ගණ පිහිටුවා නමක් තබන්න

මාර්තු 25, 2022

 

දරුවෙක් ඉපදුනාම මංගල්‍ය බොහොමයක් තිබෙනවා. හිස්කෙකස් කැපීම, නමක් තැබීම, රන්කිරි කටගෑම මේ සියලල්ලම අපට මංගල්‍ය වෙනවා. වර්තමානයේ නම් මේවා ඉතා අඩුයි. නමුත් මේ සියල්ලම කරන්නෙ දරුවාගේ යහපත උදෙසා කුමන හෝ පදනමක් මත.

 

ජන්මියකුට නමක් තබනකොට නිවැරැදි පදනමක් මත නිවැරැදි අයුරින් කළයුතු වනවා. ඒ දරුවාගේ ජීවිත කාලය තුළම එක් වතාවක් පමණක් සිදුවන නිසාත් මුළු ජීවිතයටම බලපාන නිසාත්, සාමාන්‍ය දෙමව්පියන් මේ නම් තැබීම ගැන සවිස්තර නොදත් නිසා මින් ප්‍රයෝජනය ගන්නේ නැහැ. ඕනෑම දරුවෙක් උපදින කොට නැඟෙනහිර ක්ෂිතිජයෙන් උදාවන රාශිය ලග්නය වනවා වගේම අනිකුත් ග්‍රහ කිරණ ද එක්තරා රටාවකට ශරීරයට සාපේක්ෂව පහන් වනවා. මේ ග්‍රහ කිරණ මිනිස් ශරීරයට සාපේක්ෂ වන අන්දමට ජීවිතය සකස් වනවා. ජන්මියාට වඩා සමීප ග්‍රහ තාරකා වැඩි වශයෙන් ප්‍රතිඵල දෙනවා. ඡ්‍යොතිෂයට අනුව නම් තැබීම ක්‍රම දෙකකට කරනවා. ශාස්ත්‍රවන්තයෝ ජන්මියාව පරීක්ෂා කරල විශේෂයෙන් දේහ ලක්ෂණ පරීක්ෂා කරල නම් තබනවා. සිදුහත් කුමාරයා ඉපදුන දවසේ කළේත් මේකමයි. එසේ පරීක්ෂා කරල ‘සිද්ධාර්ථ’ කියල නම තැබුවා. ඒ නම හැදුවේ ‘ජල ගණයෙන්’ ඒ ගණයෙන් හැදුවාම ‘අර්ථය ඇති වැඩ කරන’ යන නාම අර්ඛ ඛාණ්ඩය හැදෙනවා. එහෙම කරන්න නුපුලුවන් වූ අවස්ථාවක ජන්මියා ඉපදුණ වේලාවට හැදූ ලක්ණයට නවාංශකයට, නැකතට, දවසට අනුව සුදුසු ගණය තෝරා නාමාක්ෂරවලට අනුව සුදුසු නමක් හදනවා. මෙසේ නාමාක්ෂර හදන කොට පළමුව උපන් නැකතටත්, දෙවනුව නවාංශකයටත් තෙවනුව ලග්නයටත් සිව්වැනුව දිනයටත් සාපේක්ෂව දරුවට සුදුසු නමක් තබනවා. ඒ වගේම පිරිමි දරුවෙක් නම් ලඝු අකුරු වැඩි කිරීමටත් ගැහැනු දරුවෙක් නම් හර අකුරු වැඩි කිරීමටත් නමේ මුල් අකුර පටන් ගැනීමටත් ඡ්‍යොතිර්වේදියා දක්ෂ වනවා. නමක් තැබීම මංගල්‍යයක් තමයි සිංහල අපට ‘ලෝවැඩ සඟරාව‘ කියල නම් තැබූ හැටි මතකනේ. බොහෝ අය හිතට ආ පළියට නම් දමනවා. වැඩිපුරම හින්දි නළු නිළියන්ගෙ නම් තමයි ගන්නේ. කිසිම අර්ථයක් නැතිව. හින්දි නළු නිළියෝ ඒ නම දමන්නෙ නිවැරදිව ඡ්‍යොතිෂය බලල. ඒ අය අපට වඩා ඡ්‍යොතිෂයට කිට්ටුයි. එහෙම නම් දාපු අය නමට අකුරු පිහිටවීමේ දී ගණ පිහිටවීම් බලවත් ව කරනවා. ඒක බලාගෙන අපේ අය ඒ කිසිවක් නොබලා ඒ නම් දාපු අපේ දරුවන් ලස්සන කාලෙදීම ජීවිතය නරක් කර ගන්නවා. ඉන්දියාවේ හොලිවුඩ් බොලිවුඩ් නම් ලස්සන වුණාට ලංකාවට හරියන්නෙ නැහැ. ඒ අයගෙත් අපගෙත් සූර්ය උදාව අංශක ගණනක වෙනසක් තිබෙන නිසා අපේ හැම දෙයටම ඒ වෙනස පවතිනවා. බටහිර රටවල වැඩි වශයෙන් පාවිච්චි කරන්නෙ ලඝු අක්ෂර ලංකාවේ හර අක්ෂර බලන්න ඒ නම් ව්‍යවහාර කරන ආකාරය.

