සතුට සොයන ඔබට...

දෙසැම්බර් 6, 2024

සතුට යන්න අප සෑම දෙනාම නිරතුරුවම ළඟා කර ගැනීමට කැමති කාරණාවකි. සෑම මනුෂ්‍යයකුම සතුටින් ජීවත් වීමට ප්‍රිය කරයි. ඒ කෙතරම් ද යත් මරණයෙන් පසු ලබන භවයේදීත් ප්‍රීතිමත් ජීවිතයක් ලැබීමට කැමැති වෙයි.

එහෙත් සතුට යන්න සාපේක්ෂ කාරණාවකි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නේ එහෙයිනි. කෙනෙකු භෞතික වස්තුන් කෙරෙන් සතුට සෙවීමට පෙලඹෙන අතර තවත් අයෙක් අධ්‍යාත්මිකව සතුට සෙවීමට පෙලඹෙයි. එය එක් එක් පුද්ගලයාගේ මට්ටම හා විවිධ දර්ශනයන්ගේ ආභාසය මෙන්ම පරිණතබව සමඟ ඇතිවන්නකි.

අප මේ ජීවිතය පුරා සතුට සෙවීමට උත්සහ ගත්තද සමහර අවස්ථාවල සතුට සෙවීමට ගොස් නොදැනීම අපගෙන් සතුට ගිලිහී යනු ඇත. අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දේ " සියලු සත්වයෝ සැප කැමැත්තෝහ"යනුවෙනි. සැප සතුට වෙනුවෙන් මිනිසුන් නොකරන දෙයක් නොමැති තරම්ය. අද සමාජයේ බොහෝ දෙනා සිතා සිටින්නේ සතුට ඇත්තේ මුදල් මත යන්නය. එමනිසා විවිධ අපරාධ කිරීමට පවා පෙලඹෙන අවස්ථාවන් සමාජය තුළ ඕනෑ තරම් ඇත. ජීවත්වීමට මුදල් අවශ්‍ය මුත් ජීවිතයම මුදල් මත රඳා පවතින්නේ නැත. ලෞකික හා ලෝකෝත්තර වශයෙන් සතුටේ අවස්ථා දෙකකි. ලෞකික සතුට ඇත්තෙන්ම තාවකාලිකය. එනම් එය අප විඳීන දෙයකි. තාවකාලික දෙයකි. එය අප ළඟා කරගත් පසුව අප තුළින් නැතිවී යන දෙයකි. උදාහරණයක් ලෙස අප යම්කිසි භාණ්ඩයක් ගැනීමට බොහෝ උනන්දු වුවත් එය ලබා ගත් පසු එම සතුට අවසන් වෙයි .ඉන්පසු තවත් දෙයක් ලබා ගැනීමට උනන්දු වෙයි. මෙලෙස චක්‍රයක් සේ මේ ක්‍රියාවලිය සිදුවනු ඇත.

සතුටේ අනෙක් වර්ගය නම් ලෝකෝත්තර සතුටය. මෙයින් ලැබෙන සතුට සදාකාලික වේ. එනම් එහි බැඳීමක් හෝ ගැටීමක් නොමැති නිසාවෙනි. මෙහිදී අවබෝධය ප්‍රබල වේ. එහෙත් මේ ලෝකයේ බොහෝ මිනිස්සු කිසිම ලැබීමකින් සෑහීමකට පත් නොවෙති. එයින් සිදුවන්නේ සතුට වෙනුවට දුකම තමා පසුපස පැමිණීමය.

මේ සෙන් කතාව පවසන්නේ ඒ සම්බන්ධවයි.

