වියදම් කරලා කළ ගුරුකම හරි නොගියේ ඇයි?

1 කොටස
මාර්තු 3, 2023

 

 

මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්ට කලින් අපි ගුරුකම් කරන්නෙ ඇයි? ඒක වරදක්ද? එහෙමත් නැත්නම් අකුසලයක්ද? මගේ පුද්ගලික අදහස නම් වරදක්වත් අකුසලයක්වත් නොවේ. ගුරුකමක් කරන්නෙ කුමන අන්දමින් හෝ කිසියම් අසරණ තත්ත්වයකට පැමිනුණු විටයි. එහෙනම් ගුරුකම් කිරීම වැඩි වශයෙන් පවතින්නෙ අසරණ වූ විට නම් මේක අසරණ සරණයක්. අපි පුංචි උදාහරණයක් ගනිමු.

 

එක්තරා ගැහැනු දරුවෙක් තවත් පිරිමි දරුවෙකුට ආදරය කරල තදින් විශ්වාස කරලා තමා සතු හැම දෙයක්ම ඔහුට පූජා කරලා කලක් ගියාම හේතුවක් නැතිව තරහවෙලා මඟහරින්න ගත්තාම මොකද කරන්නෙ ගුරුකමක් කරනවා මිස. නඩු කියන්න කෝ මුදල්, පොලිසි ගිහිල්ලා කොහොමද ඔප්පු කරන්නෙ. එහෙම වුනාම තිබෙන ගෞරවයත් නැති වෙනවා මිස. පිරිමි පාර්ශ්වයටත් ඒකම තමයි. මේවාට හේතුව කියන්නේ නානාප්‍රකාර බොරු මුසාවල්. අම්මල කැමැති නැහැ. කුලමල ජාතිය හරස් වෙලාලු. මේවා කලින් දැන සිටියේ නැද්ද? මේ වගේ ප්‍රශ්න කොච්චර තිබෙනවද? අසරණ වූ පාර්ශ්වය ගැනයි මේ ලිව්වේ. අද ‘යූ ටියුබ්’ නාලිකාව බැලුවොත් වලපනේ ගමේ තිබෙන්නෙම වශී ගුරුකම්. ඔක්කොම මෑණියෝලා පැය 2 න් 3 න් ගෙන්වනවාලු. එතෙර හිටියත් ගෙන්වා දෙනවා කියනවා. මේවා නාට්‍ය පිටපත්. හරියටම කරන අය නැතුවාම නොවේ. හොයා ගන්න අමාරුයි. හරියට කළානම් වැරදුනේ කොහොමද? අඩුම ගානේ වැරදුන හේතුවවත් දැන සිටියා නම් නිවැරැදි වන්න තිබුණා ඉදිරියට.

ගුරුකම් කිව්වේ අදෘශ්‍යමාන බලවේගයකින් වැඩ ගන්න එක. ඡ්‍යෝතිෂය කරනවා නම් මූලිකව ‘පංචාංගය’ ගැන හොඳ දැනීමක් ඕනෑ. ඒකවත් නොදැන ඡ්‍යෝතිෂය කරන්න බැහැ. ගුප්ත ශාස්ත්‍රය ප්‍රායෝගිකව කරන්න ඊට වඩා දැනුමක් තිබෙන්න ඕනෑ. අඩුම තරමින් අවශ්‍ය ගුරුකම කරන ක්‍රමය, දීර්ඝ මන්ත්‍ර, ජප මන්ත්‍ර, ප්‍රාණ මන්ත්‍ර, පලිප්පු මන්ත්‍ර, ස්ඵුටය, ආරක්ෂක මන්ත්‍ර, තහංචි මන්ත්‍ර, වැනි දේවල් ගැන හොඳ අවබෝධයක් තිබෙන්නට ඕනැ. අනික තමයි මතුරන කොට එන දර්ශනවලට බය නොවන්න ඕනෑ. මෙවැනි ශාස්ත්‍ර ක්‍රියාවට නැංවීමේ දී අනිත් ශාස්ත්‍ර වගේ නොවේ හරිම අමාරුයි. මොකද දන්නවද ඕනෑම ශාස්ත්‍රයක් කරන්නෙ දෘශ්‍යමාන අය සමඟ. මේ ශාස්ත්‍රය කරන්නේ ඇසට නොපෙනෙන අල්ලන්න බැරි අය සමඟ. අනික වැරදුනොත් එතැනත් ප්‍රශ්නයක්. තව දෙයක් තමයි අනිත් ප්‍රශ්න විසඳන්නෙ ආලෝකය තිබෙන තැන. මේක කරන්නෙ තද අඳුර තිබෙන තැනක. හැම අතින්ම පරස්පරයි. ගුරුකම් කරනව නම් ඒ ඒ නියම ක්‍රමයම අනුගමනය කරන්න ඕනෑ. මුදලට බලයට හඹා ගියොත් කරන කෙනත් අමාරුවේ. මරණය, සිහි නැතිවීම් වන්නත් බැරි නැහැ. ලොකු ගුරුකම් කරන කොට ගෝලයා ඉතා විශ්වාසවන්තම වන්ට ඕනෑ. බය නොවන්නම ඕනෑ. විශේෂයෙන් ගුරුකම් කරන කොට ඊට කලින් කිසියම් හෝ ගුරුවරයෙක් සමඟ ඔහු යටතේ වැඩ කරන්නම ඕනෑ. එතකොට තමයි දුටු පුරුද්ද, කල පුරුද්ද ලැබෙන්නෙ. ලොකු ගුරුකම් කරන කොට නම් දිෂ්ටිය ආ බව සංඥා කරනවාමයි. මහ රාත්‍රියේ මේ විදියේ බය හිතෙන දර්ශන දකින කොට කාටද බය නොහිතෙන්නේ. ඒක නිසා කිසියම් ගුරුවරයෙක් යටතේ වැඩ කරල පුරුද්ද ඇති කර ගන්නම ඕනෑ. ඊළඟ කාරණය තමයි ඕනෑම වැඩකදී කළ යුත්ත නොකළ යුත්ත හරියටම තේරුම් ගන්න ඕනෑ. ගුප්ත ශාස්ත්‍රයේදී මුදල් ගත්තාට කාරි නැහැ. ඒ තමාගේ මහන්සිය. නැතුව මුදල් පස්සෙ හඹායෑම හරි නරකයි.

