දෙසැම්බර් 06-12 අතර උපන් ඔබ...

දෙසැම්බර් 6, 2024

දෙසැම්බර් 6

(පෞද්ගලික අංකය 6)

ඉහත දවසේ උපන් ඔයාගේ පෞද්ගලික අංකය තුළ සිකුරු හොඳීන් නිරූපණය වනවා. ඒ වගේම දෙසැම්බර් මාසයේ ගුරුගේ ධන බලයත් හොඳීන් පිහිටනවා. ඔයාට ලස්සනට අඳීන්න පලඳීන්න විශේෂ අවස්ථාවක්, හේතුවක් ඕනේ නෑ. කඩේකට වුණත් යන්නේ විලාසිතාවන්ගෙන් සැරසිලා නේද? විවාහ සහකාර පාර්ශවයෙනුත් ආර්ථික හයියක් ලැබුණාම ඉතිං පනින රිළවුන්ට ආයේ ඉණිමං බැන්ඳා වගේමයි. ඒත් ජීවිතයේ මැදිවියේදී ඇති විය හැකි ප්‍රශ්න නිසා මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. උසස් පුද්ගලයන් ළඟින් ආශ්‍රය වගේම දිගු සංචාර සඳහා යොමු වීමට පුදුම ළැදියාවක් තමයි ඔයාට තියෙන්නේ. මේ හැම සංචාරයකදීම ඔයාගේ ජීවිතයට අලුතින් චරිතයක් දෙකක් අනිවාර්‍යයෙන් ම එක් වෙනවා. ඒ වගේ යහළු යෙහෙළියන්වත් අත ඇර ගන්නේ නැතිව ජීවිත කාලය පුරා සම්බන්ධතා පවත්වාගෙන යන්නත් ඔයා අමතක කරන්නේ නෑ. ජීවිත කාලය තුළදී විවාහ බැඳීම් දෙකක් පමණ පෙන්නුම් කරනවා. කලත්‍රයන් දෙදෙනකු විතරක් නෙවෙයි දරුවන් දෙදෙනකුත් ඔයාගේ දෛවයේ ලියැවිලා ඉන්නවා. ඔයාගේ අත ගන්න කලත්‍රයෙක් මුහුදු හතක් එපිට ඉඳන් එනවා. එහෙම නැත්නම් උපන් ගම් පියසින් බොහෝම දුර බැහැර ප්‍රදේශයක ඉඳලා තමයි මල්සරා හීයෙන් විදින්නේ. පියයුරු පිළිකා සඳහා වැඩි අවදානමක් කාන්තා පාර්ශ්වයට බලපවත්වනවා. පොදුවේ ආමශගත අබාධ වගේම අධි පෝෂණ තත්ත්වයන් නිසා ඇතිවෙන රෝගාබාධත් ඔයාට බලපවත්වනවා. සමීපතමයන්ට රස ආහාරයෙන් වගේම ප්‍රිය වචනයෙන් සලකන ඔබ ගැටලුවක් සම්මුතියෙන් විසඳා ගන්න කැමැති නම් වඩාත් යහපත්. ගුවන් යානා ඉංජිනේරු රතීෂන් යෝගනාදන් (1975) මහත්තයත් ඔයාගේ පෞරුෂයට ආසන්න සබඳතාවයක් ඇති විශිෂ්ට ව්‍යවසායකයෙක්.

දෙසැම්බර් 7

(පෞද්ගලික අංකය 2/7)

