සිහින ගැන නොඇසෙන කතා මෙන්න

මැයි 27, 2022

 

සමහර සිහින අර්ථවත් ලෙස සැලකීමත් ඉන් සමහරක් අර්ථ රහිත ලෙස බැහැර කිරීමත් වැරැදි නිගමනයකි. මන්දයත් සෑම සිහිනයකින්ම අප තේරුම් ගැනීමට අවශ්‍ය දෙයක් සංකේතවත් වීමයි. එමෙන්ම එකම සිහිනය නැවත නැවතත් පෙනීම අප වහාම කළ යුතු දෙයක් නිරූපණය වන බව විද්‍යාත්මක මතයකි. සිහින මඟින් අපට අනාගතයේ දී සිදුවන දෑ නිරූපණය විය හැකිය.

 

හැම සිහිනයක්ම මතකයේ නොරැඳේ

 

රාත්‍රියේදී අප සිහිනයක් දුටුවිට උදෑසන අවදිවන විට එය අපගේ මතකයේ තැන්පත් වී තිබේ. එහෙත් අපට එක් රාත්‍රියකදී සිහින දුසිමක් පමණ පෙනීමට හැකියාව ඇත. මෙය චක්‍රීය ක්‍රියාවලියකි. ආරම්භක සිහිනය මිනිත්තු 5ක් හා නින්දට පෙර දකින අවසාන සිහිනය මිනිත්තු 45ක් පැයක් පමණ පුරා දිව යා හැකිය. සෑමවිටම ඊළඟ සිහිනය ඊට පෙර සිහිනයට වඩා වැඩි කාලයක් දිග හැරෙයි. එහෙත් උදෑසන වන විට රැඳී තිබෙන්නේ ඉන් තත්ත්පර ගණනාවක මතකයක් පමණි. සාමාන්‍යයෙන් පුද්ගලයකු තම ජීවිත කාලයේ දී සිහින ලක්ෂයකටත් වඩා වැඩි ගණනක් දකින බව මනෝ විද්‍යාඥයන් සොයාගෙන තිබේ.

ගැටලු විසඳන සිහින

 

විභාගයක් හෝ තමා විසින් ඉටු කළ යුතුම කාර්යයක් අත ළඟටම පැමිණි විට ඒ සඳහා සම්පූර්ණ අවධානය දිය යුතු වුවත් ඊට බාධා කරන අසාමාන්‍ය නිදිමත ස්වභාවය සැවොම අත්විඳ ඇතුවාට සැක නැත. මීට හේතුව අපගේ මොළයට සිහින දැකීමට ඇති හැකියාවයි. මෙම හැකියාව අපට බොහෝ ගැටලු විසඳීමට උපකාරී වේ. සිහින දැකීම අපට මුහුණදීමට සිදුවන ගැටලු විශ්ලේෂණය හා නව තත්ත්වයන් තේරුම් ගැනීමට මො‍ළය ක්‍රියා කරන එක් ආකාරයකි.

ඔබ ඉතාමත් සුන්දර සිහිනයක අතරමැද දී අවදි වුවහොත් නැවතත් එම සිහිනය දකින්නට ඇත්නම් යැයි හැඟෙන්නට පුළුවන. බොහෝ විට මෙය සිදු නොවන්නක් සේ හැඟුණත් ඇත්තෙන්ම එය සිදු කළ හැකිය. ඒ සඳහා කළ යුතු වන්නේ නින්දෙන් ඇහැරුණු විට නොසෙල් වී නිදා සිටි ඉරියව්වෙන්ම සිටීමයි. මෙහිදී කිසිදු මාංශ පේශියක් හෝ නොසොල්වා සිටිය යුතුය. මෙහිදී අර්ධ සිහිනමය සංක්‍රාන්ති අවස්ථාවක විනාඩි කිහිපයක් සිටීමට අවස්ථාව ලැබේ.

හැම සිහිනයකටම අරුතක්

 

සෑම සිහිනයකින්ම අප තේරුම් ගැනීමට අවශ්‍ය දෙයක් සංකේතවත් වේ. එමෙන්ම එකම සිහිනය නැවත නැවතත් පෙනීම අප වහාම කළ යුතු දෙයක් නිරූපණය වන බව විද්‍යාත්මක මතයකි. සිහින මඟින් අපට අනාගතයේදී සිදුවන දෑ නිරූපණය විය හැකියි. කීර්තිමත් අමෙරිකානු ජනාධිපතිවරයෙකු වූ ඒබ්‍රහම් ලින්කන් තම ඝාතනය සිහිනෙන් දැකීම ප්‍රකට සාහිත්‍යධරයකු වූ මාර්ක් ට්වේන් තම සහෝදරයාගේ මරණය සිහිනෙන් දැකීම, ටයිටැනික් ව්‍යසනය පිළිබඳ ලෝකයේ පුද්ගලයන් 19 දෙනකු පූර්ව ඥාණනය කර තිබීම මෙය තහවුරු කිරීමට ඇති කදිම නිදසුන්ය.

නොනිදා හීන දකින්න පුළුවන්ද?

