ඔබේ ජීවිතයේ ප්‍රශ්න ද? විවාහ ප්‍රමාද ද? ගැටලුද? මෙන්න නොවරදින ඡ්‍යෝතිෂ විසඳුම්

නොවැම්බර් 11, 2022

ග්‍රහ අපල දුරුවීමට වත්පිළිවෙත් ඔබේ ජීවිතයේ ප්‍රශ්න, ගැටලු, විවිධ කරදර, බාධා හා විවාහ ප්‍රමාදවීම් වැනි විවිධ ග්‍රහ අපල හේතුවෙන් සිදුවන බාධා සඳහා තම ජන්ම පත්‍ර පරීක්ෂාව තුළින් නොවරදින ඡ්‍යෝතිෂ විසඳුම් සොයාගත හැකිය. ඒ සඳහා ඔබ කල් වේලා ඇතුව දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණයි.

 

 

ග්‍රහ පලාපල කල් වේලා ඇතිව දැන ගැනීම වැදගත් වන්නේ ඊට සුදුසු පරිදි මුහුණ දීමක් වශයෙනි. ග්‍රහ අපලවලින් සිදුවිය හැකි අනිටු විපාක මගහරවා ගැනීමට අපේක්ෂා නොකරන්නේ නම් ඡ්‍යෝතිෂය කෙරෙහි විශ්වාසය තැබීමෙන් ද පලක් නැත. තමන්ට අපලයක් ඇතැයි අසා අසීමිත ලෙස බිය වීම ද අපලයක් විය හැකිය. එමෙන්ම කේන්ද්‍රයට අනුව අනාගතයෙහි තමන්ට හොඳ කලක් එතැයි උදම් අනමින් මැලිකමින් කාලය කා දැමීමද අමනකමකි. පල අපල දෙකම කල් ඇතිව දැනගෙන ඊට සුදුසු පරිදි පිළිවෙත් පිරීමෙන් ද දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කිරීමෙන් ද අපල වෙනස් කර ගැනීමටත් සපල ළඟා කර ගැනීමටත් හැකි වෙයි.

 

ග්‍රහ අපල දුරු කරන බොහෝමයක් වත්පිළිවෙත් අප සමාජයෙහි අය කරති. නමුත් ප්‍රතිඵල නැත. හුදෙක් තම උදර පෝෂණය සලකා කටයුතු කරන කපටි පුද්ගලයෝ අනෙක් විදියේ වත්පිළිවෙත් යෝජනා කරති, හඳුන්වා දෙති. ඇතැම් විට තමන් වෙත පැමිණෙන සේවාදායකයින් දැඩි ලෙස බිය වද්දවන්නේ තමන්ගේ මඩිය තර කර ගැනීමට ය. ඒ නිසා විචාර බුද්ධියෙන් කටයුතු කළ යුතුය. දැන උගත් අවංක ඡ්‍යෝතිෂවේදීන් තෝරා ගැනීමත් මුදල් මතම යැපෙන කපටින්ගෙන් බේරීමටත් සේවාදායකයා වගබලා ගත යුතුය.

අපි අත්දුටු නොවරදින පිළිවෙත් සීමිත ප්‍රමාණයක් පමණක් මෙහිලා සඳහන් කෙරුමට කැමැත්තෙමු.

ග්‍රහ අපලයක් පවතින බව දැනගත් කල්හි ගමන් බිමන් යෑම, වාහන පැදවීම, ආහාරපාන ගැනීම වැනි ජීවිතයෙහි හැම කටයුත්තක්ම ඉතා කල්පනාකාරීව කළ යුතුය.

තමන් හැම විටම සිල්වත් විය යුතුය. සුරාවෙන්, සූදුවෙන් හෝ දුෂ් චරිතයෙන් මිදිය යුතුය. කරුණාබරිත විය යුතුය.

සෙත් පැතීම කරවා ගත යුතුය. ඒ සඳහා සුදුසු ක්‍රමය වන්නේ නියම ලෙස ගණ පිහිටුවා සෙත් කවි ගායනය කරවීමය. සෙත් පතන පුද්ගලයා ද සුරාවෙන් සූදුවෙන් හෝ දුෂ් චරිතයෙන් මිදුණු කරුණාබරිත අයෙක් නම් ඉතා ගුණදායක වේ. සෙත්කවි කියන මුල් අවස්ථාවේ හා දෙවියන්ට ඔප්පු කරන අවස්ථාවේදීත් ආතුරයා ළඟ සිටීම වැදගත් වේ. යටත් පිරිසෙයින් ආතුරයා ඒ බව දැන සිටීම වැදගත් වේ.

තමන් අදහන ආගමික ශාස්තෘන් වහන්සේලාට හා දෙවි දේවතාවුන්ට පූජා විධි පැවැත්වීම භක්තියෙන් කළ යුතුය.

සුදුසු පරිදි සකස් කර හොඳින් ජීවම් කරන ලද යන්ත්‍ර පැලඳීම ඉතා සුදුසුය. සියයට සියයක් කපු නූල තුන් නූල් කර අඹරාගත් නූලකින් යන්ත්‍රය කරලෑම හෝ ඉණෙහි බැඳ ගැනීම සුබය. විද්‍යා උපකරණවලට මෙතෙක් හසු නොවූ ගුප්ත බලයක් යන්ත්‍රවල පවතින බව ප්‍රත්‍යක්ෂය.

අපලවලට මැණික් ගල් වර්ග පැලඳීමේදී ඉතා කල්පනාකාරී විය යුතුය. අපලය පවතින ග්‍රහයාට හිමි ගලක් පැලඳීම බොහෝ දෙනා කරති. එය නොකළ යුතුයැයි අපි කියමු. මැණික් ගල් වර්ග පැලඳීමේදී පැලඳිය යුත්තේ අපල දෙන ග්‍රහයාට නොව, තමන්ට සපල දෙන ගුණ දෙන ග්‍රහයාටය. එම මැණික් ගල ශරීරයට නිතරම ස්පර්ශ වන අයුරින් පැලඳිය යුතුය.

සුදුසු පුද්ගලයන්ට හෝ සුදුසු සතුනට යම් යම් දේ දන් දීම සුදුසුය. ජන්ම ඒරාෂ්ටක පවතින කාලවලදී ජන්ම භූමියෙන් ඉවත්ව විදේශගත වී සිටීම යහපත් ය. අඩු වශයෙන් උපන් ගමෙන්වත් ඈත පළාතක එම කාලසීමාව ගත කිරීම යහපත්ය.

ණය වීමට සුදුසු ආකාරයේ අපලයක් තිබෙන බව දැනගත් කල්හි තමන්ට නිරවුල්ව හිමි ඉඩක ගෙයක් තැනවීම මැනවි. සෑම කටයුත්තක්ම සුබ නැකතකින් හා සුබ මුහුර්තයකින් ආරම්භ කිරීමට වග බලා ගත යුතුය.

අපල පවතින පුද්ගලයා කිසි විටක තමන්ට හිතු මනාපයට කටයුතු නොකළ යුතු අතර, ආදරණීය දෙමාපියන්ට, ගුරුවරුන්ට හා වැඩිහිටියන්ට කීකරුව ඔවුන්ගේ ද උපදෙස් රැගෙන කටයුතු කළ යුතුය.

 

ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී

සම්පත් එස්. කල්පගේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.