සඳු නෙප්චූන් සමඟ ගුරුගේ සම්බන්ධයක් පිළිඹිබු කරන ඔයා තුළින් පිළිඹිබු වෙන්නේ හරිම උපශාන්ත ස්වභාවයක්. තියුණු බුද්ධියකින් වගේම කලා රසඥතාවයත් උපරිම මට්ටමක පවතින්නේ. ළමා සිතුවිලි චර්‍යාවන්ද වැඩි වශයෙන් පිළිඹිබු වෙනවා. ආගම, දහම වැනි විෂයන්වලටත් යම් නැඹුරුවක් පවතිනවා. ඔයා උත්සාහවන්ත වන තරමටම ඔයාගේ මානසික තලය තුළ තදින්ම බලපවත්වන කලාත්මක හැකියාවන්ගෙන් වැඩි පල ප්‍රයෝජන නෙළාගත හැකි වනවා. හැම විටම අසාමාන්‍ය ක්‍රමවලින් විශාල වශයෙන් මුදල් ඉපයීමේ හැකියාවත් ඔයා සතුයි. කොහොමින් කොහොම හරි ජීවිතයේ මැදිවියත් එක්කලාම මුළාවට හසුවීම නිසා මහා පරිමාණ ආර්ථික පාඩු ඇතිවීමත් පෙන්නුම් කෙරෙනවා. හිතෙන් හිතෙන විදිහට ආහාර කටේ දාගැනීම ඔයාගේ සෞඛ්‍ය තත්ත්වයට බරපතළ අවදානමක්. නිසි පරිදි නින්ද හා ව්‍යායාම නොමැති වීම නිසාත් ඔයාගේ සෞඛ්‍යමය ආරක්ෂණ පද්ධතිය බිඳ වැටීමට නියමිතයි. කිසිම දවසක තමන් වෙනුවෙන් හඬා වැටෙන චරිතයක් නෙවෙයි. නව නිර්මාණ සිදු කිරීම වගේම විදෙස් සබඳතා හා විදෙස් ආදායම් මාර්ග ඔයාට හොඳීන් පිහිටලා තියෙන්නේ. යටිබඩ ආශ්‍රිත ආබාධ ඔයාට වැඩි වශයෙන් පෙන්නුම් කරනවා. ප්‍රමාණවත්ව පිරිසිදු ජලය පානය ඔයාට හොඳ අත් බෙහෙතක් වනවා. දරුපල සම්බන්ධ කාරණා වලදී වෛද්‍ය උපදෙස් අපේක්‍ෂා කිරීම යහපත් වේවි. හේනේපොළ ගුණරත්න (1927) නම් මහා යතිවරයාණන් වහන්සේ ඔයාගේ උපන් දිනයට පැවැති හොඳම සජීවී උදාහරණයක්.

දෙසැම්බර් 8

(පෞද්ගලික අංකය 8)

ඔයාගේ පෞද්ගලික අංකය තුළ ඇති ශනිගේ බලපෑමෙන් තීන්දු තීරණවලට එළැඹීම තරමක් මන්දගාමී බවක් පෙන්නුම් කරනවා. ඒ වගේම මාසයේ අංකය තුළ ගුරුගේ ධන බලය කැපී පෙනෙන නිසා වගකීමකින් යුතුව තීරණ ගත හැකියි. ඒ නිසා ඔයාට නීති ක්ෂේත්‍රය වැනි අංශවලදී සුවිශේෂී දක්ෂතා දැක්විය හැකි වනවා. ජීවිතේ කිසිම දවසක කිසම දෙයක් ආවාට ගියාට ඔයාට උරුම වෙන්නේ නෑ. තනි උත්සාහයෙන් ජීවිතයට එන හැම අභියෝගයකටම නොසැලී මුහුණ දීලා ලබන පන්නරය තුළින් තමයි ඔයාගේ පෞරුෂය වඩාත් මුවහත් වෙන්නේ. දැණුම් තේරුම් ඇති දා ඉඳළම ජීවිතේ එකම ප්‍රහේළිකාවක්. මාපිය රැකවරණය පවා අඩපණ කෙරෙනවා. කොහේද ඔයාට මුදල් ගැන ලොකුවට තැකීමකුත් නෑනේ? එහෙම උනන්දුව ඇති කර ගත්තොත් ඔයාට ඕනේ තරම් මිළ මුදල් ඒකරාශි කරන්න බැරි කමකුත් නෑ. සුදුව වැනි අවදානම් සහගත දේවල මුදල් යොදවන්න ගියොත් වක්කඩේ හකුරු හැංගුවා වගේ තමයි. මවුපියන් හා සහෝදර සහෝදරියන් වගේම ආර්ථික අපහසුතා ඇති සමීපතමයන් වෙනුවෙන් ඕනෑම වෙලාවක ඔයාගේ පසුම්බියේ කට ඇරිලයි තියෙන්නේ. ඔයාගේ කට පරිස්සම් කර නොගැනීම ලෙඩ රෝග රැසකට මුල වෙනවා. ඒ වගේම මැදි වියෙන් පසු අෂ්ථි පංජරය ආශ්‍රිත වේදනා හා අපහසුතා පෙන්නම් කෙරෙනවා. ඒ නිසා අවුරුදු 53 විතර වෙද්දී පරෙස්සම් වීම වැදගත්. දරුණු ශෛල්‍යකරමයකට මුහුණ දීලා එළොව ගිහින් මෙලොව එන්නත් වරමක් ඔයාට හිමියි. ක්‍රිකට් ක්‍රීඩිකා ඩිලානි මැන්ඩෝරා (1982) කියන්නෙත් අංක විද්‍යාත්මකව ඔයාගේ පෞරුෂය සහිත තවත් ආකෘතියක්.

