සෙත් කවියෙන් සහනය ලැබෙන අයුරු

ජූලි 7, 2023

තාක්ෂණය කෙතරම් දියුණු කාල වකවානුවක් වුවද තමාට අත පෙවිය නොහැකි මානයේ සිදුවන කාරණාවන් හිදී ගුප්ත විද්‍යාවේ පිහිට සෙවීමට මිනිස්සු අතීතයේ මෙන්ම අද පවා යුහුසුළු වෙති.විශ්වය ශක්ති බලාගාරයකි. එහි නිරන්තරව සිදු වන ශක්ති ගලනයන්ගේ අසීමිත නිර්මාණ අතර ජනිත වූ අපට ඉන් ගත හැකි ප්‍රයෝජන අපමණය.

 

සෙත් කවි කියවීම එහි තවත් එක් ක්‍රමවේදයකි. සෙත් කවියකින් බලාපොරොත්තු වන්නේ කුමක්ද ? එය ආයු වර්ධනය පිණිස , නීරෝගී සුව ලැබීම හෝ එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන අධ්‍යාපනය , විවාහය , රැකියාව ආදී යම් කිසි කරුණක් සම්බන්ධව තමාට විසඳාගත නොහැකි තත්ත්වයක්, සැනසිලිදායක ලෙස ඉටු කර ගැනීම සඳහා අවශ්‍යතාවය නිරවුල්ව, පැහැදිලිව පවසා ශබ්ද තරංග ශක්තියෙන් ඉටු කර ගැනීමයි.

ශක්තිය නිරතුරුවම වෙනස් වෙමින් , විවිධ හැඩතල මවමින් ගලා යයි . ශබ්ද තරංග වූ කලී ශක්තියේ තවත් එක් ස්වරූපයකි. වදන් තුළින් අරුත් පණ ගැන්විය හැකි සිහල බස උරුමව උපන් ඔබ අප සැබැවින්ම වාසනාවන්තයෝ වෙමු. ශබ්දය හැඩ ගන්වනු ලබන්නේ වචනාර්ථයන්ය. වචනාර්ථය හා හැගීම් මගින් ශබ්ද තරංග පණ ගැන්වීම තුළින් අරමුණ ඉටු කර ගැනීමේ ක්‍රියාවලිය සෙත් කවියක අරුත ලෙස දකිමි.

අර්ථ සිද්ධිය උදෙසා සෙත් කවි නිර්මාණයේදී රචකයා විසින් පාරම්පරික සම්මතයන් මත පිහිටා කටයුතු කිරීම හේතුවෙන් සේවා ලාභියාට මෙන්ම කාව්‍ය රචකයාට ද මහත් යහපත සලසා ගත හැකිය. සිවු පදයක් එළිසම තුළ රඳවා ගැනුමට සමත් වූ පමණින් සෙත් කවි නිර්මාණයේ යෙදීම දැලි පිහියෙන් කිරි කෑම වැනි ක්‍රියාවකි. සෙත් කවියක වදන් බල ගැන්වීමේ ලා රචකයා දැන සිටි කරුණු ස්වල්පයක් සහ රචකයා සතු විය යුතු ගුණාංගයන් මෙන්ම සේවා ලාභියා සැපිරිය යුතු සුදුසුකම් පළිබඳව ද කරුණු ලුහුඬින් ඉදිරිපත් කිරීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙමි.

සාමාන්‍යයෙන් සෙත් කවි රචකයා මනස නොමේරූ ළාමක වියේ හෝ චින්තන ශක්තිය දුර්වල වන්නා වූ වයස්ගත වූවකු නොවීමද මැනවි. වයස 30-70 අතර පසු වන්නා වූ ජීවිතය පිළිබඳ මනා අවබෝධයක් සහිත සිතුවිලි දහරාවන්ගෙන් යුතු, දමනය කළ හැකි ඉඳුරන් සහිත, පිරිසිදු ප්‍රිය වදන් හසුරවන, නිරෝගී , කලාවේ නිපුණ, මෛත්‍රී සහගත පුද්ගලයකු වීම මෙන්ම ක්ෂත්‍රීය , බ්‍රාහ්මණ , වෛශ්‍ය , ශුද්‍ර කුලයක උපන් ගණිත ශාස්ත්‍රය මනාව දත් අයකු වීම මැනවි.

එසේම සෙත් කවියේ ඵල දරන්නාද පිරිසුදු , පිංවත්, ජීවිතය පිළිබද යම් අවබෝධයක්, දැනුමක් ඇති , ගුණවත් පුද්ගලයකු වීම ක්ෂණික ඵල දැරීමේ ලා හේතුවේ. සෙත් ප්‍රාර්ථනා දරන්නා ධර්මානුකූල ජීවිතයක් ගත කිරීම මෙන්ම දාන, ශීල, භාවනාදී කටයුතුවල නිරතවීම තුළින් පෙර පින් මතු කර ගැනීමට උත්සුක වන විට ප්‍රාතිහාර්‍යයන් සේ තම අරමුණු ඉෂ්ට සිද්ධ වන අයුරු දැකිය හැකිය. එලෙසම කාව්‍යය කෙතරම් බලවත් වුවද ග්‍රාහකයා අකුසලයෙහි ගිලී ඇත්නම් ද ප්‍රතිඵල දැකිය නොහේ.

සෙත් කවි නිර්මාණයේදී ගණ පිහිටුවීම කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. ම ගණය ආදී අටගණයට අයත් දේවතා බල ඵල විපාක සලකා කාව්‍යය ආරම්භය මැනවි .

