කපුටු හඬින් කියන නිමිති

දෙසැම්බර් 13, 2024

කපුටා අපේ සමාජය හා බෙහෙවින් කියැවෙන, සම්බන්ධ වන ගෙදර දොර වත්ත පිටියේ සුලබ පක්ෂියෙකි. කපුටා සම්බන්ධ කර අප්‍රමාණ පිරුළු ද දැක්වෙයි.

“කපුටාට වණේ කැක්කුමක් නැතිලු” “කපුටාට කප්රුක නිවෙසක් නොවේලු”, “කපුටා තැඹිලි වල්ල උඩ වැහුවා වගේ”, “කපුටාගේ කටහඬ ගැන නරියා වර්ණනා කළා වගේ”, “කපුටා හැමෝගෙම මාළු කනවලු උගේ මාළු කන්න කෙනෙක් නැතිලු”, “කපුටා කාකා කියනවා මිසක් දේ දේ කියන්නේ නැතිලු”, “කපුටා සුදු පාටයි කිව්වා වගේ”, “කපුටු පිහාටුව කපුටන් හත් දෙනෙක් වුණාවගේ”, “කපුටු කූඩුවේ ඇතිදැඩි වුණත් කොවුලන්නේ නාදය අසන්නියන්ට මිහිරක්ලු”, “කපුටෝ සුරතුරේ වසයි ද”, “කපුටා කිව්වනේ” මේ ආදී පිරුළුවලින් ද පෙනී යන්නේ කපුටා පිළිබඳව මිනිසුන් තුළ පවතිනා ස්වභාවයයි. කපුටා කෙබඳු සත්ත්වයෙක් ද යන්නයි.

‘කාක්කා කිව්වහේ’ යන්නෙන් ගම්‍ය වන්නේ සිකුරටම, හරියටම, ස්ථිරවම යම් අනාවැකියක් කීම සම්බන්ධවයි. එසේ පිරුළ බලනවිට කපුටා නොවරදින අනාවැකි කියන පක්ෂියකු ලෙස නමක් දරන බව නිරායාසයෙන්ම පෙනී යයි. යම් ශාස්ත්‍රකාරයකු, අනාවැකි කියන්නකු හඳුන්වනවිට “ආ.. එයා ද එයා නියම වැඩකාරයා අකුරටම කියනවනෙ, හරියට කාක්කා කිව්වහේ” යි කියනු ඇසෙන්නට ඇත.

කපුටා අනාවැකිකාරයකු වන්නේ කෙසේද? ප්‍රධාන වශයෙන් කපුටාගේ නාදයත් කපුටාගේ පැහැරීමත් ඔස්සේ ඒ දැක්වෙයි. මෙය කෙතරම් ජන සමාජය හා කාවැදී ඇත්දයත් මේ නිසාම කපුටු ශාස්ත්‍රය නම් අනාවැකි ක්‍රමයක් ද බිහිව ඇත. අතීතයේ සිටම මිනිසාට හුරුවී තිබෙන කපුටු කතාවේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයන් විසින් සෙනසුරු ග්‍රහයාගේ වාහනය ලෙස කපුුටා දක්වනු ලබයි. සෙනසුරු ග්‍රහයා වනාහි අඩුම බලය ඇති ග්‍රහයා ලෙස සලකන අතර සෙනසුරු අපලය දුරුවීමට සෙනසුරාදා හතක් කපුටන්ට එළඟිතෙල් පාන්කඩය දීමේ සිරිතක් අපේ ජන සමාජය තුළ පවතියි.

කපුටු නාදය, හඬ අනුව කියැවෙන්නේ කුමක්දැයි බලමු

මෙහිදී විශේෂයෙන් කිවයුත්තක් වන්නේ කපුටු නාදයේ විලාසය, ශබ්දය, වේලාව, ස්ථානය නාද කරන වාර ගණන ආදී විවිධ කරුණු ඔස්සේ වෙනස් වෙනස් විවිධ පල දෙන බව පෙරනිමිති ශාස්ත්‍රඥයන්ගේ නිගමනය බවයි. කපුටාගේ නාදය ඇසුණු පමණින්ම ඵල කිව නොහැකි බවයි.