ඡ්‍යොතිෂයේදී මරණය ගැන විග්‍රහ කරන ‘චුල නක්ෂස්ත්‍රය’ ඉගෙන ගන්න ඕනෑ තමයි. ඉගෙන ගත්තාට, ඒක ක්‍රියාවේ යොදවන්න හොඳ නැහැ. ඒ වගේ වශී ගුරුකම්වලදි ශරීරයෙන් පිට නොවන මිශ්‍රණ, දේවල් දෙන්ට හොඳ නැහැ. එහෙම වුණොත් ඒ පාපය ඉදිරියටම අරගෙන යාවි. බොහෝ අය ඔය දේවාල පවත්වාගෙන යන අය ගුරුකම් කරන්නෙ දෙවි කෙනෙක් පසුබිමේ තබාගෙන. දෙවියෝ කිව්වේ යහපත් අය. යහපත් අය ගුරුකම් කරන්නෙ කොහොමද? දෙවියන්ට ගුරුකම් කරන්ට බැහැ. දෙවියො කියන්නෙ මනුෂ්‍යයාට වඩා පහළින් ඉන්න බලවේගයක්. අපේ බොහොම අය දෙවියන්ට මුල්තැන දීලා මනුෂ්‍යයා දෙවන තැන ගන්නවා. තමුන්ගේ තැන තමුන්ම නැති කර ගන්නවා. එහෙම කරල මිනිසුන් මුලා කරල සල්ලි ගරා ගන්නවා. ගුප්ත ශාස්ත්‍රය වැඩ කරන කොට පළමු, ශ්‍රේෂ්ඨයා මිනිහා වන්ට ඕනෑ. දෙවියන්ට කතා කරන විදිය, ප්‍රේත භාෂාව, යක්ෂ අවතාරවලට අමතන විදිය දැනගන්ට ඕනෑ මිනිහා. ඔහුගේ අණට මේ අයව කීකරු කරගන්නට එපායැ. එහෙම නැති වුණොත් ඒ අය බලවත්වනවා. එතකොට ප්‍රශ්න ඇතිවනවා. අවසානයේ ගුරුකම අහක යනවා. වැඩක් නැති වෙනවා. ඔය වශී ගුරුකම්වලදී පැය 2 ක් හෝ 3 ක් තුළ ගෙන්වා දෙනවලු. එතෙර සිටියත් ගෙන්වනවලු. මේවා කොහොම කරනවද කියල වැඩේ බාරදෙන අයට වත් වැටහෙන්නෙ නැහැ. ඒ තරමටම ඒ අය අසරණයි. අහස් යානයක ආවත් එන්ට බැහැ. ඒ අයගේ එකම අදහස මුදල් ගැරීම. සමහර අය වයිබර්, ඉමෝ, වට්ස් ඇප් තුළින් කරදෙනවලු. මට නම් මේවා පුදුමයි. මේ වගේ වැඩ නිසා ගුප්ත ශාස්ත්‍රය දිනෙන් දින පිරිහෙමින් පවතිනවා. ශාස්ත්‍රයේ ගෞරවය නැතිවෙනවා. මේවා ගැන බලන්න කවුරුවත් නැහැ.

දන්නා කෙනෙක් කාගේ හෝ සුබ සිද්ධිය සඳහා කිසිම ගුරුකමක් කියාදෙන්නෙ වත් නැහැ. පසුගිය කොරෝනා ව්‍යසනයේ දී රෝගය බෝවීම නවත්වා ගැනීමට එක කෙම් ගුරුකමක් කරන විදියත් සමඟ නොමිල් පත්‍ර දෙකක පළකළා. ඒක පළකරලා සති 2කට පසුව ගුරුකම් කරනවා යයි කියන සමහරු මල්බුලත් පුටුව සාදා ගන්නා හැටි දුරකතනයෙන් ඇහැව්වා. ඒකවත් හදා ගන්න බැරි මන්ත්‍ර කාරයො තමයි ගුරුකම් කරන්නෙ. ඕකයි තත්ත්වය. හැබැයි ඇහැව්වොත් අරයගේ ගෝලයා පරම්පරාව මේකයි කියනවා. විශේෂ දෙයක් තමයි බුද්ධ පුත්‍රයන් වහන්සේලාත් මේ සමඟ සිටින එක. ඒ අය වැඩිපුරම කරන්නෙ දරු සම්පත් නැති අයට ඒක ලබාදෙන එකත් වශී ගුරුකමත් තමයි. මේවා කරන්නෙ නීච කුලයෙන් කිව්වට එක නීච කුලයක්වත් දන්නෙ නැහැ. බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ගුරුකම් කිරීම සැරියුත් රහතන් වහන්සේ තහනම් කළ එකවත් දන්නවද දන්නෙ නැහැ.

 

ඉතිරිය ලබන සතියට...

 

පාරම්පරික ගුප්ත විද්‍යාධර, ඡ්‍යෝතිෂවේදී,

මීපේගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.