මන්ත්‍ර ශාස්ත්‍රය

නොවැම්බර් 13, 2020

යන්ත්‍ර මන්ත්‍ර යනු බල රහිත නිශ්ඵල වූ ප්‍රයෝගකාරි මුසාවායක් ලෙස සලකා බැහැර කිරීමට වර්තමානයේ බොහෝදෙනෙක් පුරුදුව සිටිති. ප්‍රවීණත්වයක් නොලැබූ බොහෝදෙනා ඒවා කෙරෙහි යොමු වී, අතනින් මෙතනින් අහුලාගත් යන්ත්‍ර මන්ත්‍රකරණයෙහි යෙදීමෙන් සමාජය මුලා කරන අයද සිටිනා බව පෙනී යන්නකි.

එහෙත් මෙම ශාස්ත්‍රය නියමාකාරව හදාරා පරිපූර්ණවූවකුට මෙම අගනා ශාස්ත්‍රානුභාවයෙන් විශ්මිත දේ සිදු කළ හැකි බව පිළිගත යුතු සත්‍යයකි. එය අප අත්දැකීමෙන්ද ලබා ඇත. ඉතා ඈත ඉතිහාසයට නොගොස් තරමක් මෑත ඉතිහාසය දෙස විමසා බැලුවහොත්, තොටගමුවේ හිමි, බත්තරමුල්ලේ හිමි, කුංකුණාවේ හිමි වැනි පැවිදි උතුමන්ද මෙම ශාස්ත්‍රය ඇසුරෙන් බොහෝ ආශ්චර්යමත් දෑ සිදු කර ඇති බව දක්නට තිබේ. යම් යම් හේතූන් මත මනුෂ්‍ය වර්ගයාට ඇතිවන ආපදා ව්‍යසනයන් සමනය කර ගැනීමට මෙම උතුම් ශාස්ත්‍රය ඉවහල් වී ඇති බවද නොරහසකි.

මන්ත්‍ර ශාස්ත්‍රය යනු විධිමත් අක්ෂර සංයෝගයක් මත පවත්නා ගුප්ත බලවේගයකින් යුක්ත ශාස්ත්‍රයකි. ඉතිහාසයගත ආයුර්වේද වෛද්‍ය විශාරදයෙක්ව සිටි රාවණා රජුද මන්ත්‍ර ශාස්ත්‍රය හොඳීන් දැන සිට ඉන් විපුල ප්‍රයෝජනගත්තෙකු හැටියට ප්‍රසිද්ධය. වෛද්‍ය ශාස්ත්‍රය, ඡ්‍යොතිෂ ශාස්ත්‍රය සහ මන්ත්‍ර ශාස්ත්‍රය එකිනෙකට කිට්ටු සම්බන්ධතා ඇති ප්‍රබල අංශ බව පැහැදිලි වේ. වෛද්‍ය කර්මයට අවශ්‍ය තෙල්, බෙහෙත්, ගුලි, කල්ක ආදිය ශුභ මුහුර්තියෙන් සකස් කොට,

මන්ත්‍ර බලය යොදා ජප කොට, රෝග නිවාරණය පිණිස යොදාගත් බව ඉපැරණි පොතපතෙහි සඳහන් වේ. දැනුදු මන්ත්‍ර බලය කැවූ ඖෂධයක්ගෙන් ඉමහත් ප්‍රයෝජන ගන්නා අය සිටිති.

මෙකී ශාස්ත්‍ර ක්‍රමයෙන් ඉෂ්ඨාර්ථ සිද්ධි ලබා ගත හැකි වූයේ භාෂා ශාස්ත්‍රය පිළිබඳව උසස් දැනීමක් තිබූ අයටය. ඒවා ක්‍රියාවෙහි යොදවා සාර්ථක ප්‍රතිඵල පෙන්විය හැකි වුයේද ඔවුන්ටමය. වරින් වර එවන් විද්වත් පිරිසක් පහළ වීමෙන් ශාස්ත්‍රානුකූලව ක්‍රියාත්මක කොට පෙන්වීමක්, එදා ලැබූ අත්දැකීම් කටින් කට හෝ පැවත ඒමත් නිසා මෙම උසස් ශාස්ත්‍රය එක හෙළා ප්‍රතික්ෂේප කිරීම නොකට යුත්තකි. සංස්කෘ භාෂාභ්‍යාසයක්, ජ්‍යොතිෂ ශාස්ත්‍රයක් හරිහැටි නොදත් අයට

මෙම මහඟු ශාස්ත්‍රෙයන් නිසි ප්‍රයෝජන ගැනීම අපහසුය.

