ජීවිත අවබෝධය ලබමින් යහපැවැත්ම මත නව වසර ජයගනිමු

ජනවාරි 1, 2021

බුද්ධවර්ෂ 2564 ක්වූ ශතවර්ෂ 1942න් 2021 වසර එළඹීම තුළ මුළුලෝකයටම නව වසරක අසිරිමත්භාවය විදීමට හැකියාව ලැබේ. සෑම වසරකම මෙම ජනවාරි මස 1 වන දිනය අපට වැදගත් වනුයේ නව වසරක ඇරඹීම එම දිනය තුළින් එළඹීමය.

එසේම නව ප්‍රාර්ථනා සමඟ ආරම්භ වන මෙම දිනය තුළ බොහෝ අය සිතනුයේ අලුත් යමක් කොට දියුණුව ප්‍රාර්ථනා කරමින් ජීවිතය සුවය, සැපත තුළින් නිදුක් නිරෝගීව සතුටින් ගත කිරීමටය.

ගතවුණු වසර අප රටට පමණක් නොව මුළු ලෝකයටම යම් කම්පන තත්ත්වයකට පත්වූයේ ඇතිවූ කොවිඩ් 19 භයානක වයිරසයය හේතුකොටගෙනය. තවමත් අපට එම බිය පහව නොගියේ මුළු ලොවටම වරින් වර කරනා බලපෑම් හේතුකොටගෙනය. කෙසේ වෙතත් මෙම රෝග ආක්‍රමණය පසෙකලා මුළු ලෝකයම නව වසරට පා තබනුයේ ප්‍රාර්ථනා කරනුයේ කිසිදු ලෙසක මෙවන් රෝගාබාධයක් කිසිඳු කලෙක ඇති නොවේවා ප්‍රාර්ථනාවෙනි. අප ඉතිහාස පුවත්හි බුදුරජුන් දවස විශාලා මහනුවර සිදුවූ තුන් බිය පහකිරීම සඳහා ගෞතම බුදුරජුන් රතන සුත්‍රය දේශනා කොට එම තත්ත්වය සමනය කරවූ පුවතයි.

2021 නව වසර නව සාමාන්‍ය තත්ත්වය මත අප ඉදිරියට යා යුත්තේ ලෝකය සිරිත් පරිදි ඉදිරියට යායුතු නිසාමය. පවත්නා සියලු බාධක කරදර බිඳ මුළු ලෝකයත් සමඟ අත්වැල් බැඳ 2021 නව වසරේ වන සියලු අභියෝගයන් බිඳ ඒ සඳහා අප මුහුණදිය යුතුම වේ.

ඒ සඳහා අපට බුදුදහම හුරුපුරුදු කරවූ දහම් කරුණු රාශියක් වේ. මෙම කරුණු මේ නව වසරට සුබ පැතුමක් වනුයේ ඒ තුළ වූ සාරධර්ම ගුණයන් නිසාමය.

ඉච්චේන අට්ඨ ධම්මා -

සද්ධස්ස ඝරමේසිතෝ

අක්ඛාතා සච්ච නාමේන -

අභයත්ථ සුඛාවහා

දිට්ඨධම්ම හිතාත්ථාය -

සම්පරාය සුඛාය ච

ස්වමේතේ ගහට්ඨානං -

වාගෝ පුඤ්ඤං පටඩඨති

කර්මාන්තය ගැන වීර්යය ඇති, සංවිධානයෙහි දක්ෂ තැනැත්තා මනාකොට ජීවත් වෙයි. රැස් කළ ධනය මනා කොට රකී. සැදැහැති , සිල්වත් , යාචක අදහස් දත් , මසුරුකම් නැති තැනැත්තේ පරලොව යහපතට අදාළ වන මඟ නිතර සරසයි.

ව්‍යාග්ඝ පජ්ජ සූත්‍රය ගෞතම බුදුරජුන් දේශනා කරන ලද්දේ ගිහියන් උදෙසා වීම විශේෂයකි. ගෞතම බුදුන් දෙසූ මෙම දහම් මාලාව අපට හිත සුව පිණිසම වනුයේ ඒ තුළ වූ සාරධර්ම අප අද ජීවිතයට උචිත , සරිලන ලෙසට දේශනා කිරීම විශේෂත්වයකි. මේ සූත්‍රය දේශනා කිරීමට හේතු වනුයේ දීඝජානු කෝලීය පුත්‍රයාගේ ඉල්ලීම පරිදි මොලොවත් , පරලොවත් දෙලොවටම හිත සැප සලසාදෙන මෙම දේශනය මොලොව දියුණුවට හේතුවන කරුණු 04 ක්ද පරලොව හිතසුව පිණිස වන කරුණු 04 කින් වීම විශේෂයකි.

මෙලොව දියුණුවට හේතුවන කරුණු

උට්ඨාන සම්පදාව

කල්‍යාන මිත්‍රතාව

ආරක්ඛා සම්පදාව

සමජිවිකතාව

පරලොව දියුණුවට හේතුවන කරුණු

සද්ධා සම්පදාව

ශීල සම්පදාව

ත්‍යාග සම්පදාව

ප්‍රඥා සම්පදාව

මේ අටවැදෑරුම් කරුණු දෙලොව සැප සලසා දේ. සාර්ථක ගිහි ජීවිතයත් ගෙවන අයුරු මේ සූත්‍රයෙන් මනාව විස්තර කෙරේ.

