සයිබු නානා එනතුරු ගමක් බිළිගත් මාරයා

ඔක්තෝබර් 25, 2024

එය ශ්‍රී ලංකාවේ පිහිටි හද්දා පිටිසර ගම්මානයක් විය. දැනට අඩසියවසකට පමණ පෙර දිනක් මෙකී ගම්මානයට අද්භූත භීෂණයක් උදා වූයේ ය. එය පටන් ගත්තේ රාත්‍රී සුවසේ නින්දට ගිය ගැමියෙකු පසුදින උදැසන වන විට ඉතාමත් අභිරහස් ලෙස මියගොස් සිටීමෙනි. ඒ පුද්ගලයා හදිසියේ මිය යාමට හේතුවන ලෙඩ දුකකින්, සතුරු ප්‍රහාරයකින් හෝ වෙනත් කිසිදු හේතුවකින් තොරව, මේ අයුරින් මිය යාම සෙස්සන්ගේ ශෝකයටත් පුදුමයටත් කරුණක් වූ නමුදු මරණයට හේතුව වටහා ගැනීමට කිසිවෙක් සමත් නොවූහ.

පුද්ගලයාගේ අවසන් කටයුතු නිමා කළ පිරිස ඔහුගේ හත්දින දානමය කටයුතු සඳහා සූදානමින් සිටියහ. එම පුද්ගලයා මිය ගොස් තුන්වැනි දිනය උදාවූයේ තවත් නිවසකින් නැඟුණු විලාපයක් ද සමඟිනි. පෙර දින රාත්‍රියේ තවත් පුද්ගලයෙකු පෙර පරිදිම මියගොස් තිබිණි. කාන්තාවක වූ එම තැනැත්තියද කිසිදු රෝගාබාධයකින් නොපෙළුණු නීරෝගී ඇත්තියක වූවා ය.

ඊළඟ දින දෙක තුන තුළද මෙවැනිම අයුරින් තවත් දෙතුන් දෙනකු මරුට බිළි වූ අතර, මෙය අමනුෂ්‍ය බලවේගයකින් ගමට සිදු වූ ව්‍යසනයක් බවට හැඟීමක් ගම්වැසියන් තුළ ඇතිවන්නට පටන් ගත්තේ ය.

ගම්වාසීන් එක්ව බලිතොවිල් සිදු කිරීම, ගෙවල් ආරක්ෂා කිරීම, ආරක්ෂිත සුර පැලඳීම, විවිධ ආධ්‍යාත්මික ප්‍රතිකර්ම මෙන්ම රාත්‍රියේ වැට මායිම් මුර කිරීම ආදිය ද පටන් ගත්තේ ඒ අනුව ය. ඒ කිසිවක් තඹයකට මායිම් නොකළ මරුවා සුපුරුදු ලෙස සතියකට එක් මරණයක් හෝ සිදුවන තැනට ගම පත් කරද්දී ගමේ ජනගහණයද ක්‍රමයෙන් අඩුවන්නට පටන් ගත්තේය.

මේ ශාපලත් ගම්මානය පිළිබඳව අසල්වැසි ගම්වලටද ආරංචි පැතිර ගිය අතර. ඔවුහු තම නෑදැ හිතවතුන් බැලීමට හෝ මේ ගමට පැමිණීමෙන් වැළකුණහ. අවාසනාවන්තම කරුණ වූයේ මේ ගමෙහි කිසිවකු තම ගමට වැද්දා ගැනීමට පවා ඔවුන් අකමැති වීමය. එළිවනතුරු නිදි වර්ජිතව සිටිමට හැකියාවක් තිබූ අයට මෙන්ම රාත්‍රියේ පැල් රැකීමට ගියවුන්ටත් මරුවාගේ ප්‍රහාරයෙන් බේරී සිටීමට හැකිවීම විශේෂත්වයක් වුවද, ඒ ඇයිදැයි තේරුම් ගත හැකි තත්ත්වයක් මේ ගම්වාසීන්ට නොවීය.

ඒ ආකාරයට කටයුතු කිරීමෙන් මේ අවාසනාවෙන් යම් පමණකට ඈත්වීමට ඔවුන් සමත් වුවද, මාස හතරකට පහකට වරක් කොයි මොහොතක හෝ එකකු දෙන්නෙකු මරුට ගොදුරු වීමෙන් වැළකී සිටීම නම් ලෙහෙසි පහසු නොවීය.

මේ අයුරින් කාලය ගෙවී යද්දී එක්තරා සවස් භාගයක ගම්මුන් හා දැන හැඳුනුම්කම් ඇති පුද්ගලයකු ගමට පැමිණියේ ය. ඒ ගමක් ගමක් පාසා කලකට වරක් ගොඩවදිමින් මණිබඩු වෙළෙදාමේ යෙදෙන සයිබු නානාය.

මණිබඩු වෙළෙඳාමේ හා රෙදි වෙළෙඳාමේ යෙදෙන අතරතුර රාත්‍රිය උදා වුවහොත් එම ගමෙහි දන්නා හඳුනන නිවෙසක පිල්කඩෙහි රාත්‍රිය ගත කිරීම ඔහුගේ සිරිත වී තිබිණි.