උස කඳුවලින් වටවූ මීදුමෙන් පිරි පරිසරයක් ඇති දිය පහරවල්වලින් පිරි සුන්දර මිටියාවතක ටාඕ නම් සරල ගොවියෙක් ජීවත්විය. ඔහු වැඩිපුරම කාලය ගත කළේ තමන්ගේම ඉඩම්වල වැඩ කටයුතු කරමිනි. එක් උදෑසනක වෙහෙසට පත් පෙනුමක් සහිත සංචාරකයකු යැයි කිවහැකි ලෙස විශාල ගමන් මල්ලක් ද පිටෙහි එල්ලාගෙන එන හැඩි දැඩි තරුණයකු ටාඕගේ ගොවිපළට පැමිණියේය. ඔහු ගැඹුරු කල්පනාවක ගිලී සිටි බව පෙනෙන්නට තිබුණි. "ආයුබෝවන් " යැයි ටාඕ එම තරුණයාට ආචාර කළේය. තරුණ සංචාරකයාගේ වෙහෙසට පත් මුහුණ දැක ටාඕ මෙලෙස පවසන ලදි. ඔයාට මහන්සි පාටයි. මට ඔයාට උදව් කරන්න පුළුවන්ද? ටාඕ ගේ මිත්‍රශීලී කතා විලාසයත් සමඟ ඔහු මඳක් සැහැල්ලුබවක් පෙන්වමින් සුසුමක් හෙළුවේය. තරුණයා ටාඕට පැවසුවේ මෙවැන්නකි.

'මට මාව නැතිවෙලා වගේ. මම හැම තැනම ඇවිදිනවා. ඒත් මට කොහේ සිටියත් මම හැමවෙලේම කලකිරීමෙන් ඉන්නේ. මට ඒක කියන්න තේරෙන්නේ නැති දෙයක්. මට අහන්නත් බැරි වුණා ඇත්තෙන්ම ඔබ කවුද?' යැයි තරුණයා විසින් ටාඕගෙන් අසන ලදී . මම ටාඕ. මම ගොවියෙක් යැයි ඔහුගේ මෘදු කටහඬින් පැවසුවේය. සංචාරකයා පුදුමයෙන් මෙන් 'ඔබ ගොවියෙක්ද?' යැයි විමසා 'ජීවත් වන්නට ඔබට තවත් දේවල් අවශ්‍ය නැද්ද?' යැයි ඇසුවේය. 'අනික් අය මුදල්, සතුට, කීර්තිය පසුපස හඹා යද්දී ඔබ මේ පස් සමග කුඹුරේ වැඩ කරනවා. ඔබට ඒවා හිතන්නේ නැද්ද?' යැයි සංචාරකයා ඇසුවේය. ටාඕ මඳ සිනාවක් පා මෙලෙස පැවසුවේය. "මමත් ඉස්සර ඔයා වගේ. ඒත් පස්සේ මට තේරුණා ජීවිතේ ඉතා කෙටියි කියලා. හරියටම කිව්වොත් අහසේ වලාකුළක් එහා මෙහා යනවා වගේ. ඇත්තටම කියනවා නම් අපි මේ ලෝකේ ඉන්නේ තාවකාලිකව කියලයි මම හැමවෙලේම හිතන්නේ. ඒ නිසා අපට තියෙන දෙයින් උපරිම සතුටු වෙන්න පුළුවන්නම් ජීවිතය හරිම පහසුයි. ඒ වගේම සරලයි . හිතටත් සැනසීමයි. ප්‍රශ්න හිත් රිදවා ගැනීම් පවා හරිම අඩු" යැයි ටාඕ පැවසුවා. සංචාරකයා ටාඕ පවසන ලද කාරණා පිළිබඳව මඳක් කල්පනා කෙරුවේය. ඉන්පසුව නැවතත් සංචාරකයා ටාඕගෙන් මෙලෙස ඇසුවේය.

"සරල දේවලින් සතුට සොයාගන්නේ කොහොමද ? හැමවෙලේම මදි කියලා හිතෙනවානේ. තව තව ලොකු දේවල් කරන්න හිතෙනවානේ. සරල දේවලින් සතුට ලැබෙන්නෙ නෑනේ. ලොකු දේවල්වලින් තමයි සතුට වැඩි"

ඉන්පසු ටාඕ සිනාසී මෙලෙස පිළිතුරු දුන්නේය. "මම අනිත් අය එක්ක මාව සංසන්දනය කරන්න යන්නේ නැහැ. ඒක තමයි වැදගත්ම දෙය. මගේ සතුට සැනසීම තියෙන්නේ මා ගාව. අනෙක් අයගේ දේවල් ගැන මම හිතුවා කියලා මට ලැබෙන දෙයක් නෑ. ඒ නිසා මට ලැබෙන පොඩි අවස්ථාව පවා මම සතුටින් භුක්ති විඳීනවා. මම ඒවට ස්තූතිවන්ත වෙලා ඒවා මට ලැබෙන තෑගි විදියට තමයි දකින්නේ"

සංචාරක තරුණයා ටාඕගේ මේ වචන හා ඔහු සිතන ආකාරය ගැන තවත් ගැඹුරින් කල්පනා කළේය. ඉන්පසු නැවතත් මෙලෙස පැවසුවේය. "මට අනෙක් අය වැරදි කරනකොට තරහ යනවා. මට මං කැමති දෙයක් පොඩි හරි වෙනස් විදියකට වෙනකොට තරහ යනවා. කලකිරෙනවා. එපා වෙනවා. ඔබට එහෙම දැනෙන්නේ නැද්ද?"

