සෙනසුරු කුම්භ රැසට පැමිණීමෙන් ‘සස’ යෝග බලය උදාවේ

ශනි කුම්භයට යාම පිළිබඳ සමාලෝචනයක්
ජනවාරි 20, 2023

 

පංචමහා පුරුෂයෝග අතුරින් සෙනසුරුගෙන් යෙදෙන පුරුෂ යෝගය සස රාජ යෝගය වේ.

 

පංචශීලයෙන් බැහැරව ඒවා කඩ කරමින් වරදකරන වුන්ට  දඩුවම් හිමිවේ

 

ගමන් තුලා මුව රැස ලත් සෙනසුරු
තුනත් සයත් දසයත් එකොළොස ගුරු
මහත් බලැති සස යෝගෙන් විඳ සරු
ලකන් පැමිණි නරපති සේ ලොව ගුරු

 

ජාතක රත්න කාව්‍යයෙහි මෙසේ සඳහන් වුවත් තවත් ජ්‍යෝතිෂ ග්‍රන්ථ රැසකම සෙනසුරුගේ සස යෝගය ගැන සඳහන් වේ. පසුගිය 2022 වසරේ මකර රැසෙහි ගමන් කළ සෙනසුරු 2022 අප්‍රේල් මස 27 වැනි දින කුම්භ රැසට පැමිණි අතර ජූනි 05 වැනි දින වක්‍ර වී නැවත ජූලි12 වැනි දින මකර රැසට පැමිණි බවත් ඔක්තෝම්බර් 23 වැනි දින නිවෘත වීමෙන් අනතුරුව 2023 ජනවාරි 17 වැනි දින කුම්භ රැසට පැමිණීම සිදුවිය.

 

ශ්‍රී ලංකා කේන්ද්‍රයේ ලග්නය ද කුම්භ රාශියයි. ශනි කුම්භ රැසට පැමිණීමට පෙර ශ්‍රී ලංකාව තුළ ජනතාව නොසිතූවිරූ කරුණු කාරණා රැසක් සිදු වූ බව නොරහසකි. වැරදි කළවුන්ට දඬුවම්දීම ශනිගේ එක් පැත්තකි.

ඒ නිසා පංචශීලයෙන් බැහැරව ඒවා කඩ කරමින් වරදකරන වුන්ට ද දඩුවම් හිමිවේ. 

මෙයට ආගම් කුල මල භේද වත්පොහොසත්කම් කිසිවක් බලනොපාන අතර වර්තමානයේ රට තුළ සිදුවන හා සිදු වූ දේවල් සිහියේ තබා ගැනීම වැදගත් වන බව කිව යුතුය. ශනී වක්‍ර වන්නේ නිකම්ම නොවේ. තමාට ඒ රාශියේ දී කරගත නොහැකි වූ යම් දෙයක් ඇද්ද වක්‍රයේ දී ඊට ඉඩකඩ ලබාදෙමින් නැවත නිවෘත වී ඊළඟ රාශියේදී ප්‍රතිඵල ගෙන දේ. වක්‍ර වූ ග්‍රහයා නිවෘත වන බවත් අස්ථ වූ ග්‍රහයා උදාවන බවත් දැන ගත යුතුවේ.

2023 ජනවාරි 17න් පසු කුම්භ, වෘෂභ, සිංහ  යන ලග්නවලින් ජන්ම ලාභය ලබන කුමර කුමරියන්ගේ කේන්ද්‍රවල මෙම සස රාජ යෝගය උදාවන අතර ඒ අයට එම යෝගයෙන් ලැබෙන සියලු සුබ පල ලබාදෙන අතරම කුමන හෝ වරදක යෙදෙන අයට ඉන් ප්‍රතිඵලයක් නොලැබෙන බවද සිහි තබා ගත යුතුවේ. ශනි කුම්භ රැසෙහි සිටින ඉදිරි දෙවසරේදී මෙම යෝගය ලබාදෙයි.

 

මේෂ

ශනී එකොළොස් වැන්නට පැමිණේ. බාධක ග්‍රහයා වුවත් දහවැන්නාධිපති බල සහිතව කුම්භ රැසට පැමිණීම තම අභිප්‍රායයන් සඵල කර දී බලවත් ශනි ලග්නයට පූර්ණ දෘෂ්ටි ගෙන දීම ආදායම් මාර්ග සාර්ථක කරදේ. මෙතෙක් පැවැති බාධා ඉවත් වේ. රැකියා කරන තැන්වල වෙනසක් ද ඇති විය හැක.

වෘෂභ

9- 10 අධිපති ශනි වේ. ධර්ම කර්මාධිපති ද ඔහුමය. ධාර්මික දිවි පෙවෙතක් ගත කරන ඔබට සියලු සැප සම්පත් ලබාදෙයි. ප්‍රභූ උදව් උපකාර ගෙනදේ. ඥාතීන් අතර ප්‍රධාන තැනක් ගනියි.