මෙවර ගමට පැමිණි ඔහුට දක්නට ලැබුණේ අලුත් හා පරණ අවමඟුල් සැරසිලි අතරේ ශෝකයෙන් හා භීතියෙන් මිරිකුණු මුහුණු සහිත ගැමියන් ය. ආවාට ගියාවට බඩු මුට්ටු මිලදීගත් නමුදු, මේ සියල්ලන් තුළින්ම ජීවිතය පිළිබඳ බලාපොරොත්තු ගිලිහී ඇති බවක් සයිබු නානාට ඔවුන්ගේ කතා බහෙන් පෙනී ගියේ ය. කෙසේ නමුදු එදින රාත්‍රීයේ ද ඔහුට තමන් දන්නා හඳුනන නිවෙසකින් රාත්‍රියට බත් පතක්ද, නිදා ගැනීමට පිල් කඩට පැදුරක් හා කොට්ටයක්ද ලැබිණි.

කෝකටත් කියා භූමිතෙල් ලාම්පු කුප්පියක් ඉල්ලාගත් හෙතෙම අසල වූ කණුවක එය එල්ලා ගත්තේය. ඉන්පසු එළාගත් පැදුරෙහි වාඩි වූ සයිබු නානා යාපනේ කළු සුරුට්ටුවක් දල්වා ගනිමින් කල්පනා කරන්නට පටන් ගත්තේ මේ ඇති වී තිබෙන බියකරු ව්‍යසනය කුමක්ද යන්න පිළිබඳවය. ගම්මුන්ගෙන් දැන කියාගත් තොරතුරුවලට අනුව මේ ගමට පැමිණෙන මාරයාගේ ඊළඟ ගොදුර තමන් විය හැකි බව ඔහුට කල්පනා විය.

කොයි හැටි වෙතත් පැදුරේ හාන්සි වී යම් අවධානයකින් සිටීම ශරීර සෞඛ්‍යයට ගුණදායක බව නානා සිතා ගත්තේ ය. මේ ආකාරයට රාත්‍රී අන්ධකාරය ඔස්සේ ඇදී එන්නට ඉඩ ඇති විවිධාකාර යක්ෂකයන් හා භූතයන් පිළිබඳ සිතිවිලිවලින් පීඩිතව නින්දත් නොනින්දත් අතර, සිටි සයිබු නානා මැදියම් රෑයේ එක්වරම පැදුර මත ඉන්ද වූණේ ය.

ඒ අන් කිසිවක් නිසා නොව, මිදුලෙහි වූ වැල්ල මතින් යමක් එක සීරුවට ඇදී යන හඬක් ඇසීමෙනි. මේ හඬත් සමඟ පෙර ඔහු තුළ පහළ වූ විවිධාකාර භයානක චිත්ත රූප ශත සහශ්‍ර ගුණයකින් වැඩි වූ නමුදු, මේ සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමේ කුතුහලය සංසිඳවන නිර්භීත කමක් ඔහු තුළ ඉතිරිව පැවතිණ. එහෙත් පැදුරෙන් නැඟිට අසල වූ කණුවකට හේත්තු වී ඇසෙන හඬට හැකිතාක් උපරිමයෙන් දෙසවන් යොමු කරනවා හැරෙන්නට වෙන කළ හැකි කිසිවක් නොතිබිණි.

ටික වේලාවකින් නානාට තේරුම් ගියේ ඒ ආකාරයට වැලි පොළොව මතින් ඇදී ආ හඬ නතර වූ බවය. යළිත් පැදුර මත වාඩිවූ ඔහු තවත් සුරුට්ටුවක් දල්වා ගනිමින් මේ ගැන අහස පොළොව ගැටලමින් කල්පනා කරනු ලැබුවද, ඔහුට එහි අගක් මුලක් තේරුම් ගැනීමට නොහැකි විය. එහෙත් තවදුරටත් කල්පනා කිරීමේදී ඔහුට හැඟී ගියේ ගම්වැසියන්ට වඩා මේ පිළිබඳව යම් දෙයක් තමා දන්නා බව ය. එනම් රාත්‍රියේ යම්කිසි බලවේගයක් නිවෙස් වෙත ඇදී එන බවය.

තවත් පැයක පමණ කාලයක් ගතවී ගියේය. ඒ සමඟම ඔහුට ඇසුණේ යළිත් පොළොව දිගේ යමක් ඇදී යන හඬය. ක්‍රම ක්‍රමයෙන් එම හඬ නෑසී යනතෙක් දෙසවන් යොමා සිටි ඔහුට යමක් අවබෝධ වූයේ ය.

පසුවදා පාන්දර වනතෙක්ම නොනිදා පහන් කළ සයිබු නානා එළිවූ සැණින් බිත්තිය අද්දරට ගොස් මහ පොළොව පරීක්ෂා කර බැලීය. ඔහුට පෙනී ගියේ පොළොවේ පස්මත රිටක් ඇදී ගියාසේ යම් සලකුණක් පෙනෙන්නට ඇති බවය.

