සාහිත කෙතත් දෝ සතරත් බැබළවූ ගුරුවරයා

කලාසූරී අරීසෙන් අහුබුදු
ජූලි 14, 2023

කලාසූරී අරීසෙන් අහුබුදු යන නාමය මෙරට වැසියාට හුරුපුරුදුය. ළෙන්ගතුය. ශ්‍රී ලංකාවේ කීර්තිමත් කතුවරයෙක්, කථිකයෙක්, ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක්, සිංහල ගීත රචකයෙක්, සහ කවියෙක් යනා දී ලෙස විසල් භූමිකා ගණනක් ක්ෂේත්‍ර ගණනාවක් පුරා පැතිරූවකු ලෙස එතුමා සම්භාවනාවට පාත්‍ර වෙයි.

 

ඡ්‍යොතිෂ ශාස්ත්‍රෙයහි ද නිපුනයකු වූ ඔහු හෙළ හවුලේ කැපී පෙනෙන සාමාජිකයෙක් ලෙස ද ප්‍රසිද්ධ විය. සම්මානනීය කලාකරුවකු වූ එතුමා ගැන කතා කිරීමට බොහෝ දේ තිබේ. මේ ලියවෙන්නේ ඔහු නියැළුණු ක්ෂේත්‍ර අතරින් ඡ්‍යොතිෂ ශාස්ත්‍රය වෙනුවෙන් කළ සේවය පිළිබඳවයි.

 

උපත

කොග්ගල මහා ප්‍රාඥයා වූ මාර්ටින් වික්‍රමසිංහයන් දිනූ තැන් සිට නෙත් කැලුම් වැටෙන මානයේ ඉපදෙන්නට කලාසූරී අරීසෙන් අහුබුදුවන්ද වාසනාවන්ත විය. 1920 මාර්තු 18 වැනිදා දකුණු ලක කොග්ගල මලළගම මුදියල්ලගහවත්තේදී දී දෙවුන්දර දේව මනිමේන්ද්‍ර කොරෝනිස් ද සිල්වා සහ ලැයිසොහාමි වතුගෙදර යුවළට දාව ජන්ම ලාභය ලැබූ මේ කුඩා කුමරුවාට ආරියසේන ආශුබෝධ යන නාමය තැබිණි. පවුලේ දරුවන් තිදෙනාගෙන් දෙවැන්නා වූයේ අහුබුදුය. කුඩා කල සිටම මවු පියන් සෙවණේ හැදී වැඩුණු ආශුබෝධට වඩාත් ළං වූයේ තම මුත්තණුවන්ය. බිලිඳු අවදියේදී සීයා ඔහුට ඇසෙන්නට ගුත්තිලය, කුසදා කව, අන්ධභූත ජාතකය වැනි සාහිත්‍ය පතපොත කියෙව්වේ ය. ආශුබෝධ දස හැවිරිදි වන විට එම පොත් කට පාඩමින් කියන්නට ඔහුට හැකි විය. බාල කාලයේ ලත් මේ දැනුම ඔහුගේ දිවිය වෙනස් කරන්නට හේතු වූවාට සැකයක් නම් නොවීය.

 

අධ්‍යාපනය හා ගුරු වෘත්තිය

කුඩා අශුබෝධ මූලික අධ්‍යාපනය සඳහා ඇතුළත් වන්නේ කතළුවේ රජයේ පාඨශාලාවටය. පසුව හබරාදූව අභයදාන පාසලෙන් ද්විතීක අධ්‍යාපනය ලබන ඔහු ඉන් ජේ්‍යෂ්ඨය සමත් වන්නේය. කුඩා කල සිටම අධ්‍යාපනයට, සාහිත්‍යයට, කවියට මෙන්ම තම උපන් බිමට පෙම්බැඳී මේ යෞවනයා අවුරුදු 17 දී තමා සතු දැනුම් සම්භාරය නිසාම ගුරු සේවයට එක්වන්නට වාසනාව ලබන්නේය. ඒ අහංගම සැරියුත් විදුහලේ තාවකාලික ගුරුවරයකු ලෙසය. ඒ අතරතුර ගුරු අභ්‍යාස විභාගයෙන් සමර්ථව නිට්ටඹුවේ ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත්ව ගුරු පුහුණුව ලැබුවේය. ගුරු පුහුණුව සාර්ථකව නිම කළ ආරියසේන ආශුබෝධ තරුණයාට ගුරුවරයෙක් ලෙස පළමු පත්වීම ලැබුණේ බද්දේගම පහළ කීඹිය පාසලටයි. නුවරඑළිය ශුද්ධවූ ත්‍රිත්ව විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, මරදාන මහා බෝධි විද්‍යාලය, ගල්කිස්ස ශාන්ත ​​තෝමස් විද්‍යාලය, කටුගස්තොට දීගල බෞද්ධ විද්‍යාලය ඔහු සේවය කළ පාසල් අතර විය. 1947 දී ඔහු ළමුන් සඳහා “එඩිය”නමින් සඟරාවක් ප්‍රකාශයට පත් කළේය. එම සඟරාවේ ආදර්ශ පාඨය වූයේ “එඩිය වැඩිය පොඩියන්ගේ එඩි වඩන්නට “ යන්නයි. වසර හතළිස් දෙකකට වැඩි කාලයක් දැයේ දරු දැරියන්ට හෙළ බස උගන්වමින් දරුවන්ගේ සිත් තුළ සාහිත්‍ය කලාව වෙනුවෙන් වැඩි ඉඩක් සදන්නට ආරියසේන ආශුබෝධ ගුරුතුමාට හැකිවිය. පසුකළෙක හෙළ උරුවට අනුව ආරියසේන ආශුබෝධ යන නාමය ඔහු පිරිසුදු සිංහලට හරවා සිංහල නමක් වන අරීසෙන් අහුබුදු බවට පත් කර ගත්තේය.