දෙසැම්බර් 9

(පෞද්ගලික අංකය 9)

ඔයාගේ පෞද්ගලික අංකය තුළ ගුරුගේ බලය විසින් මානසික ශක්තිය ආරෝපිතයි. ඒ වගේම කුජගේ බලයත් එක් වීමෙන් මනා කාය ශක්තියකුත් හිමියි. බයක් කියලා නාමයක් නොදන්න බුද්ධිමත් ඔයා වගේ කෙනෙක්ට හිතුවොත් මොනවද කරන්න බැරි? ඒ නිසාම 'උන්නත් දාහයි - මලත් දාහයි' ගානට නිතරම සැහැල්ලුවෙන් හරි ක්‍රියාශීලි ජීවිතයක් තමයි ඔයා ගත කරන්නේ. එළිමහනේ උදේ හවා හැකි හැම විටකම ශාරීරික යෝග්‍යතා ව්‍යායාමවල නිරත වෙන්නත් පුදුම ඇල්මක්නේ තියෙන්නේ? විරුද්ධ ලිංගික ආකර්ෂණයත් උපරිමට වැඩ කරන නිසා සතුටුදායක පවුල් ජීවිතයකුත් හිමි වෙනවා. එහෙම වුණත් දෛවෝපගත විදිහට විවාහ හෝ එවැනි දුර දිග ගිය බැඳීම් අඩුම තරමින් දෙකක් වත් පෙන්නුම් කරනවා. ඔයාගේ චරිත ස්වභාවය යම් යාන්ත්‍රික ස්වභාවයක් ගන්නවා. මිළ-මුදල් හම්බ කරන එක මහන්සියක් නැතිව කළ හැකි ක්‍රීඩාවක් වගේ. සූදුවෙන් පවා මුදල් ගලා එනවා. කලත්‍රයාගේ පාර්ශවයෙන් බූදල් හිමි වනවා. සසරේ හොඳීන් අත දිගහැර නොමසුරුව දන් පින් කර ඇති නිසා තමයි ඔයාට මෙහෙම ලැබෙන්නේ. සංසාර පුරුද්දට වගේ අතේ ලොකු මුදලක් ඒකරාශිවුණු ගමන් ඔයා දැන් වුණත් සමාජයේ යහපත වෙනුවෙන් යමක් නොකර ඉන්නෙත් නෑ. ඔයා සතු උසස් මානසික ශක්තීන් නිසා තමාට ලාභදායී අවස්ථාවේ විවිධ අංශවල ආයෝජනය කරන්න ඔයා දන්නවා. ඊටත් වඩා සුවිශේෂී කාරණය වන්නේ ලොකු ලාභයක් තියාගෙන හරිම වෙලාවට දේපළ මුදල් කර ගන්නත් ඔයාට සුවිශේෂී හැකියාවක් තිබීමයි. තමන් ගැන අමතක කරලා හැම විටම වීර වික්‍රමාන්විත චරිතයක් රඟදැක්වීමට යාමේ අවසාන ප්‍රතිපලය වන්නේ වසර 18 දී පටන් ගත් ගරු රඟපෑම වයස 54 න් පසු ඇල්මැරුණු ස්වභායකට පත් වීමයි. සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ හිටපු මහ ලේකම් ජෝෂප් ස්ටාලිනුත් (1849) ඔයා වගේ චරිත කතාවක් හිමි කෙනෙක්.