තම නිවෙස ඉදිරිපිට හෝ හොඳින් පෙනෙන ස්ථානයක සිට උදේ වරුවේ සාමාන්‍යයෙන් දහවල් එක පමණ වනතුරු කාලයේ දී “කරව්” ලෙසින් නාද කරන්නේ නම් එයින් අනිවාර්යයෙන්ම නිවෙසට ඥාතීන් පැමිණෙන බවයි. දහවල් දොළහට හාල් ගරන තැනට සමීපව කරව් ගෑවහොත් එදින දිවා භෝජනයට ඥාතියකු එන බව හඟවයි. හිමිදිරියේ හැඬිම අසුබය. දොරකඩ දිරාගිය අත්තක සිට නාද කරන්නේ නම් ඒ වනාහි මරණයක තොරතුරු අසන්නට ලැබීමේ පූර්ව නිමිත්තකි.

හිරු බැස යන අවස්ථාවේ වහල් පලේ හෝ නිවෙස අසල ගසක සිට හැඬීම ශෝකජනක පණිවුඩයක් ගෙන දෙන්නේ ය. උදය වරුවේ කිරි ගහක සිට හැඬීම ඉතා ශුභඵල ගෙන දෙන බව කියවේ. දුරබැහැර සිට හිත මිතුරන් හෝ නෑදෑයන් හෝ පැමිණීමේ සලකුණක් ලෙස පෙන්වා දෙයි.

කපුටා ගිනිකොන දෙස සිට බොහෝ සියුම් ලෙස හඬන්නේ නම් ඉතා හොඳයි. සෞභාග්‍යය ගෙන දේ. සියලු ජයග්‍රහණ ලබන්නේ ය. මිණිමුතු, මැණික් ආදී ලාභ ලැබේ. නිරෝගීභාවය, සැප සම්පත් යස ඉසුරු ලබාදේ. ගිනිකොන දෙස සිට කරනු ලබන කපුටු නාදය ගොරහැඩි, රළු කඨෝර ස්වභාවයක් ගන්නේ නම් එය ඉතා අසුබය. ලෙඩදුක් පීඩා, කරදර ඉතා ආසන්න බව හැඟවීමක්. ඒ මා අසා ඇති කවියක මෙසේ දැක්වෙයි.

“සියුම් හඬින් ගිනිකොන සිට හැඬුවා ද
ජයයි ගුණයි සිරියාවයි සැපයි සො ඳ
හැඬුම මැදින් රළු විදියට අසුබ සෙ ඳ
ලෙඩක් දුකක් ගැන නියමයි සැබෑ ලෙ ද

 

කපුටා වයඹ දෙස බලා නාද කරන්නේ නම් ඒ ආදර ප්‍රේම සම්බන්ධතාවලට ලක්වීමක් පෙන්නුම් කරන්නකි.

උදය වරුවේ දකුණෙන් හඬන්නේ නම් ඒ තමන් අපේක්ෂා කරමින් සිටි, බලාපොරොත්තුවෙන් සිටි වැදගත් තැනැත්තකු අනිවාර්යයෙන්ම පැමිණෙන බව කියාපෑමකි.

කපුටා ගෙදර හෝ ගෙදර මිදුලේ නාද කිරීම යම් ලාභ ප්‍රයෝජන, වාසි අත්පත් කර දෙන බව කියවේ. එසේම ගවයකුගේ පිට මත සිටිමින් නාද කරනු ඇත. එවිටද පෙර දැක්වූ ඵල ලැබේ.

සමහරවිට කුණු කසළ ගොඩක සිට කපුටා හඬයි. එහි ප්‍රතිඵල අසුබය. අවාසනාව ගෙන දේ. මඩ වගුරක සිට හැඬීම ද එම වළ අස්කරලයි. කපුටා නාද කළ විට ඒ අවස්ථාවේ දී සෙවණැල්ල පියවරවලින් මැන පියවර ගණන අනුව නිමිති විස්තර කෙරෙන ශාස්ත්‍රයක් ද ඇත.

කපුටු නාදය මෙන්ම කපුටන් පැහැරීම පිළිබඳ ජන සමාජයේ පවත්නා විශ්වාසය ද පුළුල් ය. ශරීරයේ යම් තැනකට කපුටා පැහැරුවේ නම් එහි පලාපල දැනගැනීමට බොහෝ දෙනා යුහුසුළු වෙති. පහරනු ලැබූ ස්ථානය මෙන්ම කපුටු වසුරුවල පැහැය ද අනුව ඵලාපල විවිධය.

කපුටෙක් හිසමතට කළු පැහැයෙන් පැහැරීම ඉතා නරක අයහපත් දුර්භාග්‍ය කාලපරිච්ඡේදයක් උදාකරවන බව කියයි. සෙනසුරු ග්‍රහයා බලවත්ව මහා අපල ගෙන දෙන බවද කියැවේ.