උත්සහ සම්පත්තිය

යම් ශිල්පයකින් මිනිසා නිසි පරිදි දිවිපවත්වා එහි දක්ෂවේද , මැලිනොවේද සුදුසු කල්හි කල්දැන නිසිලෙස කරයිද , වංචා නොකරයිද , උපාය දැන නිසි ලෙස කොට ජීවත්වීම නුවණ ඇත්තේද මෙම ක්‍රමයට වස්තු රැස්කිරීම උත්සහ සම්පත්තිය ලෙස දැක්වේ.

ආරක්ෂා සම්පත්තිය

දැහැමින් රැකී තම උපභෝග , වස්තු යහපත සිතා රැස්කිරීමේදී එය ආරක්ෂා කිරීම ආරක්ෂා සම්පත්තිය වේ.

කල්‍යාණ මිත්‍රත්වය

ශ්‍රද්ධා , ශීල, ත්‍යාග , නුවණ ඇත්තවුන් හා එක්වේද , කතාකෙරේද , සතර සම්පත්තිය අනුව ක්‍රියාකෙරේද , මේ කල්‍යාණ මිත්‍රත්වය යයි.

සමජීවිකතාව

අයවැය ඉක්මවා නොසිටීම තුළ මේ සම ජීවිකතාවය සෑම දෙයකටම පොදුවේ. ආහාර යැයි මේ පමණ දැන ක්‍රියාකිරීම සියල්ලටම එය යහපත් වේ.

මේ සමජීවිකාව සඳහා උපයන ලද භෝගයන්ගේ අය මුඛ 04 ක් වේ.

එසේම අපාය මුඛ 04 ක්ද වේ. මෙම අය මුඛ 4 වනුයේ

ස්ත්‍රී ලෝලියෙකු නොවීම

සුරා ලෝලියෙකු නොවීම

දූකෙළි ලෝලියෙකු නොවීම

යහපත් මිතුරන් ඇත්තෙකු වීම ද වේ.

එසේම මෙම කරුණු 4ම මිනිසාගේ මෙලොව හිත සුව පිණිසම වන නිසා නව වසරටත් මේ පවතිනා රෝග තත්ත්වය මැඬලීමටත් මෙම කරුණු අද සමාජයට ඉතාමත් යහපත් වේ.

එසේම පරලොව හිත සැප සලසන කරුණු තෙරුවන් කෙරේ ඇති ශ්‍රද්ධාව , කය, වචනය පිළිබඳ වරදින් වැළකීම නම් වූ ශීලය හා මසුරු මලයෙන් වෙන්වීම නම් වූ ත්‍යාගය හා විදසුන්

නුවණ නම් ප්‍රඥාවයි.

තවද ශ්‍රද්ධා සම්පදාව, ශීල සම්පදාව, ත්‍යාග සම්පදාව , පඤ්ඤා සම්පදාව යන නුවණින් ලොව සියලු බව හටගැනීම හා වැනසීම හොඳීන් දන්නා විදුනුවණින් සියලු දුක නැතිකරවනා ආර්ය වූ නිවන ඇසුරු කළාවූ නුවණින් යුක්ත වූයේද මෙය ප්‍රඥා සම්පදාවයි.

මේ සියල්ල සිතා බලා කරුණු අවබෝධ කොට අප ජීවිතය ජය ගැනීමටත් , අනාගතයට යහපත්ව පෙළගැසීමටත් අපිට හැකියාව ලබාදෙනු ඇත. කෙසේ වෙතත් මේ කරුණු සිතා බලා ජීවිතාවබෝධය කොට පවතිනා වූ වර්තමාන තත්ත්වයටත් කාලානුරූපීව අපට මේ සමාජයේ වන

සියලුම මිනිස් අති ධාවනකාරි තත්ත්වයන්ට වෙහෙසකාරි බවට මෙන්ම ලෝක ස්වභාවයත් හඳුනාගැනීමටත් මේ තුළ ඉතා හොඳීන් තම ජීවිකාව කොට ජීවිතය මෙන්ම මෙම නව වසර ජය ගැනීමටත් හේතුකාරක වන කරුණු රාශියක් ගෞතම බුදුරජුන් දෙසූ බොහෝ දහම් කරුණු වලින් අප අවබෝධ කරගත යුතුවේ. කොවිඩ් වැලඳීමෙන් පසු ලෝකයේ ඇමරිකාව ඇතුළු බොහෝ රටවල බොහෝ අය බුදුදහම වැලඳ ගැනීම අපට ඉතාමත් වැදගත් වූයේ ඒ සත්‍ය අවබෝධ කොට ගත් නිසාමය.

මේ ලබන 2021 වසර මුළු ලෝකයටමත් , අප රටටත් , ලෝකවාසී , ලංකාවාසී සැමටත් , සුබසෙත පුත්පත අපි ඔබ සැම වෙත නිදුක් නිරෝගි සුවය , සැපත , සතුට පිරුණු වසරක් ප්‍රාර්ථනා කරනුයේ හදපිරි සෙනෙහසින්මය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.