ධන සම්පත් ගෙන දෙන ලක්ෂ්මී යෝගය

අප්‍රේල් 1, 2022

ධන සම්පත් ලබාගෙන සැප සම්පත් විඳගැනීමට අපි කවුරුත් කැමැත්තෙමු. ලක්‍ෂ්මී යෝගය ධනය ලබාදෙන ප්‍රධාන යෝග අතරින් ප්‍රධාන ස්ථානයක් හිමිකර ගත් ග්‍රහ යෝගයක් බව ඡ්‍යෝතිෂයේ දක්වා ඇත. මෙම සැප සම්පත් දෙන ප්‍රබල ධන යෝග ඇතුව මෙලොවට ජනිත වන්නේ පෙර ආත්මයන්හි ලෝභ නැතුව තුන්සිත පහදවාගෙන දන්දුන් අය බව බුදුදහම පෙන්වා දෙයි.

පෙර ආත්මවල ලෝබ නැතුව දන්දීම ආදි පුණ්‍ය ක්‍රියාවල යෙදුණ අයට මිනිසත් බවයක ජනිත වුණොත් එම කුසලය වළක්වන්ට කිසිම කෙනකු තවම ලොව ඉපිදී නැත. ඒපින මේ මනුෂ්‍ය ආත්මයේදී ධනය ලබා ධනවතකු වීමට ඔබට පින පාදා දෙයි. මෙම ලක්‍ෂ්මී යෝගයෙන් උපන් අය මෙලොව ධනය සැපසම්පත් විඳී, ධනය දුප්පතුන්ට පරිත්‍යාග කරන්න කිසිවිට ලෝභ වන්නේ නැත. තමන්ට ලැබෙන ධනය දුගී මගී යාචකයින්ට ඉතා සතුටින් බෙදා දෙයි. ශ්‍රමණයින්ට දන් පිළිගන්වයි.

ග්‍රහචාරය සුබ මොහොතක පෙර පින් හිමි භාග්‍යවන්තයින් පිනැතියන් ජනිත වේ. පෙර පින් මහිමයෙන් ඔවුන්ට අඩු වයසේ හදිසි මාරක වීමක් නැත. කුඩා කල සිට හොඳ අධ්‍යාපනය ලබයි. සැප සම්පත් ලැබේ. පියාට ධනය ලැබෙන්නේ මෙම දරුවා පවුලේ බාලයා වී සහෝදර සහෝදරියන් නැති නම් පමණි. ඡ්‍යෝතිෂය අනුව ග්‍රහයෝග 5650 අධික සංඛ්‍යාවක් ඇත. ඉන් එකකි ලක්ෂ්මී යෝගය

මේෂ ලග්න හිමියන්ට කුජ, සිකුරු යෝගද වෘෂභ ලග්න හිමියන්ට සිකුරු ශනි යෝගය ද මිථුන ලග්න හිමියන්ට බුධ,ශනි, යෝගය ද කටක ලග්න අයට සඳු ගුරු යෝගය, සිංහ ලග්න හිමියන්ට රවි, කුජ යෝගය කන්‍යා ලග්න හිමි අයට බුධ සිකුරු යෝගය තුලා ලග්න හිමියන්ට සිකුරු බුධ යෝගයද,වෘශ්චික ලග්න හිමියන්ට කුජ, සඳු යෝගය ද ධනු ලග්න හිමියන්ට ගුරු රවි යෝගය ද, මකර ලග්න හිමියන්ට ශනි, බුධ යෝගය කුම්භ ලග්න හිමියන්ට ශනි, සිකුරු යෝගය ද මීන ලග්න අයට ගුරු, කුජ යෝගයද ලක්‍ෂ්මී යෝගය ලෙස ඡ්‍යෝතිෂය පෙන්වා දෙයි.

ලග්නයේ ලක්‍ෂ්මී යෝගයක් යෙදීම ඉතා වාසනාවන්ත තැනැත්තකු හෝ තැනැත්තියක ජනිත කරවයි. ඇය පුන්සඳ වන් රවුම් පි‍්‍රයකරු මුහුණකට හිමිකම් කියයි. මිහිරි කටහඬකි. රූමත් වේ.