 

අප බොහෝ විට සිතන්නේ සිහින දැකීමට නම් නිදා සිටිය යුතුමය කියා වුවද ඕනෑම ඉරියව්වකින් ඕනෑම වෙලාවක අපට සිහින දැකීමට හැකියාව ඇත. මෙය දවල් හීන දැකීම යන්නට සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයකි. මේ සඳහා නිස්කලංක ස්ථානයක සිට තමාගේ ගැඹුරු අවධානය තමා කලින් දුටු සිහිනයකට යෙදවිය යුතුය. එවිට එම සිහිනය නැවත පණ ගැන්විය හැකිය. නොනිදා දකින සිහිනවල මනස සැහැල්ලු කිරීමේ ප්‍රබල හැකියාවක් පවතින බව හා මනසේ ක්‍රියාකාරී ස්ථාන හා ක්‍රියාකාරී නොවන ප්‍රදේශ අතර ප්‍රබල අන්තර් සම්බන්ධතාවයක් ගොඩනැගිය හැකි බව සොයාගෙන තිබේ.

සිහිනෙන් ඇවිදීම

 

සිහින දැකීම අතිශය සාමාන්‍ය තත්ත්වයක් වුවත් සිහිනෙන් ඇවිදීම ඉතා අසාමාන්‍ය හා අවදානම් රෝගී තත්ත්වයකි. එසේ සිහිනෙන් ඇවිදින්නන් රාත්‍රියේදී යම් යම් ක්‍රියාවල යෙදෙති. එහෙත් නින්දෙන් සිහිනයෙන් අවදි වූ විට ඒ පිළිබඳ කිසිවක්ම ඔවුන්ගේ මතකයේ නැත.

සිහිනෙන් ඇවිදින පුද්ගලයන් පිළිබඳ මානසික වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර කිරීමෙන් පූර්ණ නීරෝගි තත්ත්වයට පත් කළ හැකිය.

සතුන්ට ද සිහින පෙනෙනවා

 

සාමාන්‍ය මිනිසුන් සේම අන්ධ පුද්ගලයෝ ද සිහින දකිති. උපතින්ම අන්ධ නොවූ පුද්ගලයන් තම ජීවිත කාලයේ දුටු වස්තු ආධාරයෙන් සිහින දකින අතර උපතින්ම අන්ධ පුද්ගලයන් තමා වෙනත් සංවේදනයන් මඟින් ග්‍රහණය කරගත් දෑ ආධාරයෙන් සිහින මවා ගනිති. මිනිසුන්ට පමණක් නොව සතුන්ට ද සිහින දැකීමේ හැකියාව ඇත. ඔබගේ සුරතල් සතා නින්දේ සිටින විට විවිධ ශබ්ද නඟමින් ඔවුන්ගේ ගාත් සොලවමින් සිටිනු ඔබ කෙදිනක හෝ නිරීක්ෂණය කර තිබේද? රෑ එවැනි හැසිරීම් සතුන්ගෙන් පිළිබිඹු කරන්නේ ඔවුන් නින්දේදී සිහින දකින බවය. සැමදා දකින සිහින පිටුපස මෙතරම් සැඟවුණු කරුණු ඇති බව බොහෝ දෙනෙක් සිහිනෙන්වත් නොසිතන්නට ඇත. එහෙත් සිහින යනු මිනිසාගේ අතිශය දියු‍ණු මානසික හැකියාවේ පිළිබිඹුවකි. බොහෝ විශ්මිත නිර්මාණවල මූලික සම්භවයකි.

සිහින පටිගත කිරීමේ තාක්ෂණයක්

 

සැබෑ ලොවේදී කළ හැකි ඕනෑම දෙයක් අපි හීන ලෝකයේදී ඉටු කර ගනිමු. නමුත් රාත්‍රිය පුරාම ඔබ දකින සිහිනය උදෑසන අවදිවූ වහා මතකයට නගාගැනීමට නොහැකිවූ අවස්ථා අපමණවත් ඔබ විසින් අත්දකින්නට ඇත. නමුත් තාක්ෂණයේ තවත් අරුමයක් යථාර්ථයක් බවට පත් කරමින් සිහින පටිගත කිරීමේ ක්‍රමවේදයක් විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ.

ඒ අනුව මිනිස් මොළයේ උපරිම මට්ටමේ සිදුවන ක්‍රියාකාරකම් පටිගත කිරීමේ පද්ධතියක් සැකසීමට හැකි බව විද්‍යාඥයෝ පවසයි. සිහින පිළිබඳ අනාවරණය කර ගත හැක්කේ සිහිනය දුටු පුද්ගලයාට එය නැවත ආවර්ජනය කිරීමට සලස්වා මනෝ විද්‍යාඥයකු විසින් එය විස්තර කිරීමෙනි. නමුත් නවතම පර්යේෂණයන්ට අනූව පුද්ගල මනසේ ඇතිවන මෙම සිහින දැකීමේ ක්‍රියාවලිය ඉලෙක්ට්‍රොනික දෘශ්‍යකරණය ඔස්සේ මොළයේ ක්‍රියාකාරකම් පටිගත කර ඒ හා සන්සන්දනය කිරීමට බලාපොරොත්තු වේ.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.