ආදිතම කාලවලදී මෙම ශාස්ත්‍රය භාවිතා වූයේ බ්‍රාහ්මණ වංශිකයන් අතරය. වේධය පිළිබඳව වූ “ ශ්‍රෝත“ කර්මයයි පූජා විෂයක්ද ඇත. මෙම යාගයන්ගේ බහු සමාරම්භතාවයද, එම කර්මය සිදු කිරීමේදී මැතිරිය යුතු වේධ වාක්‍යවල බහුලතාවයද, තවත් නොයෙකුත් හේතූන් නිසාද මේ සඳහා බොහෝදෙනෙකු අවශ්‍ය විය. මේකී යාගයන්ගෙන් ලැබෙන ප්‍රතිඵල කෙතරම් උසස් වුවද, ඒවා සිදු කරවිය හැකි වූයේ ධනවතුනට පමණකි. කිරි, දී, ගිතෙල්, බත්, පුප ආදිය පිදීමද “ සෝම“ රස පූජා විධිද මේවාට ඇතුළත් විය. සෝම රස යනුවෙන් හඳුන්වනු ලැබුයේ එක්තරා කිරි පැළෑටි වර්ගයකින් ගත් යුෂයෙන් පිළියෙල කරන ලද මත්ද්‍රව විශේෂයකි. පෞරාණික දේව පූජාවලදී මෙය ඉතා උසස් කොට සලකනු ලැබූවකි. වෛදික යාගයන්හිදී සෝමයාගය අතිශය ගාම්භීර එකක් විය. සියලු යස ඉසුරු ලබා ගැනීමෙහිද, අමරණීය භාවය ගෙනදී මෙහිද මහත් බලයක් එය සතුව පැවතුණ බව පිළිගැනිණි. එකල රජකුමරෙකු රාජ්‍යත්වයට පත් වීමේදී “ රාජසූය“ නම් යාගය පැවැත්වූ බවද සඳහන් වේ. “ අශ්වවේධ “ යාගය වැනි යාග පැවැත්වූයේ රාජ්‍යත්වය තහවුරු කර ගැනීමටය.

පුරාතනයේ රජවරුන්ගෙන් තාන්න මාන්න ලැබා ගැනීමටද යන්ත්‍ර මන්ත්‍ර භාවිතා කර ඇත. පෙර සිටි ඇතැම් බ්‍රාහ්මණයන් සති ගණන්, මාස ගණන් මෙම යාග හෝම ආදිය පවත්වාගෙන යාම සඳහා මූලික ශාස්ත්‍රීය විධිවලට අමතර වශයෙන් අශාස්ත්‍රීය යාංහැළි පවා යොදාගෙන ඇති බව පෙනේ. ඉන් ඔවුන්ගේ අරමුණවන්නට ඇත්තේ සිදු කරනු ලබන කාර්්‍යාලයෙහි අසීරුත්වය විදහා දක්වමින් තම පෞද්ගලික ලාභ සත්කාර වර්ධනය කර ගැනීම විනා ශාස්ත්‍රානුභාවය පෙන්නුම් කිරීමට උත්සාහ දැරීමක් නොවන්නට ඇත. පසුකාලීනයන්ද ඒවා ඒ අනුවම පිළිපදින්නට හුරුපුරුදු වූවා මිස ශාස්ත්‍රයෙහි හරය හෝ මූලික ඉගැන්වීම් අධ්‍යයනය කිරීමක් නොවන්නට ඇත. ඉන් සිදු වූවේ මෙම උත්තරීතර ශාස්ත්‍රය මහජන අප්‍රසාදයට ලක් වූවා පමණි. වෙනසක් තබා අක්ෂර දෙකක ඝට්ටනයෙන් හට ගන්නා වූ ශබ්දයක් පවා හරිහැටි උච්ඡාරණය කළ හැකි ශාස්ත්‍රඥයන්යයි. කියා ගන්නා ඇදුරන් අද අප අතර සිටින්නේ කීයෙන් කීදෙනෙකුදැයි වටහා ගැනීම වටී.

මේ ලෝකයෙහි පවත්නා අසංඛ්‍යාත ජිව සත්වයාගේ පටන් ගස්, ගල්, පර්වතාදී සෑම වස්තු විෂයක්ම ඇති වීම පැවතීම හෝ නැතිවීම ආපෝ, තෝජෝ, වායෝ, පඨවි, ආකාශ යන පංච මහා භූතයන්ගේ බලපෑමට හේතුවන්නා සේම, ස්වර ශාස්ත්‍රයේ පැවැත්මට ද පංචමහා භූත බලය හේතු වෙයි. එම භූතාත්මිකව උපදින අක්ෂරයන්ගේ සංයෝගයෙන් ඒවායේ බලය තව තවත් වර්ධනය කර ගැනීම සඳහා කරන ලද ප්‍රබන්ධයන් වශයෙන් මන්ත්‍ර හඳුන්වාදිය හැකිය.

