වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
අවුරුද්දට නැතිවම බැරි බුලත් හුරුල්ල
සිංහල ජන ජීවිතය හා බැඳී පවත්නා බුලත් සිංහල අවුරුදු සමයේදී විශේෂ තැනක් ගනී. අවුරුද්ද එහෙම් පිටින්ම සංස්කෘතික උත්සවයකි. ඒ ලක්ෂණයන්හි ‘බුලත’ නොයෙක් ආකාරයෙන් කැපී පෙනේ. ගෙවී යන වර්ෂයේ සියලුම තරහ මරහා අමනාපකම් දුරලා නව වර්ෂයට කාගේත් ආශිර්වාදය මැද්දේ ප්‍රබෝධයෙන් විසීමට වැඩිහිටියන් වෙත බුලත් අත පුදා වැඳ නමස්කාර කරමින් ගෞරවය දක්වයි.
දෙමාපිය, වැඩිහිටි ඥාතීන් පමණක් නොව ගමේ වෙද මහතා, මුල්ගුරු මහතා, නායක හිමියෝ, ආදිහුද ගම් වැසියන්ගේ බුලත් හුරුල්ලෙන් පිදෙයි. ඔවුන්ගේ ආශිර්වාදය මේ අවධියේ අවශ්‍යය. ‘බුලත’ ඒ තරම් වැදගත් ය. පැරණි අමනාපකම් සියල්ල මුළුමනින්ම දුරලා නැවුම් අයුරින් අන්‍යෝන්‍ය සහජීවනය සම්බන්ධය ඇති කරලීම බුලත් හුරුල්ලට කල හැකි වෙයි. වැඩිහිටියන්, ගුරු දෙගුරුන් හමු වීමට අවුරුදු සමයේ යන කල බුලත් අත රැගෙන යනු පෙනේ. අවුරුදු සමයේ ‘බුලත’ කෙතරම් වැදගත්ද? ඒ නිසාම බෙහෙවින් අලෙවි වීම නිසා බුලත් නිෂ්පාදකයන්ට වැඩි වාසියක් ලැබිය හැකි කාලයකි. මන්ද යත් මිල කීය වුවද ‘බුලත’ විකිණෙන හෙයිනි.
අවුරුදු සමයේ “ගෙවල් හුවමාරු කිරීමේ සිරිත” බලන කල තුටු පඬුරු හුවමාරුව වන්නේ බුලත් කොළයේ දවටාය. නෑ ගෙවල්වලට ගොස් එන කල සතයක් අරන් යන්නැයි කියමින් බුලත් කොළයක ඔතා මුදලක් දීමේ සිරිත අවුරුදු චාරිත්‍රයකි.
බුලත් අත හෙවත් බුලත් හුරුල්ලට කොළ 40ක් අවශ්‍යය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයේ දත් හතළිහකි. ඒ ආශ්‍රයෙන් මුලින්ම දත්වලට ‘බුලත’ අසුවන හෙයින් බුලත් අතට කොළ 40ක් තැබෙන බව අදහසකි. මෙලෙස බුදුහිමියන්ට ගෞරවයක් ලෙස බුලත් අතට අවශ්‍ය කොළ ප්‍රමාණය සම්මතයට ආ බවක් පෙනේ. බුලත් හුරුල්ල සකස් වනුයේ කොළ 20 බැගින් වූ කොටස් දෙකකිනි.
නොයෙකුත් චාරිත්‍ර හා ‘බුලත’ සම්බන්ධ වෙයි. විවාහය සම්බන්ධිත බොහෝ සිද්ධීන් ‘බුලත’ හා සම්බන්ධය. කිට්ටුම ඥාතීන්ට මංගල්‍ය ආරාධනය කරනුයේ බුලතිනි. බුලතින් කරන ඇරැයුම ඉතා ගෞරවනීය එකක් ලෙස සැලකේ. එක් කොටසක් බුලතින් ඇරයුම් කොට තවත් කොටසකට ලියුමකින් හෝ අන් ක්‍රමයකින් ආරාධනා කළහොත් එය බලවත් අමනාපයට හේතුවෙයි. සමහරවිට එය ජීවිතාන්තය දක්වාම අමනාපයකට තරම් තුඩු දේ. මනාල පාර්ශ්වයේ මෙන්ම මනාලිය පාර්ශ්වයද යම් යම් අංශ සම්බන්ධයෙන් බුලතට තැන දිය යුතුව ඇත. පෝරුව චාරිත්‍ර අතර, ‘බුලත’ පෙනේ. දියණියගේ මුදල් ආදිය දෑවැදි වශයෙන් දෙන කල ඒ දෙන්නේ බුලත් තට්ටුවේ තබාය.