 

විවාහය

දක්ෂ ගුරුවරියක සේම කිවිඳීයක වූ චන්ද්‍රා දේවාලේගම මෙනවිය (විවාහයෙන් පසු සඳා අහුබුදු) සමඟ 1953 අගෝස්තු 8 වන දින විවාහ වූ අරීසෙන් අහුබුදුවන්ගේ එකම දියණිය සමන්ති අහුබුදුය. දේමින්ත උදම් පුතණුවන්ය. සමන්ති අහුබුදු තම පියා ගිය මඟ යමින් ජ්‍යෝතිෂ දැනුමින් රටට සේවය කරමින් සිටියි.

අහුබුදුවන්ගේ දිවිමඟ පිළිවෙළය. සැමදා උදෑසන පාන්දර දෙකට අවදිවීම අහුබුදු වන්ගේ දින චර්යාවේ සිරිතකි. එතැන්පටන් තමාගේ වැඩකටයුතු ඔහු පිළිවෙළට ඉටු කරයි. පාන්දර හතරට ස්නානය කර තෙරුවන් නැමද දියපිරිතෙන් පිරිත් කළ පැන් වීදුරුවක් පානය කරමින් දවස අරඹන්නට ඔහු කටයුතු කළේය. එහි ඇති බලය හේතු වෙන් තමාට ඇති ග්‍රහ අපල දුරුවී සුවපත් සිතක් කයක් පවත්වා ගැනීමටත් නීරෝගි වීමටත් දේවාශිර්වාද ලැබීමටත් ඉවහල් වන බව දැඩිව විශ්වාස කළේ ඔහු මෙහි ඇති බලය සෙස්සන්ට ද අවබෝධ කර දෙමිනි. ඔහු විශ්වාස කළ තවත් කාරණයක් විය. එනම් සිංහල මිනිසුන් බිහි වූයේ රාවණ රජුගෙන් මිස විජය රජුගෙන් නොවන බවය. ඒ වෙනුවෙන් ඔහු පොතපත පවා රචනා කළේය.

 

ඡ්‍යොතිෂ දැනුම

ගුරු වෘත්තියේ යෙදී සිටිත් දී පියසේන රතුවිතාන වියතාණෝ අහුබුදුවන්ට දැන හඳුනා ගන්නට ලැබීම ඔහු දිවියේ පෙරළියක් කරන්නට සමත් විය. තාරකා ශාස්ත්‍රය ගැන දැනුම සොයා යාමට එය ඔහුට මනා පිටිවහලක් විය. රතුවිතානයන්ගේ ඇසුරින් ඡ්‍යොතිෂ ශාස්ත්‍රය කෙරෙහි ඔහු සතුව පැවැති කැමැත්ත දෙගුණ තෙගුණ විය. එනිසා ඡ්‍යොතිෂය ශාස්ත්‍රයක් ලෙස හැදෑරීමට අහුබුදුවන් කටයුතු

