ඔස්ටියෝපොරෝසීස් නසන වට්ටක්කා

නොවැම්බර් 18, 2022

මිනිසා නීරෝගිව තම ජීවිතය පවත්වා ගෙන යාම සඳහා ආහාර පානවලින් ලබා ගන්නේ මහත් වූ සහායකි.එදිනෙදා ගනු ලබන ආහාර අතුරින් බොහෝමයක් නීරෝගි බව රැක ගැනීමට සහ ශරීරයේ පෝෂණය හා වර්ධනය සඳහා උපකාරී වන බැවින් මේ සියලු කරුණු සලකා සමතුලිත හෝ සමබල ආහාර වේලක් ගැනීමට හුරු වූහ. නමුත් වර්තමානයේ කාර්ය බහුලතාවය නිසා සමතුලිත ආහාරයක් ගැනීමේ ඉඩකඩ අඩු වී ගොස් තිබෙන නමුත් වෛද්‍ය උපදේශ ආදී විවිධ දැනුවත් කිරීම් නිසා ඒ ඒ ආහාර වර්ගවල ගුණාගුණ බව විමසා බලා ආහාර ගැනීමට පුරුදු විය.

මෙසේ ගනු ලබන ආහාර අතුරින් එළවළු වර්ග තෝරා බේරා ගැනීමට විශේෂ අවධානයක් යොමු කළ අතර ඒ අනුව එක් එක් රෝගයන්ට හිතකර හා අහිතකර වශයෙන් එළවළු වර්ග හඳුනා ගෙන ආහාරයට එක් කර ගනු ලබන බව පෙනේ.

මෙවන් වූ ගුණාංගයක එළවළු වර්ග අතුරින් වට්ටක්කා යන්න ද තවත් එක් අගනා ඖෂධාහාරයකි. වර්තමානයේ ජීවත් වන බාල,තරුණ,මහලු සෑම සියලු දෙනාම ඉතා හොඳීන් දන්නා හඳුනන එළවළු වර්ගයක් වන වට්ටක්කා බොහෝ දෙනා ප්‍රිය කරන ආහාරයකි. සෑම විටම සාමාන්‍ය මිලක් යටතේ අලෙවි වන මෙය සෑම දෙනාටම පහසුවෙන් මිලදී ගත හැකි අතර සෑම පළාතකම එළවළු අලෙවිහල්වල අනිවාර්යයෙන්ම දැකිය හැකි එළවළුවක්ද වන්නේය. වියළි කලාපයේ බහුල ලෙස හට ගනු ලබන වට්ටක්කා හොඳීන් ජලය බැස යන කාබනික ද්‍රව්‍ය අඩංගු පසක ඉතා හොඳීන් වැවේ. තවද, මුහුදු මට්ටමේ සිට මීටර් 500 දක්වා ප්‍රදේශවල වියළි හා අතරමැදි කලාපයේ වගා කළ හැකි භෝගයක් ද වේ.

මෙම වටිටක්කා පිළිබඳ ඉතිහාසය සලකා බැලීමේදී මීට වසර 7500ක් තරම් ඈතකට දිවයයි. මෙහි නිජ භූමිය මධ්‍යම ඇමෙරිකාවේ මෙක්සිකෝවයි. පසු කාලීනව දේශ ගවේෂකයන් විසින් මෙම වැල් වර්ගය සිය රටවලට ගෙන ගොස් ඇත. ඔවුන් බොහෝ විට මෙම වට්ටක්කා වැල් බඩඉරිඟු වැනි භෝග වර්ග සමඟ එකට වගා කර තිබේ.

වට්ටක්කාවල ස්වරූපය :

වැල් අඩි 20 - 30ක් පමණ දිගින් වැඩෙන අතර වැලේ තැනින් තැන රිකිලි ද තවත් වැල්ද විහිදී යයි. වැලේ දණ්ඩ අඟල් 1ක් පමණ මහත් වන අතර බූව සහිත කොළ අඟල් 8 සිට අඩි 1ක් පමණ වෙයි. කොළයේ නැට්ට අඟල් 6ක් පමණ වේ. කොළයේ සහ නැට්ටේ ද කදේ ද තද බූව ගතියකින් යුතු වේ. මෙම වට්ටක්කා වැල් පොළව පුරා පැතිරී යන අතර ගස් වලද එතී පැතිරී යන අවස්ථා වේ. මේ අතර වැලේ කොළයක් ගානේ මල් හට ගන්නා අතර ඒවා අතුරින් සමහර මල් බොරු මල් වේ. ගෙඩි සෑදීමේ දී මල් කුඩා ගැටයක් සහිතව ගැටයේ මුදුනත මලක් සමඟ වැඩී මල පරවී ගෙඩිය සෑදේ. මේ අයුරින් එක් වැලක ගෙඩි විශාල ප්‍රමාණයක් සෑදෙන අතර ගෙඩියක් කිලෝ ග්රෑම් 5 - 7ක් පමණ විය හැක. කලාතුරකින් කිලෝ ග්රෑම් 25 පමණ ගෙඩි ද වාර්තා වේ.