හෝඩුවාවක් සොයාගත් රහස් පරීක්ෂකයෙකු සේ උද්යෝගීමත් වූ සයිබු නානා තම බඩු පොට්ටනියද හිසමත තබා ගනිමන් ඒ ඔස්සේ පිය මනින්නට පටත් ගත්තේ ය. තණ පඳුරු ආදිය වැවී තිබූ ස්ථානවලදී නොපෙනී ගියත්, වැලි හා පස් මත තිබූ සටහන ඔහුව එක්තරා ස්ථානයකට කැඳවාගෙන යන්නට සමත් විය.

ඒ දිරා කොළ හැලෙමින් පැවැති විසල් නුග රුකක් පාමුලටය. දිවා ආලෝකය මධ්‍යයේ වුවද, ඔහුට මෙකී නුගරුක පෙනුණේ යක්ෂ ප්‍රේත පිසාචාදීන්ගේ අන්ධකාර විමානයක් ලෙසය. නැතිනම් මනුෂ්‍යයින් බිලි ගන්නා වෘක්ෂයක් ලෙසටය.

එහෙත් මෙතරම් දුරක් පැමිණි පසු, මෙහි අවසානය නොදැක ආපසු යාමට ඔහුගේ සිත කිසිසේත්ම ඉඩ නොදුන්නේ ය. එහෙයින් ස්වකීය බඩු පොදිය ප්‍රවේශම්ව පසෙක තැබූ හෙතෙම සිය සාලුව බිම එලා ..අල්ලා.. යයි කියමින් සිය ආගම මෙනෙහි කළේ ය.

ඉනික්බිති ඉතා පරෙස්සමෙන් ගසෙහි මඳක් ඉහළට නැඟගත් ඔහුට දෘශ්‍යමාන වූයේ විශාල කුහරයකි. මරු කටක් බඳු වූ එම කුහරය තුළට ඔහු සිය නෙත් යොමු කළේ ය.

සයිබුනානාට එතුළෙහි දක්නට ලැබුණේ බියකරු දසුනක් වුවද, ඔහුගේ සිතට නැඟුණේ බලවත් සතුටකි. එනම් අනාදිමත් කාලයක් තිස්සේ තමාගේ ගනුදෙනුකරුවන් වූ මෙකී අහිංසක ගම්වාසීන්ගේ මාරයා කවුදැයි හෙළිකර දීමට තමාට හැකිවීම පිළිබඳව ය.

ඉන්පසු යළිත් හැකි ඉක්මනින් ගම්මානයේ ගෙයක් ගෙයක් පාසා ඇවිද ගිය සයිබු නානා ගම්වැසියන් දැනුවත් කරමින්, සියලුදෙනාම නුගරුක අසට කැඳවාගෙන ආවේය. ඉන්පසු ඔහු ගම්වැසියන්ට පැවසුවේ මෙතෙක් ඔවුනට විනකළ මාරයා මේ නුගරුක තුළ සිටින බවත් හැකිතාක් දර, පොල් කොළ ආදියෙන් වට කොට එයට ගිනිතබා විනාශ කරන ලෙසය.

සයිබු නානා නවාතැන් ගත් නිවසේ කාන්තාවක්ද පෙරදින රාත්‍රීයේ මෙකී මරුවාට ගොදුරුව මියගොස් සිටියද, බුරා බුරා නඟින ගින්නෙන් තමන්ගේ මරුවා සිය වාසභවනයද සමඟ ගිනිබත් වන අයුරු ගැමියන් බලා සිටියේ ඉමහත් සතුටකිනි.

ගින්න නිවී යාමත් සමඟ ගැමියන් ඉදිරියට කැඳවූ සයිබුනානා ඔවුනට පෙන්වා දුන්නේ පිලිස්සී මියගිය සිය ගණනක් වූ මාපිලුන් රංචුවකි. නිදි මාපිලා ලෙස හැඳීන්වෙන මේ සර්පයා නිදා සිටින්නෙකුගේ ඇසෙහි කබවලෙන් හෝ කහපත් නහරයෙන් ලේ උරාබොයි. එවිට නිදා සිටින්නාට වඩාත් සැපවත් නින්දක් විනා, වේදනාවක් නොදැනේ. පුරා වෘත්තයන්හි සඳහන් වන්නේ මුලින්ම ලේ බොන මාපිලාගේ සිරුරේ වෙලී දෙවැන්නාත්, ඊළඟට තුන්වැන්නාත් වශයෙන් විශාල මාපිලුන් පිරිසක් එකකු හරහා මෙසේ රුධිර පානයේ යෙදෙන බව ය.

මේ අන්දමට මුලින් මාපිල්ගොඩ නමින් හැඳීන්වුණු එම ග්‍රාමය පසුව මාවිල්ගොඩ වූ බවත් පැවසේ. ගැමියන් තමන් මරණයෙන් බේරාගත් සයිබුනානාට කෙළෙහිගුණ දැක්වීමක් ලෙස ඔහුව ගම්පති ලෙස පත්කර ගත් බවද මේ පිළිබඳ ඇති ඇතැම් ජනශ්‍රැතිවල සඳහන්ය.තිස්ස ප්‍රේමසිරි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.