යම් කෙනෙකු හැඳීන්වීමට භාවිතා කරනු ලබන නාමයන් හෝ යම් යම් ව්‍යාපාර ආදිය හැඳීන්වීම සඳහා යොදා ගන්නා වූ සෑම නාමයකම ඇති ස්වර ව්‍යංජන අක්ෂයන්හි පවත්නා වූ භූත බලය කරණකොට ගෙන එම පුද්ගලයාගේ හෝ ව්‍යාපාරයෙහි වැඩ අවැඩ සිදුවන්නේය.

ශිෂ්‍යා, කල්ප, ව්‍යාකරණ, නිරුක්ති, ජ්‍යොතිෂ, ඡන්දස්, සෘග්, යජුස්, යාමන්, අතර්වන්, මීමංශා, න්‍යාය, ධර්ම, ශාස්ත්‍ර, පුරාණ, ආයුර්වේද, ගාන්ධර්ව, අර්ථ ශාස්ත්‍ර යනුවෙන් ඇටළොස් කොටසකින් සමන්විත හිතානු ශාස්ත්‍රය උභය ලෝකාර්ථ සදන්නකි. මන්ත්‍ර ශාස්ත්‍රයද එයට ඇතුළත්ය. එය චතුර්වේදයෙහිද ගැබ්ව පවතී. මේ ශාස්ත්‍රයන් ලංකාව තුළ ප්‍රචලිත වන්නට එකල පැවති දෙවන භාෂාවක් හේතුවිය යුතුය. මුලින් ව්‍යවහාර වශයෙන් පැවති එම භාෂාවට ව්‍යාකරණ එකතු වී සංස්කරණය වන්නට කල්ගත වන්නට ඇත.

ඉන්ද්‍රය, චන්ද්‍රය, කාසකෘෂ්ණ, අපිශාලි, සාකටන, පාකිණී, අමර, ජෛනේන්ද්‍ර යන මේ අෂ්ඨ ශබ්දයෝම ව්‍යාකරණය නිපදවීමෙහි මූලික වෙති. භාෂාවක අසාධු ශබ්දයන්ගෙන් සාධු ශබ්ද වෙන්කොට ශිෂ්ඨ ව්‍යවහාරය සඳහා යම් ශාස්ත්‍රීය පිළිවෙතකින් අනුශාසනා දක්වන්නේ නම් එය ව්‍යාකරණය නමින් හැඳීන්විය හැකිය. ඒවා මන්ත්‍රයන්ය, ශබ්ද්‍රනුශාසන, ශබ්ද ලක්ෂණ, ශබ්ද උත්පාදක වශයෙන්ද මේවා විස්තර වෙයි.

නිත්‍යනීති සංග්‍රහයක් නොමැතිව රාජ්‍යයක් ස්ථාපනය නොවන්නා සේම ව්‍යාකරණ මන්ත්‍ර රහිත භාෂාවකටද දිගුකල්පැවැත්මක්, සංවර්ධනයක් ඇති නොවන්නේය. කල්යාමේදී ඒ ඒ භාෂා ධර්මතා උල්ලංඝනය කිරීමෙන්, සාවද්‍ය උච්ඡාරණයෙන් ආදියෙන් කිළිටි වන පද දුෂ්ඨත්වයට පත් වෙයි. යථාර්ථබෝධය නැති කරයි. ශබ්ද ශ්‍රවණ වශයෙන්, වර්ණ වශයෙන් හෝ දර්ශන වශයෙන් නොමනා අන්දමින් යෙදීම් සිදු වූ විට හත්වාර්ථාවබෝධය කළ නොහැකි වන්නේය. ශබ්දය හෙවත් වචනය ශුභ හෝ අශුභ වශයෙන් ප්‍රතිඵල ගෙන දෙන්නේ යහපත් අන්දමින් ව්‍යවහාර කළ විටය. එසේ නොකරන විට තත් වාර්තාවබෝධයෙන් ශුභ හෝ අශුභ ඵල ගෙනදෙන්නේ නැත. යහපත් නිවැරදි ආකාරයෙන් ශබ්ධ ව්‍යවහාර කිරීමෙන් යහපත් ප්‍රතිඵල ගෙන දේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ලබන සතියට

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.