‘බුලත’ නොයෙක් දෑ සංකේත ලෙසින්ද එයි. පෝරුවේ චාරිත්‍ර වලදී උතුම් මංගල ලක්ෂණයක් ලෙස ‘බුලත’ නිතරම සංකේත වෙයි. මනාල යුවළගේ ඉලත්තට්ටු දෙකේ කොළ එකිනෙකට ඥාතීන් විසින් මාරු කළේ දෙපසේ එක්වීම, සමගිය, සහයෝගය, සහජීවනය වැනි කරුණූ සංකේත කරමිනි. පෝරුවේදී මනාලයා විසින් “මාමණ්ඩිය” වෙත අංග සම්පූර්ණ බුලත් මඩිස්සයක් පිළිගැන්වීමෙන් එදා අදහස් කළේ දියණියට තමා අංග සම්පූර්ණ යස ඉසුරු සහිත ජීවිතයක් ගෙන යෑමට කටයුතු සැලසීම විය හැකිය. එලෙසම අවමංගල චාරිත්‍ර වලදී ද ‘බුලත’ සංකේතාත්මකව කරුණු දක්වයි. අවමංගල දැන්වීම කරනුයේද බුලත් කොළය නොපිටට හරවාය. කනගාටුදායක අවාසනාවන්ත කරුණු ඉන් හඟවයි.
ඉඳුල් කට ගෑමේදී කෙසෙල් කොළයේ බත් වටා බුලත් තැබීමේ සිරිත වෙයි. පිරිත් මණ්ඩපයේ උඩු වියනේද බුලත් කොළයට තැන් ලබයි. පරිත්‍රාණ ධර්ම දේශනාවේදී දැහැත් වට්ටිය භික්ෂූන් වහන්සේට ගෞරවාන්විතව පිදීමෙන් පිරිතට ආරාධනා කෙරේ. බුද්ධ පූජා, ගිලන් පස පූජා, සාංඝික දානමය කටයුතු ආදී නොයෙක් තැන්හිදී ‘බුලත’ බැඳේ. දෙවියන් පිදීමට ‘බුලත’ රැගෙන යයි. යාග හෝම බලි තොවිල් ආදි කටයුතු වලදී ඒ ඒ ප්‍රමාණ වශයෙන් ‘බුලත රැඳේ. හාල්, පොල්, රත්මල් ආදිය සමඟ මල් යහනාවට බුලත් වඩී. ‘මල් බුලත් තටුව ගැන සිහි කළ හැකි වෙයි.
ආරාධිත අමුත්තන් පිළිගැනීම බුලත් හුරුල්ලෙන් සිදු වෙයි. මුලින්ම අකුරු ඉගෙනීමට පන්සලට හෝ ගුරුතුමා ළඟට යනුයේ වෙන කුමක් නැති වුවත් බුලත් අත රැගෙනය. දරුවා මුලින්ම පාසලට භාරදීමට බුලත් අත රැගෙන යාමට අමතක නොකරති. බෙහෙත් හේත් සඳහා වෙද මහතා වෙත මුදල් නොව බුලත් හුරුල්ල ගෙන ගියහ. ශාස්ත්‍රකරු, හමුවීමට ගියේ බුලත් අත සමඟය. වැදගත් මහත්මයෙකු හමුවීමට බුලත් අත ගෙන ගොස් ආචාර කෙරේ. කිසියම් උත්සවයකට හෝ වැදගත් කරුණක් සම්බන්ධ ආරාධනය කිරීමට ද බුලත් හුරුල්ල වැදගත් තැනක් ලබයි. කෙතරම් නවීන තෑගි බෝග තිබුණද ‘බුලත’ තවමත් ඉදිරියට එයි. පාසල් නිවාඩුවෙන් පසු බිස්කට් පෙට්ටිය, කේක් ගෙඩිය වැනි දේ ගෙන ගියද බුලත් හුරුල්ලද ගෙන යනු පෙනේ. පැරැණි ආවේණික සංස්කෘතික ලක්ෂණ රැකගෙන එන පිරිස් අප අතර වීම වැදගත් ය.
බුලත් සැපීම සිංහල ජනතාව අතර, ඈත කාලයක සිට පැවත එන ලක්ෂණයකි. පැරණි රජවරු, සිටුවරු ආදීන් අතර පවා බුලත් කෑමේ සිරිත පැවතිනි. නොයෙකුත් ඓතිහාසික තොරතුරු ඒ පිළිබඳව දක්නට ලැබෙයි. “බත් බුලත් දී සතපා (පූජාවලිය) බත් කා අන්තයෙහි බුලත් කා (සද්ධර්ම රත්නාවලිය) ආදී විවිධ තැන් උපුටා දක්වා ලිය හැකිය.