දෙසැම්බර් 10

(පෞද්ගලික අංකය 1)

පෞද්ගලික අංකයෙන් රවි හා යුරේනස්ගේ බලය අඩු වැඩි වශයෙන් ජවය සපයද්දී මාස රාශී බලයේ බලපෑමෙන් ඔයාට හිමි ගුරුගේ ධන ශක්ති කදම්භයත් පෞරුෂය වඩාත් ඔප් නැංවෙනවා. හැම විටම සිනහා මුසු මුහුණින් පසු වෙනවා. ඇසුරු කරන කොයි කාටත් ප්‍රියජනක චරිතයක් හැටියට ඔයාව ප්‍රසිද්ධ වෙනවා. අනුන් යටතේ වැඩ කරන්න ඇති අකමැත්තට ස්වෝත්සහයෙන් දෙපයින් හිට ගන්නේ යටි සිතේ සැඟවිච්චි ඉහළ නැගීමේ ආශාව නිසාමයි. විද්‍යාව වැනි විෂයන්ට වගේම ආගම හා දර්ශනයටත් මනා පරිණත බවක් ඔයා කෙරෙන් පිළිඹිබු වෙන්නේ. තමා තුළ ඇති අධි සංවේධීභාවය නිසා යමක් කීමට පෙර සිය දහස් වතාවක් හිතනවා. ඒ කොහොම වුණත් අවශ්‍යම විටකදී ඔයා වචනයක් පිට කළත් ඇති ඊතලයක් වගේ වදින තැනකට වදින්න. සූදුවෙන් ධන හානීත් පෙන්නුම් කෙරෙනවා. තමන්ගේ තීන්දු තීරණවලින් කොච්චර පාඩුවුණත් කිසිම දවසක අනුන්ට නාහෙන් අඬන ස්වභාවයක් ඔයා තුළ නෑ. මේ අංකයෙන් උපන් අය බොහෝ විට කණ්ණාඩි පළඳීනවා. ඒ වගේම මේ පෞද්ගලික අංකය හිමි දූවරුන් ඉක්මනින් වැඩි වියට පත් වන බවත් දැක ගත හැකියි. අක්ෂි ආබාධ වගේම වැරදි ආහාර පුරුදු නිසාත් ඔයාගේ සෞඛ්‍යට අහිතකර බලපෑම් ඇතිවෙනවා. ඒ කොහොම වුණත් අධික ලෙස කාර්්‍යය බහුල වීම නිසා ඇතිවන මානසික පීඩනයෙන් වැලකීම ඔයා හිතන තරම් ලේසි පහසු කාරියක් නෙවෙයි. දන්නවද ක්‍රිකට් ක්‍රීඩා විනිසුරු සාගර ගාල්ලගේ (1964), ලොව පළමු පරිගණක වැඩ සටහන සම්පාදනය කළ ඇඩා ඔල්ගා ලව්ලේස් (1815) යන මහත්ම මහත්මීන් ඔයාගේ උපන් දින සගයන්.

දෙසැම්බර් 11

(පෞද්ගලික අංකය 2)

ඔයා උපන් පෞද්ගලික අංකය තුළ රවි හා යුරේනස්ගේ බලය කැපී පේනවා. ගුරුගේ ධන බලයත් හොඳීන් අන්තර්ගත වෙනවා. ඔයා කලාත්මක හැකියාවන් තෝතැන්නක් හොඳීන් මිට මොළවා ගත් අයෙක්. 'අලියා තමන්ගේ විශාලත්වය දන්නේ නෑ' කිව්වා වගේ ඔයාත් ඔයාට සහජයෙන් හිමි ධාරිතාවය ගැන හරි තක්‍සේරුවක නැති එකයි දුක. ඉහළ අධ්‍යාත්මික තලයකට ඇති නැඹුරුව වගේම අනුන්ගේ සිත් කියවීමේ හැකියාව හා අනාගත සිදුවීම් කළින් ඉඟි කර ගන්නා ආසාමාන්‍යය බලයක් ඔබ සතුවෙනවා. මේ නිසාම ආගම, දර්ශනය හා ගුප්ත ශාස්ත්‍ර ඇසුරින් අනාවැකි පලකිරීම වැනි කටයුතුවලටත් ඔයා උපන් හපනෙක් වෙනවා. පාර විද්‍යාවන් හැදෑරීම වගේම ස්වභාව සෞන්දර්‍යයේ ආශ්චර්යයට සමීපව දිවි ගෙවීමට ඔයා තුළ තියෙන්නේ පුදුම ළැදියාවක්. තමන්ගේ හැකියාවන් උපයෝගි කරලා ඉහළ තානාන්තර වලට ඇවිදිල්ලා සල්ලි හම්බ කරන එක ඔයාට මානසික සතුටක්. හැබැයි ඔයාගේ ඒ කැපවීම තමන් වෙනුවෙන් නම් නෙවෙයි. ඔයාගේ නැදෑ හිතමිතුරන්ගේ සුරැකුම හා ශුභසාධනය වෙනුවෙන්. තමන්ගේ නිසි පෝෂණය ගැනවත් ඔයා තැකීමක් කරන්නෙත් නැහැ. ඒ ගැනත් හිතලා බලන්න. ඔයාට සෙම් අමාරු, උගුරේ අපහසුතා වගේ දේවල් පහසුවෙන් වැලඳෙන නිසා හැම විටම වියළ ිපරිසරයක දිවි ගෙවීම යහපත් වෙනවා. ඉන්දීය සුපුරි නළු දිලිප් කුමාර් (1922) කියන්නෙත් ඇත්තටම ඔයා වගේ චරිතයක්.