හිස මතට සුදු පැහැයෙන් පැහැරීම සුබ ගමන් වන බව විශ්වාසයයි. සෙනසුරු අපල කාලය අවසන්ව හොඳ කාලයක් උදාවන බවයි. නළලත පැහැරීම සියලු සෙත සෞභාග්‍යය ළඟා කර දෙන බව විශ්වාසයයි. වාසනාව, සෞභාග්‍යය අත ළඟ බවය. සුදු පැහැයෙන් පිටෙහි පැහැරීම සියලු යස ඉසුරුත්, සැප සම්පත් පිරි අනාගතයක් උදාවීමේ පෙරනිමිත්තක් සේ සැලකේ. කන උඩ කපුටු පැහැරීම ඥාතීන් සමඟ තරහමරහ වීමකි. මුඛයේ සුදු පැහැයෙන් පැහැරීම ධන ලාභය, පාදයේ උඩ පත්ලට මළ පහ පතිත වී නම් නොයෙක් අසුබදායක දේ සිදුවෙයි. ළයෙහි පැහැරීම සියලු දේ නැසෙන බව කියාපාන පෙර නිමිත්තකි.

බෙල්ල උඩ පැහැරීම රෝ දුක් අසනීප පිළිබඳව කියාපායි. පියයුරෙහි පැහැරීම මංගල්‍ය කටයුතු ඉටුවන බව කියාපාන පෙරනිමිත්තක් බව ජන විශ්වාසයයි. කපුටා උරහිසේ පැහැරුවේ නම් නින්දා ලබයි. තමන් නොසිතූ අසාමාන්‍ය චෝදනාවලට ලක්වෙයි. අත උඩ පැහැරීම ඇරඹූ කටයුතු අසාර්ථකත්වය පෙන්වයි. අප මතකයේ ඇති කවියක මෙසේ එයි.

ඉස මත සුදට පැහැරුව නම් ගමන සුබ යි
නළලත සිරිසේත ද යහපත ළඟම ලබ යි
කන උඩ පැහැරු නම් නෑ සැම තරහ වෙති යි
අවැඩ ද කියා පෙර පඬිවරු නියම කර යි

මේ එබඳු තවත් කවියකි.

පැහැරුව කටේ සුදු පැහැ නම් දන ලා බ
පැහැරුව රෝග බය නියමයි බෙල්ල උඩ
උරහිස නින්දාව ලැබෙනව වෙයි අසු බ
අත උඩ ඇරඹු සෑම කටයුතු වේවි අඩ

කපුටා තවත් අතින් පෙරනිමිති ගෙන දෙයි.

කපුටා පියාඹා යනවිට හිසට සුළඟ දැනීම අයහපත්ය. එනම් තමන්ගේ හිසට උඩින් තමාට දැනෙන විදියට පියාඹා යාම හදිසි මරණයක් පෙන්නුම් කරයි.

කපුටන් අතර රණ්ඩුවක් වීම ස්වාමියා හා බිරිය අතර අඬදබර කලකෝලාහල පෙන්නුම් කරයි.

කපුටු කූඩුවේ කපුටු බිත්තර බොහෝමයක් බිමට හෙළීම නියං කාලයක් ඉදිරියේ එන බව කියාපායි. තනි පැටියකුට කපුටන් අතර කැවීමක් පෙනේ නම් නියඟයක් ළඟ බව පෙන්වයි. නියඟයක් ආ කල ආහාර සොයා ගැනීම අපහසුය. මේ බව කපුටිය ඉවෙන් දනියි. එහෙයින් පැටියන් විශාල වශයෙන් සෑදීම අත්හරියි.

සත්ත්වයින්ට මිනිසාට වඩා අනාගතය පෙනීමක් ඉවක් ඇතැයි පිළිගැනේ. හූණා, කපුටා ආදී සතුන් සම්බන්ධයන් ද එය සාධාරණය. සත්ත්වයන්ගේ මේ ස්වභාවය දත් අප ජන සමාජය ඒ පරිදි ජන ජීවිතය හැඩගස්වා ගැනීම ලක්ෂණය විය. සත්ත්වයන්ගේ චර්යා රටාවන් මිනිසාට පෙන්වන ‘පෙර නිමිතිය” යන්න ඇතැමුන් අවඥාවෙන් බැහැර කළත්, විද්‍යා හා තාක්ෂණික නුවණින් අද මිනිසා පෙරට ගමන් කොට ඇතත් පැරණි හෝ ගතානුගතිකව පැවත එන නිසා හෝ එකඑල්ලේ මිථ්‍යා අදහස් යැයි ඒ බැහැර කිරීම යුතු නොවේ.

 

සිතුවම් - චාම් නිර්මාණ්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.