කිසියම් ආගන්තුකයකු ගෙදරකට ගිය කල්හි ඔහුට අසුන් ගන්නට ආරාධනා කොට, ඉක්බිති ප්‍රථම කොටම කරන සංග්‍රහය නම් බුලත් දීමයි.
ආහාර අනුභවයෙන් පසු බුලත් විටක් කෑම ආහාර දිරවීම පහසු කරලයි. රාත්‍රී මස් අනුභවයෙන් පසු ගෙයින් බැහැරව යන්නේ නම් බුලත් විටක් සපාලීම අවශ්‍යයෙන්ම කළ යුත්තක් සේ සැලකුයේ නොඑසේ නම් භූත බලපෑම් වලට අසුවේය යන හැඟුම නිසාය. ශ්‍රී ලංකාවේ කෞතුගාරයෙහි දක්නා පැරණි බුලත් ඉලත්තට්ටුව, පිත්තල වංගෙඩි, කිල්ලෝට ගිරා ආදියෙන් ජන සමාජයේ බුලත්වලට පැවති සැලකිල්ල පෙනේ.
ලෙඩ රෝග වළක්වන ඖෂධ ගුණයක් බුලතේ අඩංගුය. විෂ නාශකයකි. රෝග බීජ නාශකයෙකි. හෘද රෝග වැළැක්වීමට සමත්ය. දත්වලට ගුණදායකය. බුලත් සැපීම ද පමණට කළ යුතුªය. වඩාත් අනුභවය විදුරුමස් රතු වී පිළිකා ආදියට හේතුවේ යැයි අදහසකි. හකු පිළිකා සම්බන්ධයෙන් බොහෝ දෙනා දක්වන්නේ අධික ලෙස බුලත් හැපීම බුලත් හපය හක්කේ තබා ගැනීමත්ය.
බුලත් විට හැපීමද ක්‍රමවත් ලෙස කරනු පෙනේ. කොළය පිරිසුදු කර ගැනීම, දෙකොන කැඩීම, හුණු ගෑම, පුවක් හැපීම ආදි සියල්ල විධිමත් ලෙස කෙරේ. සමහරු බුලත් කොළයේ උඩ පැත්තේ හුණු තවරා ලියූ පුවක් හෝ කරුංකා කැබැලිද දුම්කොළ කැබැල්ලක්ද තබා බුලත් කොළය තබා ගුලි කොට කටේ රුවා ගනියි. කෙසේ වුවත් බුලත් විටට ගන්නා හුණු ප්‍රමාණය බුලත් කොළයේ උලාගත් පසු ඉතිරිවන කොටස ඒ සීමිත ස්ථානයේම උලා ඇඟිල්ල පිරිසුදු කර ගැනීමේ සිරිත හුණු පහරින් ස්ථානය අවලස්සන කිරීමට තුඩු දේ. නිරතුරු බුලත් හපමින්, අතන මෙතන කෙළ ගසමින්, ඇඟිල්ලේ හුණු සිතුණු තැන උලමින් ක්‍රියා කරන්නෝ බුලතේ වැදගත්කමද කෙලසන්නෝය.
බුලත් බහුල ගම්පහ, මිනුවන්ගොඩ, අලව්ව ආදී පළාත් වලය. සාමාන්‍යයෙන් දිවයින පුරාම බුලත් වැවෙයි. රත්නපුර පළාතේ ගිලීමලය බුලත්වලට බෙහෙවින් ප්‍රකටය. බුලත් වර්ගද විවිධ ලෙස වෙයි. නාගවල්ලි යනුවෙන් වෙනමම බුලත් වර්ගයක් ඇතැම් පළාත්වල හැඳින්වෙයි. ඒ අතර ‘නාගවල්ලි‘ බුලතටම කියන තවත් නමක් ලෙස ව්‍යවහාර වෙයි.
බුලත් සැපීමේදී බුලත් කොළයේ දෙකොන කැඩීමේ සිරිත හා සම්බන්ධ කථා පුවත්ද වෙයි. බුලත වස මුසු බවටද යොදා ගන්නක් හෙයින් එසේ දෙකොන කඩන බව අදහසකි. නාගයින් බුලත මනුලොවට ගෙන ඒමේදී කොළයේ දෙකොන කටින් අල්ලාගෙන ආ නිසා විෂ ඇති හැඟුමෙන් එලෙස දෙකොන කැඩීමේ ආ සිරිත බවද අදහසයි.