 

මිථුන

සෙනසුරු නමවැන්නට යාම මෙතෙක් පැවති ඒරාෂ්ටකය අවසන් වී සුබ අනාගතයක ආරම්භය වේ. ඒ නිසා තම අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීමට පුළුවන් වේ. රැකිරක්ෂා දියුණුව උසස්වීම් ලැබේ. වගකීම් භාර ගැනීමට සිදුවේ.

කටක

සෙනසුරුගේ අෂ්ටම ඒරාෂ්ඨක ලබා ඇත. එය වසර දෙකකට වැඩි කාලයක් තිබේ. ඒ වුණත් ශනි බලවත් බැවින් හා විපරීත යෝග බලය සහිත වීම නිසා ශුභ ඵල ලබාදෙයි. අභියෝග මැඩගෙන ඉදිරියට යා හැක.

සිංහ

සත්වැන්නට පැමිණි සෙනසුරු වසර දෙකකට වැඩි කාලයක් එහි ගත කරයි. මූල්‍ය කටයුතු ගැන දෙවරක් සිතාබලා කටයුතු කරන්න. අන් අයගේ සහයෝගය ඇතිව ව්‍යාපාර දියුණුවට මඟ පාදයි. විදේශ ආයෝජන අවස්ථා සඳහා ද ශුභ වේ.

කන්‍යා

6 වැන්නට පැමිණෙන සෙනසුරු සුබපල ලබාදෙන අතරම තම අපේක්ෂාවන් ද ඵල සහිත කරයි. හවුල් ව්‍යාපාරවලින් දියුණුව ගෙන දේ.

තුලා

හතරවැන්න හා පස්වැන්න අධිපති යෝගකාරක සෙනසුරු පස්වැන්නට පැමිණ දෙවසරකට වැඩි කාලයක් එහි ගත කිරීම සුබ අනාගතයක සිහින සපුරා ගැනීමට හැකිවේ. චන්ද්‍රයා හතර පහ හය රාශිවල සිටී⁣ම ජන්ම ඒරාෂ්ටකය බවද අමතක නොකරන්න. ඉඩකඩම් ගේ දොර ප්‍රශ්න විසඳී භූමි ලාභ ඇතිවේ.

වෘශ්චික

4 වැන්නට බලවත් සෙනසුරු රාජ යෝග සහිතව පැමිණෙන අතරම හතරවැන්න අධිපතියා ද ඔහුමය. සෙනසුරු මෙහි ගත කරන කාලය තුළ වෘශ්චිකයෙන් ජනිත වන දරුවන් හටද සස රාජ යෝගය පිහිටනු ඇත. බන්ධු මිත්‍රාදීන්ගේ ආධාර ලැබේ. මවුපස ඥාතීන්ගේ උරුම හිමිවේ.

ධනු

2 - 3 වැන්නාධිපති ශනි උපචය ස්ථාන ගතවීම සුබදායක වේ. ව්‍යාපාර දියුණු වේ. ලාභ සත්කාර ලැබේ. සහෝදර උදව් උපකාර ගෙන දී සිතුම් පැතුම් ඉටු වේ. සිත ධෛර්යවත් කරගෙන දැහැමි ජීවිතය තුළින් දියුණුව ළඟා කරගන්න.

මකර

ලග්නාධිපති ශනි දෙවැන්නේ බලවත් වීම හා දෙවැන්න අධිපති වීම ප්‍රබල වේ. මහා ධනවතකු මෙන්ම මහා ධානපතියකු ද වේ. පවුලේ දියුණුව වර්ධනය වනවා සේම නව වෙළෙඳ ව්‍යාපාරවලට ද ඉතා සුබවේ. දේශපාලන කටයුතුවලට යොමු වීම හොඳයි. පිරිස් පාලන ශක්තිය ලැබේ.

කුම්භ

ලග්නාධිපති ශනි ශශ යෝගය සහිතව වාසනාවන්ත දියුණුවකට මං පෙත් විවර කරවයි. තම අභිලාශයන් සම්පූර්ණ කරයි. විදේශ ගමන් හා විදේශ ධනයට හිමිකම් ලබයි. මේ කාලයේ කුම්භ ලග්නයෙන් ජනිත වන අයද සස රාජ යෝගය හිමිකර ගනී.

මීන

දොළොස් වැන්නට පැමිණෙන්නේ 11 -12 ස්ථාන දෙකම හිමිකම් ලබන සෙනසුරුය. විදේශ ගමන් යාමට විදේශිකයන් සමඟ ව්‍යාපාර ආරම්භ කිරීමට මුදල් ආයෝජනයට හොඳම කාලයයි. ලග්න ඒරාෂ්ඨකයේ ආරම්භය වුවත් තම දියුණුව පිණිසම වේ.

 

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී වැලිගම

කේ.එච්. ධනපාල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.