අන්තෝනිස් ඇන්තනීස්, උනෙන්, ගිරිගෝරිස් ග්‍රෙගරිස් උනෙන් බටහිර ඇත්තන්ට, පෘතුගීසින්ට ලන්දේසින්ට අපේ නම් ව්‍යවහාර කරන්න බැරි නිසා මිස උපතින් නොවේ. පුරං අප්පු වෙනස් උනෙ නැහැ. ඒ අයට නම උච්චාරණය කරන්න බැරි නිසා ‘පුරං’ කිව්ව මිසක්. කෙනකුගේ ඉදිරි පැවැත්මට මේ නම් තැබීම බොහෝ සේ බලවත් වෙනවා. බාහිරයෙන් මෙය එච්චර ගණන් නොගන්නට නියම නමක් තැබීමේ දී ඡ්‍යොතිර්වේදියා බොහෝ පරිශ්‍රමයක් දරනවා. නමක් හදනකොට කලින් කිව් කරුණුවලට අනුව ගණ පිහිටීමක් නම් කරන්න අවශ්‍යම බව වගකීමෙන් ප්‍රකාශ කරනවා. ඒ දරුවගේ දියුණුව හා යහපත් දේ නිසාමයි. යහපත් උගත් දරුවෙක් හැදුණොත් රටත් සමාජයත් දියුණුවෙනවා.

ඕනෑම කෙනකුට අඩුම තරමින් නම් කොටස් දෙකක් හෝ තුනක් තැබිය යුතුමයි. වැඩිපුරම ව්‍යවහරික නමට මේ කරුණු ඇතුළත් කළ යුතු වනවා. බොහෝ අය ඇසූ පමණින් ශබ්ද රසය පමණක් ගැන සලකා නම් තබනවා. ඒක නිවැරදි නැහැ. දරුවා ටිකෙන් ටික වැඩි වියට පත්වීමේ දී සුදුසු නැති නමක් තැබීමෙන් එය දරුවාටම අයහපත ගෙනෙනවා. ස්වකීය වියදමට වත් මුදල් නැතිනම් ‘ධනපාල’ යන නාමය අසම්පූර්ණයි. නිතරම පවසන්නෙ මුසාවක් නම් ‘සත්‍යපාල’ නම අකැපයි. බුද්ධ ශාසනයේ පැවිදි වුණත් ‘දෙව්දත්’ යන නම ඔහුට අකැපයි. ජීවිත කාලයෙදිම පව් පුරවගත්තා.

ගණයක් හදන කොට කරුණු කීපයක් සම්බන්ධ වනවා. ලඝු අක්ෂර, හර අක්ෂර, ගුරු

අක්ෂර දීර්ග අක්ෂර කියා මූලිකව හඳුන්වනවා. මෙම අක්ෂර යොදා ‘ගණ’ අටක් හැදෙනවා. එනම් දිව්‍ය ගණ, භූමි ගණ, වායු ගණ, ආකාශ ගණ, ජල ගණ, චන්ද්‍ර ගණ, ගිනි ගණ, සූර්යය ගණ යනුවෙන් හැඳින්වනවා. මින් ගණ පහක් යහපත් වශයෙන් ද ගණ තුනක් අයහපත් ගණ වශයෙන් ද හඳුන්වනවා. විස්තරාත්මකව හැඳින්වීමේ දී දිව්‍ය ගණයෙන් දීර්ඝ ආයුෂද, භූමි ගණයෙන් සම්පත් ලැබීමද, වායු ගණයෙන් දේශාන්තර විසීම ද, ජල ගණයෙන් සියලු වැඩ සිදුකිරීමද, චන්ද්‍ර ගණයෙන් කීර්තිය ඇතිවීමද, ආකාශ ගණයෙන් අර්ථය නැතිවිම ද, ගිනි ගණයෙන් මරණ ඇතිවීම ද, සූර්යය ගණයෙන් රෝදුක් ඇතිවීම වැනි පලයන් ද සිදුවේ. මෙහිදී අයහපත් ගණ තුනක් ද යහපත් ගණ පහක් ද ඇති බව පෙනී යයි. මෙසේ ගණ පිහිටීමෙන් ස්වකීය ජන්මලාභියාගේ නිසි මහ දසාවේ අතුරු දසා කාලයට එකී ගණ පිහිටීමේ සුබපලයන් හෝ අශුභ පලයන් ලැබෙනව ඇත. “සිය පිං සිරින් සරු’ යන බුදු ගුණ කවිය වෑත්තෑවේ හාමුදුරුවන් නිර්මාණය කරනු ලදුව එකී කවිය වායු ගණයෙන් නිම කර ඇති නිසා උන්වහන්සේ ඉපදුන රටෙන් පිටව ගොස් වාසය කර එහිම අපවත් වූ බව කියැවේ.

