ඉඳුල් කට ගෑමේ චාරිත්‍රය

අප්‍රේල් 21, 2023

ඔන්න අදත් ඔයාලාට වටිනා ලිපියක් රැගෙනයි ආවේ. විශේෂයෙන්ම දරු සුරතල් බලන මවට පියාට දරුවා ඉපදිලා මාස 06ක් පමණ ඉක්මයාමත් සමඟ දරුවාට ඉදුල් කට ගෑමේ අවස්ථාව උදාවෙනවා. මේ සුබ කටයුත්ත කෙසේද කොහොමද සිදුකරන්නෙ කියන කාරණාව ගැන හරියටම ඔබව දැනුම්වත් කරමින් කතා කරන්නයි අද සූදානම් වෙන්නේ.

මේ පිළිබඳ කටුයුතු කළ අන්දම ඈත අතීතයේ හෙළ මහා තාක්ෂණ අවධිය දක්වා දිව යනවා. එනම් මහා රාවනා රජ දවසත් එතැනින් ඔබ්බට මෙම චාරිත්‍රය දිවයනවා. එකල සූර්‍යයා වන්දනා මාන කරන ඉතාමත් අභිමානවත් කාල සීමාවක්. විශේෂයෙන්ම මෙම සුබ කර්තව්‍යය එකල සුර්‍යයා නැග එමත් සමඟම ඉතාමත් උත්සවාකාරව සිදු වූවා. එය කෙමෙන් කෙමෙන් විකාශනය වී අද එය ‘භත්ති පාරිභෝග මංගල්‍යය ‘ ලෙස විකාශනය වී තිබෙනවා.

මෙහිදී ජන්මියාට ලුණු මිරිස් දෙහි ඇඹුල් හා කුලුබඩු මිශ්‍ර කර පිසින ව්‍යාංජන සමඟ බත් ප්‍රථම වරට අනුභවය සිදුකරනු ලබනවා.

දරුවා උපන් දා සිට මාස 06ක් යන තුරු මව්කිරෙන් හා දියරමය ආහාර මඟින් පෝෂණය වී ඉන් පසු ඝන ආහාරවලට හැඩ ගැසිය යුතුයි. දරුවා කෙමෙන් කෙමෙන් වර්ධනය වන විට යම් යම් දෙවල් අතට අහු වෙයි. ඒවා කටේ දා ගැනීමට උත්සාහ කරයි. එයට පෙර මෙම ඉඳුල් කටගෑමේ චාරිත්‍රය සිදු කිරිම වැදගත් වෙනවා.

විශේෂයෙන්ම පිරිමි දරුවකු නම් මාස 06, 08, 10, 12 යන කාල වලදීද, ගැහැනු දරුවකු නම් මාස 07,09, 11 යනාදී මාස වලද මෙම මංගල කටයුත්ත සිදු කළ යුතුයි.

මෙහිදී නැකත් තෝරා ගැනීමේදී පුෂ, අනුර, උත්‍ර්පුටුප, පුනාවාස, සා, සියාවාස, මුවසිරස, සිත, දෙනට, හත, රෙහෙණ, උත්‍රපල් ආදි නැකත් තෝරා ගැනීම ඉතාම සුබ වෙනවා.

මෙහිදී දරුවාගේ උපන් නැකතට අනුව ඉහත කී නැකත් ගණනය කර එය ජන්ම, සම්පත්, මෛත්‍රී, පරම මෛත්‍රී වගේම සාධක නැකතකට එන ලෙස සාදා ගත යුතුයි. එමෙන්ම මෙය සාදා ගන්නාවිට පුර පසොළොස්වක, අමාවක යන දිනයන් බැහැර කළ යුතුයි.

එලෙසම දරුවා උපන් ලග්නයෙන් 08 වන රාශිය අත්හැර දැමීමට ජෝතිර්වේදියා වග බලා ගත යුතුයි.

අනිවාර්යයෙන්ම නැකත සාදා ගන්නාවිට එම වේලාවට අදාළ තත්කාල කේන්දරය සාදා ගත යුතුය. එසේ සාදා ගන්නාවිට වෘෂභ, සිංහ, කුම්භ යන ලග්නයන් ඉතා සුබයි. ඒවගේම මේෂ, වෘශ්චික හා මීන යන තත්කාල කේන්දරයන් බැහැර කළ යුතුයි.

එලෙසම මෙම සියලු කටයුතු අවසානයේ එදිනට යෙදී ඇති තිථියද වැදගත් වේ. එයද බැලීම කළ යුතුය. එහිදී පුර පක්ෂයේ තිථි පමණක් භාවිතා කළ යුතුයි. පුර පක්ෂයේ තිථි 15 අතරින් පෑලවිය, දියවක, තියවක, සතවක, දසවක, එකොලොස්වක, විසේනිය, තෙළෙස්වක යන තිථි ඉතාම සුබයි.

මෙම නැකතට පෙර දින තමන් අදහන ආගමානුකුලව කටයුතු කර ආශිර්වාදය ලබා ගත යුතු වෙනවා. විශේෂයෙන්ම පන්සලකට ගොස් මල් පහන් පුජා කර ආශිර්වාද ලබාගෙන දාගැබකට වන්දනා මාන කර පැන් කල 07ක් හෝ 09 කින් බෝධීන් වහන්සේ දෝවනය කර ආශිර්වාදය ලබා ගැනීම කළ යුතුයි.

ඇල් හාලේ බත්, කිරි හොදි, කැවුම් කෙසෙල් ආදිය ද කෙසෙල් කොළයක අතුරා, පැඳුරක් මත තබා අදාළ ජෝතිෂවේදියා ලබා දෙන නැකතට දිසාවට අනුව පහන් පත්තු කර අදාළ චාරිත්‍රය කිරීම සුබදායක වෙයි. එහිදී මුහුණ බලන කණ්නාඩියක්,සෙල්ලම් බඩු, පොත් පෑන් පැන්සල් ආදිය තැබිම කළ යුතුය. පුතෙක් නම් මව විසින්ද, දුවක් නම් පියා විසින්ද අදාළ මංගල කටයුත්ත කරනවා නම් ඉතාම සුබයි.

ඉන් පසුව දරුවාට අදාළ ද්‍රව්‍යවලින් කැමති දෙයක් තෝරා ගැනීමට ඉඩ සලස්වා එයින් දරුවාගේ අනාගතය කෙසේද යන වග මැන බැලීමට හැකි බව චාරිත්‍රානුකුලව පැරණි මතයක්ද ඇත.

 

ජ්‍යෝතිෂවේදී මාවනැල්ලේ

සශේනක දිලාන් බණ්ඩාර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.