කැලණිය විෂ වෙද රෝහලේ ගම්පහ දිස්ත්‍රික් මැති ඇමතිවරුන් පිළිගැනීමේ උළෙලදා

දෙසැම්බර් 11, 2020

දේශීය වෛද්‍ය ක්‍රමය වෙනුවෙන් වෙනම අමාත්‍යංශයක් පිහිටුවීම සතුටට කරුණක් බවත්, පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය ජාත්‍යන්තරව ගෙනයාමේ කාලය එළඹී ඇති බවත් එහි ප්‍රගමනය වෙනුවෙන් කටයුතු කරන බවත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ කැලණිය පොල්හේන විෂ වෙද රෝහල සහිත වෛද්‍ය විද්‍යාලය “හෙළවෙද ගෙදර” පළමු මහල පිහිටි වෛද්‍යාචාර්ය අමරවංශ පතිරාජ අනුස්මරණ ශ්‍රවණාගාරයේ පැවැති ගම්පහ දිස්ත්‍රික් මැති ඇමතිවරුන් පිළිගැනීමේ උළෙල අමතමිනි. දේශීය වෛද්‍ය ක්‍රමයේ උන්නතිය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කිරීමට සැලසුම් කර ඇති බවත් ඔසු උයන් වගා කිරීමට ගොවීන්ට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම කෙරෙහි අවධානය යොමුවී ඇති බව පැවසීය. මෙමගින් ආයුර්වේද ඖෂධ ආනයනය සීමා කිරීම තුළින් විදෙස්වලට ඇදීයන මුදල් ලක්බිමේ සංවර්ධනය වෙනුවෙන් යෙදිවිය හැකි වන බවත් පැවසීය.

ආයුර්වේද නියාමන ක්‍රම වැදගත්වන නමුත් ප්‍රතිශක්ති විෂයධාරා වෙනස්කර අදට ගැලපෙන අයුරින් සැකසිය යුතුවන අතර, ආයුර්වේද හා පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම සංරක්ෂණය කළ යුතු කාලය එළඹ ඇත. පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය පර්යේෂණ මට්ටමින් දියුණු කළ යුතුව ඇත. නමුත් මෙතෙක් පාරම්පරික වෛද්‍යවරුන්ට වෛද්‍ය පර්යේෂණ කරගැනීමට නිසි ක්‍රමවේධයක් හා පහසුකම් සලසා නැහැ. එහි බාධක ඉවත්කර එහි උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා පැවසීය. එදා මුදලට නොව බුලත් හුරුල්ලට ගෞරවාන්විත සේවාවක් කළ වෛද්‍යවරයා රැකගැනීම වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සලසාදී කටයුතු කිරීම මිස මෙතෙක් ලියාපදිංචි වී ඇති වෛද්‍යවරුන් නැවත ලියාපදිංචි කිරීමට කටයුතුකර අසහනයට පත් නොකර ඉදිරියේදී එම ගැටලු නිරාකරණය වන බවත් පැවසීය.

මෙතෙක් ලියාපදිංචි වෛද්‍යවරුන්ට පමණක් ලබාදී තිබූ වෛද්‍ය රෙජිස්ට්‍රාර් තනතුර පසුගිය යහපාලන රජයේ දේශපාලන හිතවතුන්ට අත්තනෝමතික ලෙස වෛද්‍යවරුන් නොවන පුද්ගලයින්ට එම පත්වීම් ලබාදී ඇති බවට කරුණු හෙළිවී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වා නීත්‍යානුකූලව කටයුතු කර වෛද්‍යවරුන්ට වූ අසාධාරණය මින් ඉදිරියට ඇති නොවීමට කටයුතු කරන බවත් රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

මෙම විෂ වෙද රෝහල සහිත වෛද්‍ය විද්‍යාලය වැනි මහඟු සේවාවක් ඉටුකරන මෙවැනි ආයතන නංවාලීමට කටයුතු කරන බවත් පැවසීය. එහිදී ලේඛකාධිකාරිනී හා විදුහල්පති විෂ වෛද්‍ය විශාරද පණ්ඩිත විනීතා කල්‍යාණි පතිරාජ මහත්මිය දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා වෙත සංදේශයක් පිළිගැන්විණි.

එදින උත්සව සභාවේ මුලසුන හෙබවූ ශ්‍රී ලංකා ආයුර්වේද විෂ වෛද්‍ය මහා සංගමයේ අනුශාසක සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමියන් කතා කරමින් මෙම විෂ වෙද රෝහල සහිත වෛද්‍ය විද්‍යාලය ශික්ෂණ රෝහලක් ලෙස කටයුතු කරමින් වෛද්‍ය සිසුනට ප්‍රායෝගිකව පුළුල් දැනුම් සම්භාරයක් ලබාදෙමින් විනය ගරුක වටිනා සිසු පරපුරක් දැයට දායාද කරන විද්‍යාලය රටට මහඟු සම්පතකි. එමෙන්ම දිවයින පුරා විසිරී සිටින විෂ වෛද්‍යවරුන් ඒකරාශි කර එකම වහලක් යටතට ගෙන ඒමට කටයුතු කර ඇති බවත් උන්වහන්සේ පැවසූහ.

ස්වේච්ඡාවෙන් කටයුතු කරන වෛද්‍ය මණ්ඩලයකින් සැදුම්ලත් මෙම රෝහල පැය 24 පුරාම වසරේ දින 365 ම විවෘතව පවතින අතර, යම්කිසි මුදලක් නියම නොකරන ශ්‍රී ලංකාවේ එකම විෂ වෛද්‍ය රෝහල ලෙස අවිවාදයෙන් යුතුව නම් කළ හැකි බව උන්වහන්සේ පැවසූහ.

එදින එහි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මැටි, වේවැල්, පිත්තල රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර හා එම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී කෝකිලා හර්ෂණී ගුණවර්ධන යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

එහිදී කැලණිය පොල්හේන විෂ වෙද රෝහල සහිත වෛද්‍ය විද්‍යාලයේ ලේඛකාධිකාරිනී හා විදුහල්පතිනි විෂ වෛද්‍ය විශාරද පණ්ඩිත විනීතා කල්‍යාණි පතිරාජ මහත්මිය පිළිගැනීමේ කතාව පැවැත්වූවාය.

එදින උත්සව සභාව අමතා භූත විද්‍යාචාර්ය අල්ගම සුමනවංශ හිමි ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග සුබසෙත ජ්‍යෙෂ්ඨ කර්තෘ අජිත් ධර්මසිරි වෛද්‍යාචාර්ය කේ.ඩී.පියසේන, නේවාසික වෛද්‍ය උදිත අබේසිංහ යන මහත්වරුන්ද කතා කළහ.

මෙම අවස්ථාවට විද්‍යාලයේ භග්න චිකිත්සා පිළිබඳ ආචාර්ය වෛද්‍ය ශ්‍රී ලාල් සමරසේකර වෛද්‍ය අශෝකා මාලනී යහම්පත් හා වෛද්‍ය ෂෙහාන් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.