දෙවැන්නේ ලක්‍ෂ්මි යෝග යෙදුණ පුරුෂයා මවුපිය ධනය උරුම වූවත් ඔහුගේ මහන්සියෙන් ධනය උපයා දියුණුවට පත්වේ. මෙවැනි යෝගයක් හිමි කාන්තාවක් සමඟ විවාහ වූ පුද්ගලයාද ප්‍රසිද්ධ ධනවතකු වේ. ව්‍යාපාර කීපයක හිමිකරුවකු වේ.

තුන්වැන්නේ ලක්‍ෂ්මි යෝගය යෙදුණ පුරුෂයා විදේශ ගතවී ධනය උපයා ධනවතකු වේ. විදේශ රටවල් සමඟ වෙළඳ සබඳතා පවත්වා අධික ධනය උපයයි. විවාහයෙන් පසුව ධන වර්ධනය වේ. දියුණුවට සහෝදර සහෝදරියන් මුල සිට උපකාර කරයි.

සිව්වැන්නේ ලක්‍ෂ්මි යෝග යෙදුණ අය මවගේ දේපළ විකුණා අරඹන ව්‍යාපාර වලින් අධික ලාබ ලබයි. මවට හොඳින් උපස්ථාන කරයි. පියාටත් එසේය. ඔවුන්ගේ ජීවිතයේ අවසන් භාගය පින්දහම් දානමානාදිය අටසිල් පෝයට සමාදන්වී ආගමානුකූල ජීවිතය ගතකිරීමට මවුපියන්ට කටයුතු සලස්වයි.

පස්වැන්න මෙම ලක්‍ෂ්මී යෝග යෙදුණ අය උපතින්ම ධනයට හිමිකම කියන ධනවත් පවුල උපදී අධ්‍යාපනය උසස් අයුරින් ලබා සුපිරි රැකියාව නිරත වේ. නව අධ්‍යාපන සුදුසුකම අනුව උසස් රැකියාවක නිරත වේ. කාන්තාවක් නම් ධනවත් පවුලක ජනිතවී විදේශ ගතව උසස් අධ්‍යාපනයක් ලබා රටේ පිළිගත් වැදගත් රැකියාවක ප්‍රධානියෙක් වි කටයුතු කිරීමට භාග්‍ය උදා වේ. ලස්සන රුවකි.

හයවැන්න ලක්‍ෂ්මී යෝගය යෙදීම සතුරු බාධා කරදර ස්වඋත්සාහයෙන් මර්දනය කරමින් සතුරන් පරාජය කර ධනය උපයගෙන ධනවතකු වේ. කාන්තාවක් නම් සතුරන්ගේ නින්දා ලබමින් දැහැමි ධනය උපයා ගෙන ධනවන්තියක් වේ. සමාජයෙහි තර්ජන ගර්ජන නින්දා අපහාස මැදින් ගොස් ධනපතියක් වූ තැනැත්තියකි. නිසි වයසට විවාහ වී දෙදෙනා එක්ව මුදල් උපයා හොඳම දියුණුවක් ලබයි.

හත්වැන්න මෙම ලක්‍ෂ්මී යෝගය යෙදීම ඉතා වාසනාවන්ත යෝගයකි. මෙය සමසේ ස්ත්‍රී පුරුෂ කාටත් එකසේ බලපානු ඇත. මහන්සියෙන් ඇප කැපවී ධනය උපයා ධන තත්ත්වය සාර්ථක කරගෙන දියුණුවී විවාහයෙන් පසුව නොසිතූ විරූ අයුරින් ධනය ලැබී දියුණුව ඇති කරයි. ධනවත් කීර්තිමත් ව්‍යාපාරිකයෙකි. තරුණ තරුණියන්ට රැකියා දහස් ගණනාවක් සපයන්නෙක් බවද පත්වේ.