ඉෂ්ට අනිෂ්ට ගණ දැන, අදාළ කරුණට ජය වඩන ගණය තෝරා කාව්‍යාරම්භය මෙන්ම පද ගෙතුමෙහි ලා එම ගණය වැඩිමනක් යොදා ගැනීම කාර්‍ය සිද්ධියට හේතු වේ.

ම ගණය සව් සැප කෙරෙහිද න ගණය දීර්ඝායු බල හා ශ්‍රියාව වැඩීමට ද බ ගණය යසස, ඤාණය, කීර්තිය වැඩීමට මෙන්ම ය ගණය ධෛර්යය හා සැප සම්පත වර්ධනයට හේතු කාරණා යොදයි.

එසේම ත, ජ, ස, ර ගණ කාව්‍යයක පළමුව හෝ බහුල ලෙස යෙදීම නොවිය යුතුය. අශුභයි . දුක්, රෝග, විනාශ හා ඇවිදිලි ආදියට හේතුයි. නමුදු අවශ්‍යතානුකූලව මෙම ගණයන්ද ප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීමට රචකයා දක්ෂ විය යුතුය .කිසියම් රෝග, උවදුරු හෝ දුර්ගුණ විනාශය උදෙසා ද විදේශගත වීම් ආදී කරුණු වලදී මෙහි අවස්ථා සකසා ගත හැකිය. ග්‍රාහකයාගේ ජන්ම නැකතට සීහුම් නැකතකින් කාව්‍ය ප්‍රබන්ධය ආරම්භ කළ යුතු අතර, නාමාක්ෂරයන්ට ශුභ ලෙස යොදා ගැනීමද කළ යුතුය.

වේදයානුකූලව චතුර් වංශකයින් සඳහා කාව්‍ය නිර්මාණයේදී ඔවුනොවුන්ට හිමි අක්ෂර පළමුව යොදා ගැනීමද ග්‍රාහකයාගේ නමට පෙරත් පසුවත් යෙදෙන අකුරු ව්රුද්ධ නොවන යෝනීන්ට හිමි වීමද කාව්‍ය බලවත් කිරීමට හේතු වේ.නාමයේ අකුරු හා කාව්‍ය ප්‍රබන්ධයේ අකුරු ඉෂ්ට යෝනී වන ලෙස කාව්‍ය ආරම්භය මෙන්ම පක්ෂියා බලවත් ලෙස යොදා ගැනීමෙන්ද අර්ථ සිද්ධිය පහසු කර ගැනීමට ඉවහල් වේ. සෙත් පැතුම නිර්මාණය කර ගැනීමේදී ග්‍රාහකයාගේ නිතර භාවිතා වන නම යොදා ගත යුතු අතර ග්‍රාහකයා ගේ වර්ණයට හිමි සුගන්ධ පූජාවන්, මල් පූජාවන් ආදිය පැවැත්වීම ද ප්‍රතිඵල යහපත් කර ගැනීමට හේතු වේ.

ගායනා කරන්නාට මෙන්ම අසා සිටින්නාට ද අදහස නිරවුල්ව හැඟෙන ලෙස සුබ වදන් යොදා ගනිමින් සෙත් කවිය ප්‍රබන්ධ කළ යුතු අතර ඒ සඳහා පුර පස ශුභ හෝරාවක ඉටු දෙවි පුදා කටයුතු ආරම්භ කිරීම කළ යුතුය. ඒ සමග දෝෂ නොයෙදෙන ආකාරයට කාව්‍ය රීතීන් පළිබඳව ද සැලකිලිමත්ව සකසන ලද සුබ සෙත් කවිය ගායනා කිරීම තුළින් විශ්වයට මුදා හැරෙන ශබ්ද තරංග, ගැයෙන ඇසෙන සිත් වල ඇති වෙන හැගීම්වලින් පෝෂිතව කාව්‍යයේ අරමුණ ඉටු කිරීමේ ලා මහත් මෙහෙයක් ඉටු කරනු ඇත.

විශ්ව ක්‍රියාකාරිත්වය සැබවින්ම විශ්මයජනකය.

විශ්වයේ ශක්තීන් ක්‍රියාත්මක වනුයේ විශ්වාසය පදනම් කරගෙනය. විශ්වාසයක් ගොඩ නැගීම උදෙසා මානසික ඝට්ටනයක් නොවිය යුතුවා මෙන්ම තම පිරිසුදු අදහස් ද ඊට ඉවහල් වේ.

මෙලෙස සකස් කරන්න යෙදුණ සෙත්කවි වරකට සත් වතාවක් හෝ අවශ්‍යතානුකූලව පවසනු ලබන වාර ගණනක් අවස්ථාවන් නවයකදී චක්‍රීයව පූර්ණ කිරීම මෙන්ම කාව්‍ය ගායනා ආරම්භය සීහුම් දිනෙක යොදා ගැනීමද වඩාත් සුදුසු වේ

දිව්‍යමය ශක්තීන් පිරි දිව උපයෝගී කර මුවෙන් නික්මෙන ශබ්ද තරංග මෙලෙස නිසියාකාරව මෙහෙයවීමෙන් අවැසියාව ඉටුකර ගැනීමට අදාළ වටපිටාව නැවත නිර්මාණය වී බලාපොරොත්තු වන්නා වූ සහනය ඔබ⁣ කරා ළඟා වීමට කටයුතු සැලසෙනු ඇත.

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.