නමකට අකුරු ගැනීමේ දී තවත් ක්‍රමයක් දක්වා ඇත. එනම් අක්ෂර වර්ග තුනකි. දෙවාක්ෂර, මනුෂ්‍යාක්ෂර හා අපාක්ෂරයි. දේවාක්ෂර යනු උදාහරණ වශයෙන් ඉ, ඔ, ට, ඩ, ත, ද, ල, ස, ව යන නාමාඅක්ෂරයි. මේවා ඉතා සුබ ඵල දෙන අක්ෂරයි. මධ්‍යම ඵල දෙන මනුෂ්‍ය අක්ෂර පහකි. එනම් උ, ප, බ, ග, හ සහ අපායාක්ෂර වශයෙන් 11 කි. ඒවා එ, ක, ය, ම, ර, ජ, අ, ණ, න, ලි, අං නම් වේ.

සාමාන්‍යයෙන් හර අක්ෂර ගැනීමේ දී එක් හර අක්ෂරයකට එක් වචනාංශයක් බැගින් ද ව්‍යවහාර කරයි. උදාහරණයක් වශයෙන් සෝම - සිරි මෙහිදී ඇත්තේ හර වචනාංශයක් හා ලඝු වචනාංශයකි. නම් හැදීමේ දී පෙර සෘෂිවරයන් වහන්සේලා මෙසේ පොත්වල ලියා ඇත.

ගුරුවෙනි අදින කුරු - සහ අගින් පෙරකුරු

ලඝුවෙනි නාදිනා කුරු - ගනෙක තියකුරු

යොදන සඳට එකතුවන ලෙසින ලුනුකුරු

අට ගණ ලකුණු දක්වමි බසින පෙරදුරු

නම් හැදීමේදී ගණ පිහිටීම කොපමණ අත්‍යවශ්‍ය ද යන්න පැහැදිලි වනවා ඇති. විශේෂයෙන් ස්වකීය ජන්මියාට නුසුදුසු ගණයකින් නමක් දැම්ම හා එය ව්‍යවහාර කිරීම නිසා ඔබට නොදන්වාම විපත ළඟා විය හැකි බව දැන් අවබෝධ වේ යැයි සිතමි.

මීට අමතරව ජන්මියාගේ ග්‍රහ අධිපතියා බුධ නම් දෙට නැකතත්, ගුරු අධිපති නම් බෙරණ නැකතත්, සඳු ග්‍රහයා නම් මුවසිරස නැකතත්, සිකුරු ග්‍රහයා නම් සියාවස නැකතත්, රවි ග්‍රහයා නම් පුනාවස නැකතත්, කුජ ග්‍රහයා නම් කැති නැකතත් සෙනසුරු නම් සා නැකතත් රාහු ග්‍රහයා අධිපතිත්වයදි සුවන නැකතට හිමි අක්ෂරවලින් නම් තැබිය යුතු බව පංචාංග ලිතේ මතයයි. (ඈපා පංචාංගය) වර්තමානව මෙම නම් තැබීම එතරම් විශේෂ කාරණාවක් නොවන ලෙස සැලකුව ද පෙර දවස මෙය ජන්මියකුගේ එක් විශේෂ මංගල්‍යයක් ලෙස සලකා කටයුතු කළ බව අවබෝධ වනවා ඇත. ව්‍යාපාරවලට නම් තැබීමක් ද කරනු ඇත. ඒ ව්‍යාපාර ලාභියා හෝ ලාභින්ගේ නැකතට හෝ නැකැත්වලට සීහුම්වන ලෙසටය. ප්‍රබල ග්‍රහයාගේ නැකැතට සීහුම් වන අකුරු ඉදිරියෙන් ද දෙවන තෙවන වශයෙන් ඒ ඒ නැකැත්වලට සීහුම් වන ලෙස නම් තැබීමෙන් ඒ ඒ ව්‍යාපාර වල ශීඝ්‍ර දියුණුවක් ලබා ගත හැකිය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.