අටවැන්න ගත ලක්‍ෂ්මී යෝගය ඉතා හොඳයි. විවාහවී දරුවන් ලැබී ටික කලකින් අරඹන සුළුවෙන් පටන් ගත් කර්මාන්තයක් උත්සාහයෙන් දියුණු කර උසස් ධන තත්ත්වයක් ලබාගනී. එයින් උපයන ධනයෙන් තවත් ව්‍යාපාර පටන්ගෙන දියුණු වේ. තමා යටතේ සේවය කරන සුරූපි තරුණියක් (දුප්පත්) සමඟ විවාහ වී දෙදෙනාගේම උත්සාහයෙන් දියුණු වේ. වාසනාවන්ත රූමත් දරුවන් ලබයි.

නවවැන්න ගත ලක්‍ෂ්මී යෝගයෙන් පෙර පින් ඇති කෙනකු ජනිත කරවයි. පාසල් දිවියෙන් පසුව තම උත්සාහයෙන් ධනය සොයා ගෙන සුළුවෙන් වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කර කලකදී යානවාහන කීපයක් හිමි පුද්ගලයකු බවට පත්වේ. පසුව වාහන ව්‍යාපාරයක් පවත්වාගෙන එය දියුණුවට පත් කර ගනී.

දහවැන්න ගත ලක්‍ෂ්මී යෝගයෙන් උපන් ස්ත්‍රී පුරුෂයින් තරුණ වයසේ විදෙස් ගතව උසස් රැකියාවක් කර ඒ උපයන ධනයෙන් හෝටල් ව්‍යාපාර සුපිරි අයුරින් ආරම්භ කර විදේශිකයින්ට සියලු පහසුකම් සපයා ඉතා විශාල ධනයක් උපයයි. මුහුදු බඩ හෝටල් කීපයක හිමිකාරයකු වේ. තරුණ තරුණියන් විශාල පිරිසකට රැකියා සපයා දීමට හැකි විය. ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත්කර ගනී.

එකොළොස් වැන්න ලක්‍ෂ්මි යෝග යෙදුණ අය පෙරපින් ඇත්තෝ වෙති. ධනවත් ව්‍යාපාරික පවුලක එකව පිරිමි දරුවා වීමේ භාග්‍ය හිමි විය. උසස් අධ්‍යාපනයක් විදේශගතවද මෙරටට පැමිණ ව්‍යාපාරයක් අරඹා එය දියුණුවට පත්කර තරුණ තරුණියන්ට රැකියා අවස්ථා සලසා ව්‍යාපාර දියුණුවට පත්කරගෙන උසස් දියුණුවක් ලබයි. දොළොස් වැනි ලක්‍ෂ්මි යෝග යෙදුණ තරුණ වයසේ ව්‍යාපාරවල යෙදුණත් මැදිවියේදී ව්‍යාපාර දියුණුවට පත්වේ. කලකදී ව්‍යාපාරය වලින් පාඩු සිදුවේ. කලකදී බාධා සියල්ල මර්දනය කරගෙන දියුණුවට පත්වේ.

ලක්‍ෂ්මි යෝග යෙදුණ බොහෝ දෙනකු ලක්‍ෂ්මී දේවිය පුද පූජා තබා තම ව්‍යාපාර දියුණු කරගනී. කලකදී ලක්‍ෂ්මි බැල්ම ඔහුට හෝ ඇයට ලැබී දියුණුවට පත්වේ. තමා උපයන ධනය දුගී මගී යාචකයින්ට උපකාර කරයි. නිවාස නැති නැති බැරි අයට ඉඩම් ලබාදි නිවාස ලබාදෙයි. සමාජ සේවා කටයුතු වල නිරත වේ. අසරණයින්ට පිහිට වේ.

ලක්‍ෂ්මි යෝගයෙන් උපන් අයට පෙර පින පල දේ. විශාල ධනයකට උරුමකම් කියයි. ලක්‍ෂ්මී යෝගයෙන් උපත ලබා ධනය අතින් දියුණුවක් නැති අයත් සිටිති. ඒ යෝගය සම්බන්ධ ග්‍රහයින් පාප ග්‍රහ දෘෂ්ටිවලින් පීඩිත වී නීච වී අශුභ ස්ථාන පිහිටි නම් ප්‍රතිඵල ම ද වේ.

ඡ්‍යෝතිෂවේදී ගොඩගම

ජයසේන ජයසිංහ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.