දේශීය වෙදකමේ අභිමානය ගෙනෙන සුඛී දීඝායු

අප්‍රේල් 1, 2022

පාරම්පරික ආයුර්වේද අධ්‍යාපන සහ වෙළෙඳ ප්‍රදර්ශනය අපේ‍්‍රල් 08,09,10 යන තෙදින තුළ බප/කැල මහර ජනාධිපති ජාතික විද්‍යාලීය පරිශ්‍රයේදී

අපි අපේකමින් මිදුන තැන බොහෝ ව්‍යසනවලට මුහුණ දෙන්නේය. අපිට ගැලපෙන සංස්කෘතියක් ඇති තැන නොගැළපෙන බටහිර බලවේගවලට හිස නමා කටයුතු කිරීම තුළ අත්විඳීමට සිදුවන අතරවයන් පිළිබඳ මා ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ. ඊට හොඳම නිදසුන් අප අතර වර්තමානයේ බොහෝ තිබේ. අපේ රටේ තිබෙන දේ පිටරට පටවා අපි අන් අයකුගේ දේ යළි මෙරටට රැගෙන එනතුරු මුහුදට දත නියවා සිටීමේ පල විපාකය දැනුදු අපි අත් විඳින්නෙමු.

දේශීය හෙළ වෙදකම වේවා ආයුර්වේද වෙදකම වේවා අපට අපේකම කියාදෙන අපේ උරුමයන්ය. එහෙත් මෙරට වැවෙන බෙහෙත් ඖෂධ පැළෑටිය පිටරට පටවා ඉන් නිමැවෙන බෙහෙත් පෙත්ත එනතුරු මුහුදට මුව අයා සිටිනවා හැරෙන්නට අධික ධනයක් වැය කොට ඒවා මිලදී ගැනීමට ද අපට සිදුවී ඇත. නමුත් පවතින ඖෂධ ගුණය අමු අමුවේම අපට හිමි ශාක සාර තුළින්ම ලබාගත හැකි වුවද අද පුරුදුවී සිටින ආකාරය අපට බලවත් පාඩුවකි. දේශීය ඖෂධ ප්‍රතිකාර ප්‍රමාද වුවත් නිට්ටාවට සුවවීමේ ගුණය එහි පවතින නමුත් ක්ෂණික ආකාරයෙන් අපට ලැබෙන බටහිර ඖෂධ තුළින් වෙනස් අතුරු ආපදා පැමිණීමද වළකාලනු නොහේ. මේ කොයිහැටි වෙතත් අමු අමුවේ වළපල්ලට නොදමා අපේ මාහැඟි උරුමයක් වූ දේශීය වෙදකම එසේ නැතිනම් ආයුර්වේද වෙදකම රැක බලා ගැනීම අපට පමණක් නොව අප මතු පරපුරට ද මහා ශක්තියකි. පසුගිය කාලයේ ලෝක වසංගතයක්වූ කොවිඩ් 19 රෝගයෙන් මිදීමට අපට බටහිර ප්‍රතිකාරයක් නොවූ හෙයින් අපිටම ආවේණික හෙළ ඖෂධ තුළින් අප ළත් පිහිට මෙතෙකැයි කියා නිමකළ නොහැක. ඒ අනුව අප රටේ වැඩෙන අපිට සමීප ඖෂධ පිළිබඳ අප සැලකිලිමත් විය යුතුව තිබේ. ඒ සඳහා අදාළ අමාත්‍යංශයක්ද අපිට ඇත. එදා මෙදා තුර ඉන් සිදුවූ මෙහෙය සීමිත වුවද වර්තමානයේ එහි වගකිව යුතු පුද්ගලයකු ලෙස කටයුතු කරන දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා කරන කැපවීම අපි අගයකොට සලකමු. ඒ අනුව එතුමාගේ සංකල්පයක් වන ‘සුඛී දීඝායු’ නමින් සුවිශේෂි පාරම්පරික ආයුර්වේද අධ්‍යාපන හා වෙළඳ ප්‍රදර්ශනයක් සිදු කිරීමට කටයුතු සංවිධානය කර තිබීම සතුටට කරුණකි.