වට්ටක්කාවල උද්භිද විද්‍යාත්මක නාමය : 
Cucurbita marcima වන අතර, 
කුලය : Cucurbitaceae වේ. 
ඉංග්‍රීසි බසින් : pumpkin වේ.

වට්ටක්කා ප්‍රභේද - 1. ඒ.එන්.කේ.රුහුණු 2. පද්මා 3.දේශීය වර්ග ආදී වශයෙන් ප්‍රභේද ඇත.

වට්ටක්කාවල පෝෂණ ගුණ :

වට්ටක්කා පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ මට්ටමක පවතියි. මෙහි ප්‍රතිඔක්සිකාරක හා විටමින් බහුල වේ. ප්‍රෝටීන්, තන්තු, මේදය බහුල වශයෙන් පවතින අතර විටමින් ඒ, විටමින් ඛ්, විටමින් ඡ්, රයිබොප්ලේවින්, තයමින්, පැන්ටොතෙනික් අම්ලය, නියැසීන්, තඹ, මැංගනීස්, යකඩ, මැග්නීසියම්, ඇලුමිනියම් සහ පොස්පරස් යන ඛණිජ ලවණ ද සැලකිය යුතු ප්‍රමාණයක් අඩංගු වේ.

මේ අතර වට්ටක්කා යනු කෙඳී බහුල ආහාරයක් බැවින් අනෙකුත් ආහාරවලට වඩා එහි ජීරණ ක්‍රියාවලිය සිදුවනුයේ සෙමින්ය. මේ අතර වට්ටක්කා ව්‍යංජන ලෙස ආහාරයට එක් කර ගනු ලබන අතර වට්ටක්කා කලු පොල් මාලුවද ඉතා රසවත් ආහාරයකි. වට්ටක්කා තම්බා පොල් සමඟ ආහාරයට ගනු ලබන අතර වට්ටක්කාවලින් ජෑම් ද සාදනු ලබයි. තවද, වට්ටක්කා දලු මැල්ලුමද ඉතා රසවත් ආහාරයකි.

වට්ටක්කාවල ඖෂධීය ගුණ :

සමේ සෑදෙන කුෂ්ටවලට වට්ටක්කා තම්බා සර්ව විෂාදී තෛල සමඟ අඹරා දින කිහිපයක් බැදීමෙන් කුෂ්ට සුව වේ. මෙය කඩුවේගන් සඳහා යෝග්‍ය වේ.

මල බද්ධයට :

වට්ටක්කා තම්බා පොල් සමඟ කෑම ගුණදායකය. තවද, වට්ටක්කා ගෙඩිවල ලෙල්ල කැල්සියම් බහුල නිසා දත් දිරා යාම මෙන්ම ඔස්ටියෝ පොරෝසිස් වැනි රෝග සඳහා වට්ටක්කා ගුණදායකය. ගැබිණි මාතාවන්ට අවශ්‍ය පෝෂ්‍යදායක බව ලබා ගැනීමට ද වට්ටක්කා ආහාරයට ගැනීම යෝග්‍ය වේ. මේ අතර පෞරුෂ ග්‍රන්ථි ඉදිමුම නම් රෝග තත්ත්වයට වට්ටක්කා ඇට වියලා කුඩු කර බීම ඉතා ගුණදායක වේ. මධුමේහ රෝගීන්ගේ ලේවල ඉන්සියුලින් වර්ධනය සඳහා ලෙල්ල කොළ පැහැති වට්ටක්කා ග්රෑම් 100ක් පමණ කොටා යුෂ ගෙන දිනපතා උදෑසන පානය ඉතා ගුණදායකය.

වට්ටක්කා යනු කෙඳී බහුල ආහාරයක් නිසා ශරීරයේ බර අඩු කර ගැනීමට උපකාරී වේ. එසේම ඇස් පෙනීම වර්ධනයටද වට්ටක්කා නිතර ආහාරයට ගැනීම හේතුවන අතර ඇසේ සුද ඇති වීම ඇතුළු අක්ෂි රෝග කිහිපයක්ම ඇති වීම වළක්වයි.

එසේම සමෙහි තරුණ බව රැකගැනීම සඳහා වට්ටක්කා උපකාරී වන අතර ශරීරයේ ප්‍රතිශක්තියද වර්ධනය කරයි.

තවද, පිළිකා ඇති වීමේ අවදානම වට්ටක්කා නිතර ආහාරයට ගැනීමෙන් අඩුවෙයි. මේ අනුව පැහැදිලි වන්නේ වට්ටක්කා යනු අතිශයින් ගුණදායක ඖෂධාහාරයක් බවයි. පහසුවෙන් සපයා ගත හැකි මිලෙන් අඩු මෙම රසවත් එළවළුව නිසි අයුරින් ආහාරයට එක් කර ගැනීම රෝග සමනයට හා නීරෝගි බවට හේතු වේ.

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.