දෙසැම්බර් 12

(පෞද්ගලික අංකය 3)

රවි හා සඳු සුසංයෝගයකින් තමයි ඔයාගේ පෞද්ගලික අංකය නිමවෙලා තියෙන්නේ. ඉපදිලා ඇති මාස රාශි බලයෙන් වගේම පෞද්ගලික අංකයෙන් ගුරුගේ බලය මනාව ඔප වැටිච්චි සුවිශේෂී ශක්තියක් ඇති දිනයක. හැබැයි පොඩි කාලේ තැලෙන්න වෙනවා අමතක නොවෙන්නම. පරම්පරාවේ අභාසයකින් තොරව තමයි තමන්ගේ ජීවන වෘත්තීය තෝරා ගන්නෙත්. වයස 40 න් විතර පස්සේ ජීවිතයට සිතූ පැතූ සම්පත් ආයේ පහළ වෙන්නෙත් මදි නොකියන්නමයි. ඔයා වගේ අය තුළින් තමයි දක්ෂ නායකයන්, පරිපාලකයන් හා දේශපාලඥයන් වැනි අය බිහි වෙන්නෙත්, කාර්මික හා නාවික අංශවලත් සුපිරි වැඩකරුවන් වෙන්නේ ඔයාගේ උපන් දින සගයන්. ඔයා තුළ ස්වභාවයෙන්ම ගැඹුරු පාණ්ඩිත්වයක් ඔප් නැංවෙනවා. හැබැයි පුදුමේ කියන්නේ ඔයා එක්කෝ ආගම හා දර්ශනය වැනි කරුණු පැල් බැඳගෙන අදහන්නෙක් වෙනවා. එහෙම නැත්නම් ඊට අංශක 180 ක් ම ප්‍රතිවිරෝධී පාර්ශ්වය නියෝජනය කර එවැනි විෂයයන් තඹයකට මායිම් නොකර ඉන්නවා. ඔයා මොන පැත්තකට බර වෙයිද කියලා අනුමාණ කරන්න සමත් කිසිවෙක් ලොවේ නෑ. මොනදේ කළත් හරියටම වයස අවුරුදු 50 න් පස්සේ ඔයා සතු දේ කඩා වැටෙන්න ගන්න නිසා අර පළඟැටියන්ගෙයි කූඹියන්ගෙයි කතාව මතක් කරගෙන අනාගතය වෙනුවෙන් යමක් ඉතිරි කර ගන්න. වැඩ බදාගෙන ඒ මත්තෙම නැහිලා වයස 60 වෙද්දී පිට කොන්ද හෝ අත් ආශ්‍රිතව ස්නායූ ආබාධ අංශභාගය දක්වා දුරදිග යා හැකියි. හිටපු ප්‍රවීණ ගායන ශිල්පීණී මාලනී බුලත්සිංහල (1949) මහත්මිය ඔබ වගේම කෙනෙක්.

 

පාරවිද්‍යා පර්යේෂක

එස්.පී.එන් සේනානායක

 

විශේෂ ස්තූතිය -

අයිරිෂ් ජාතික කවුන්ට් ලුයිස් හැමන් සාමිවරයා

හා වෛද්‍ය බන්දුල සිරිවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.