"කෝපය ඔබව මහන්සි කරවනවා. ඒ කියන්නේ කේන්තිය හරියට තව කෙනෙකුට පහර දීමේ අරමුණින් රත් වෙච්ච ගල් අඟුරු කෑල්ලක් අතේ තියාගෙන ඉන්නවා වගේ. පිච්චෙන්නෙ ඔබවමයි. හානියත් ඔබටම පමණයි. වේදනාවත් ඔබටමයි. "

මේ කතා සියල්ල ඇසූ සංචාරකයාට දැනුණේ සාමකාමී හැඟීමක්. සිතේ තිබූ ප්‍රශ්න ගොඩකට පිළිතුරු ලැබුණා යැයි ඔහුට සිතිණි. ඔහු හදවතින්ම ටාඕට ස්තූතිවන්ත විය.

"ඔබ මට සතුට හොයාගන්න වෙනස්ම අලුත්ම මාර්ගයක් හොයලා දුන්නා. අද ඉඳලා මමත් ඒ මාර්ගයේ යන්නට උත්සාහ කරනවා. ඔබ කියනවා වගේ මේ පොඩි ජීවන ගමනේ සරලව සතුටින් ගමනක් යන එක තරම් සැනසීමක් තවත් නැතිව ඇති. ඉතින් මමත් ඒ ගමන දැන් ඉඳන් අරඹනවා ටාඕ" සතුටින් පැවසූ තරුණයා ටාඕට නැවතත් ස්තුතිවන්ත වෙමින් එම ස්ථානයෙන් පිටත් විය.

මොහොතක් සිතන්න. තමන්ගේ සතුට ඇත්තේ තමන් තුළමය. ඔබට ප්‍රශ්න ආ විට, ඔබට තරහ යන විට, ඔබට කවුරුන් හෝ අපහාස කරන විට ඔබ සිහිනුවණින් සිතන්න ඔබ මේ ලෝකයට පැමිණ සිටින්නේ තාවකාලිකව බව. එක් එක් පුද්ගලයන්ගේ කාරණාවලට සිතේ ඇති නිදහස සැහැල්ලුව නැති නොකර ගැනීමට ඔබම වග බලාගත යුතුය. සෑම මොහොතක්ම සතුටින් විඳීන්න. කොපමණ ප්‍රශ්න බාධක ආවද උත්සාහය අත් නොහරින්න . ජීවිතය අවිනිශ්චිත නිසා අපට ඊළඟ මොහොත ගැන බලාපොරොත්තු තබා ගැනීමට නොහැකිය. සතුට වෙනුවෙන්ම වැඩ කරන්න. මොකද තමාගේ ජීවිතය තමාට අයිති දෙයක් මිස අනෙකාට අයිති දෙයක් නොවන බැවිනි.

සතුට ද සදාකල් නොපවතී. තමන් කරන යහපත පමණක් තමාට කවදා හෝ ඉතුරු වේ. ස්වර්ණහංස ජාතකයේ එන බෝසත් ස්වර්ණ හංසයා තම පෙර භවයේ බිරිඳට හා දරුවන්ට රන් පිහාටුව බැගින් දිනපතා ලබා දුන්න ද එයින් සතුටට පත් නොවූ පෙර භවයේ බිරිඳ එකවර එම පිහාටු සියල්ල ලබා ගන්නට ගොස් සියල්ල අහිමිව දුකට පත්වූ සැටි අපි දනිමු . එනිසා තමන්ට ලැබෙන සුළු දෙයකින් පවා සෑහීමකට පත්වීමට උත්සාහ කිරීම සතුට පැවතීමට හේතු වනු ඇත. එය සිතට සැනසීම උදාකරනු ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.