කළේය. ඡ්‍යොතිෂ විද්‍යාවේ නව දැනුම සොයා ගිය අරීසෙන් අහුබුදුවන් ඡ්‍යොතිෂ විද්‍යාවේ එක් අංගයක් වන ශබ්ද විද්‍යාව සහ නාමකරණය පිළිබඳ හසළ දැනුමැත්තෙක් විය. දරුවන්ට නිවැරැදිව නමක් තබාගැනුමට, තම ව්‍යාපාරයට සුබ නමක් යොදා ගැනුමට, වේලාපත්කඩයක් බලා ගැනුමට, සුබ නැකැතක් ලබා ගැනුමට අහුබුදුවන්ගේ නිවෙස කරා පැමිණෙන ජනතාවගෙන් ඔහු නිවෙස අද ද පිරී ඉතිරී ඇත. ඒ අහුබුදුවන් ජීවතුන් අතර නොසටියද ඒ මඟ ගිය ඔහු දියණිය සමන්ති අහුබුදු ඒ කාර්යය මනාව ඉටු කරන බැවිනි. සිංහල දරුවන්ට හෙළ නම් තැබීමේ නිපුනයකු වූ අහුබුදු ශූරීන් එම නම් තැබීම ආවාට ගියාට නොකළ යුතු බව තරයේ විශ්වාස කළේය. සිංහල දරුවන්ට නමක් තැබීමේ දී අනුගමනය කළ යුතු ප්‍රධාන කරුණු කිහිපයක්ම ඔහු නිතර පැවැසුවේය. නමක් යොදන විට එය හැම විටම සිංහල නමක් මෙන්ම අරුත්බර නමක් විය යුතුය. සුබ ගණයක් තුළ මෙන්ම එනමෙහි අභිමානයක් ගැබ්ව තිබීමෙන් දරුවාට සෞභාග්‍යවත් අනාගතයක් හිමි වන බව ඔහු නිතර පැවැසූ දෙයක් විය. එලෙසම අහුබුදු ශූරීන් අතින් රචනා වූ පොතපත ද බොහෝය. සාහිත්‍ය කලාව මෙන්ම ජ්‍යෝතිෂය විෂයට අදාළ ක්ෂේත්‍ර පිළිබඳවද කෘති ඔහු අතින් රචනා විය. ‘ කුමරතුඟු දෑ ඇල්ම, කුමරතුඟු ඇසුර, සිංහල වංස කතාව, අරුත නිරුත, මංගල කිංකිණි, දම් රස දහර, අරිසෙන් අහුබුදු හරසරණිය, සක්විති රාවණ, ලංකා ගම් නම් වහර, හෙළ අවුරුදු වග, ඉර හඳ නැඟි රට, මනු වස‘ ඉන් කිහිපයකි.

අරීසෙන් අහුබුදු සූරීන් කලා ලොවට කැඳවන්නේ “ලක්මිණි පහනේ” දායකයකු වූ ඔහුගේ සීයා කෙනෙකුන් වූ සලමන් වතුගෙදරයන්ය. එතැන් පටන් කලා ලොවට මෙන්ම ඡ්‍යොතිෂය වෙනුවෙන් ද ඔහු සිදු කළ සේවය විශාලය.

 

සාහිත්‍ය කලාව

අහුබුදුවන් මෙරට භාෂාව හා සාහිත්‍ය කෙරෙහි දැක් වූ දායකත්වය ද සුළුපටු නොවේ. ඒ කෙරෙහි කෙතරම් ඇල්මක් මෙතුමා දැක්වූවාද යත් අහුබුදුවන් කුඩා කළ සිටම සාහිත්‍ය කලාව වෙනුවෙන් කැප වූ බව දක්නට ලැබේ. කුඩා අවධියේ එතුමා නාට්‍ය රඟ දැක් වූයේ තම ගමේ පන්සල අසලය. සංගීතය හැදෑරීම සඳහා අම්බලන්ගොඩ සංගීතඥ සමරපාල ගුරුතුමා වෙත ගියේය. එලෙස සංගීතය හදාරා 1941 දී වයලීන වාදනයෙන් ගාන්ධර්ව ප්‍රාරම්භය ද සමත් වන්නට එතුමා සමත් විය.

පසු කලෙක හෙළ හවුලට බැදී සිංහල භාෂාව වෙනුවෙන් මහත් වූ වැඩ කොටසක් කරන්නට ඔහුට හැකි විය. කුමාරතුංග මුනිදාසයන් ඔහුට “සුබස් පතින් කිවිති” නමින් ගෞරව නාමයක් ලබා දුන්නේ ඔහු සතු වූ විශිෂ්ට කාව්‍ය නිර්මාණ නිසාය. කිරි සුවඳ, රෑන ගිරා, පෘතුගීසි කාරයා, පුන්සඳ එළිය, සුදට සුදු වලාකුළයි, රැජින මමයි අපේ රාජ්ජේ, සහ කෝ හතුරෝ, ලංකා ලංකාපෙම්බර ලංකා, දකුණ නැඟෙනහිර, මල් ගොමු ගුමු ගුමු වැනි ගීත ඔහු විසින් රචනා කළ ජනප්‍රිය ගීත කිහිපයකි.

1946, ඔහු නාට්‍ය පිටපත් රචනයට අවතීර්ණ වූ අතර, වනරාජ කුමරිය, සක්විති රාවණා, සහ ලෝකාන්තය සහ ගැට වැනි ඉතා ප්‍රසිද්ධ නාට්‍ය රචනා කළේය. අරිසෙන් අහුබුදු හෙළ හවුලෙහි අවසන් ප්‍රමුඛයා මෙන්ම අවසාන ප්‍රකට ගී පද රචකයාද විය.

මේ වියතාණන් 2011 මැයි 26 දින දැයෙන් සමුගත්තේ හෙළ බසින් හෙළය පුබුදු කළ ඔහු පිළිබඳ කතා කරන්නට තවත් බොහෝ දෑ අප අතර ඉතිරි කරමිනි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.