වසර දහස් ගණනක ඈත අතීතයක සිට පැවත එන හෙළ වෙදකමත් ආයුර්වේද වෙදකමත් සතු මහා දැනුම් සම්භාරය ජනතාවගේ හිතසුව පිණිස තිළිණ කෙරෙන අනාගත පෙර මං දැක්ම යන තේමාව පෙරදැරි කරගෙන 2022 අපේ‍්‍රල් 08,09,10 යන තෙදින තුළ බප/කැල මහර ජනාධිපති ජාතික විද්‍යාලීය පරිශ්‍රයේදී (මහර හන්දිය අසල) පැවැත්වීමට නියමිත වෙයි. සමාරම්භක දිනය වන 8දා ප.ව.200 ට ඇරඹෙන මෙම ප්‍රදර්ශනය 09 - 10 දෙදින පුරා උදේ 09.00 සිට ප.ව.10.00 දක්වා සිදුකෙරෙනු ඇත.

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ සුවිශේෂී අංගයන් හා සංස්කෘතික සංදර්ශනයක් ලෙස නොමිලයේ සිදු කරන මෙම ප්‍රදර්ශනය සඳහා හෘද රෝග, ගෙඩි වන පිළිකා, ඇස් වෙදකම, කැඩුම් බිඳුම්, කාන්තා රෝග, දණහිස් හා කොඳු ඇට පෙළ ආශි‍්‍රත රෝග , සර්වාංග රෝග මෙන්ම අංශභාග රෝග සඳහා මෙරට සිටින විශේෂඥ පාරම්පරික සහ ආයුර්වේද වෙදදුරන් විසින් නොමිලයේ ප්‍රතිකාර සැපයෙනු ඇත.

මේ අතර ආයුර්වේද නිෂ්පාදන ඇතුළත් වෙළෙඳ කුටි, පාරම්පරික වෛද්‍යවරු ලියාපදිංචිය හා ආයුර්වේද නිෂ්පාදනාගාර ලියාපදිංචිය සඳහා උපදෙස් දේශීය වෙදකම්, ආයුර්වේද නිෂ්පාදන සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරන ඇතුළත් අලෙවි කුටි දේශීය ආහාර හා ඖෂධීය ඔසු පැන්, කැඳ වර්ග, රසකැවිලි අලෙවි කුටි, සියලු ඡ්‍යොතිෂ හා සම්බන්ධ සේවාවන් දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ මූල්‍ය ණය පහසුකම් සහ රක්ෂණ ක්‍රම ඇතුළු විවිධ සේවාවන් දේශීය සහ ආයුර්වේද වෛද්‍ය විශ්ව විද්‍යාල උසස්අධ්‍යාපන සම්බන්ධ දේශීය වෛද්‍ය ආයතනවල ප්‍රදර්ශන කුටි, දේශීය සහ ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ පාඨමාලාවන් පිළිබඳ දැනුවත් කිරීම් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ සේවාවන් ආශි‍්‍රත කුටි ඔසු වගා හා මී මැසි පාලනය සම්බන්ධ වැඩමුළු සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් උත්සව සමය නිමිත්තෙන් දේශීය රෙදිපිළි ඇඟලුම් , පාවහන්, ගෘහස්ත සහ මුළුතැන්ගෙට අවශ්‍ය උපකරණ ආදී බොහොමයකින් නිෂ්පාදන අලෙවි කුටි සම්මාන ප්‍රදානෝත්සවය පෙරදිග සංගීත ප්‍රසංගය අංගම්පොර, සළුපාලි, ගරායක් නැටුම් , නූර්ති කෝලම් ආදි කලා ප්‍රසංගයන්ද මෙහිදී සිදුකෙරේ.

එදිනවල සහභාගි වන සැමට ආයුර්වේද ප්‍රතිකාර නිෂ්පාදන අවුරුදු නැකැත් චාරිත්‍ර, ඇතුළත් ලිත සහ නානු නොමිලයේ ලබාදීමට සංවිධායක මණ්ඩලය කටයුතු සලසා තිබේ. මෙවන්වූ මාහැඟි ප්‍රදර්ශන හා සංවිධාන කටයුතුවලින් අප දේශීය වෙදකම ආයුර්වේද වෙදකම පමණක් නොව අපේයයි කියන සැම දෙයකටම ලබාදෙන ශක්තියක් යැයි සිතා සුභාසිංශනය ගෙන එමු.

අජිත් ධර්මසිරි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.