝග සුවයට බෙහෙවින් බලපායි.

ඇදුම රෝගියකුට ආහාරපාන ලබාදීමේදී සැළකිලිමත් විය යුතුය. තිරිඟු, කිරිඅල වැනි පිෂ්ඨය බහුල ආහාර බණ්ඩක්කා , අලුපුහුල්, තක්කාලි, නිවිති ,අර්තාපල් ආදී එළවළු, අන්නාසි , වැල්දොඩම් වැනි පලතුරු ද, ඉස්සෝ, දැල්ලෝ, පොකිරිස්සන් , කකුළුවෝ බලයෝ ,හුරුල්ලෝ වැනි මාළු වර්ග ද ඌරුමස් , හරක් මස්, වැනි මස් වර්ගද අයිස් පැකට්, ශීත කළ ආහාර වර්ග ද කෝඩියල් වැනි බීම වර්ග ද රෝගියාට බෙහෙවින් අහිතකරය. සුදුසු ආහාර රෝගියාගේ රෝගී තත්ත්වය අනුව ප්‍රතිකාර ලබාදෙන වෛද්‍යවරයා විසින් නියම කරනු ඇත. ඒ අනුව කටයුතු කළ යුතුය. ඇදුම රෝගයෙන් පෙළෙන රෝගියා මානසික වශයෙන් මහත් පීඩාවට පත්ව සිටින අයෙකි. මේ නිසා අධික කේන්තිය නොරිස්සුම් ගතිය හා ක්ෂණික කෝපයෙන් පෙළේ. ඔහුට අවශ්‍යවන්නේ නිදහසේ සිටීමට ය. අන් අය කියන කරන දේ රෝගියාට නොරිස්සීම නිසා තද බල කේන්තියෙන් පසුවේ. මේ නිසා ඒ ගැන අන් අයගේ අවධානය යොමු කළ යුතුය. තවද ඇදුම රෝගියාට ප්‍රතිශ්‍යාව පපුවේ රුම් රුම් ගාන ශබ්දය, අධික පිපාසය, උගුර කැසීම, සෙම පිට කිරීම , කථාව අපහසුවීම, නින්ද නොයෑම, නළලට දහඩිය දැමීම ආදි රෝග ලක්ෂණ ද පෙන්නුම් කෙරේ. මෙහිදී පාසල් දරුවන් කෙරෙහි වඩාත්ම සැළකිලිමත් විය යුතුය.

දරුවන්ව ශීත කළ ආහාරවර්ග, අයිස්බීම පැකට්, පිටිවලින් සෑදූ කෑම, අධික ලුණුූ යොදා සකස් කරනු ලබන පැකට් කෑම, අච්චාරු හා විනෝද ක්‍රීඩාවලදී ආග්‍රහණය වන දූවිලි, රටහුණු කුඩු ද වේ. සතුන් කුරුල්ලන් නාසයට ළංකර ගැනීමත් නොකිරීමට දරුවන්ට කියා දිය යුතුය. දරුවන් ආරක්ෂා කර ගැනීමෙන් රෝගාබාධවලින් වළක්වා ගත හැකිය.

 

බත්තරමුල්ල, පැලවත්ත, රාජපුර වෙද මැදුරේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත්.එම්.පී. රාජපුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.