ජනතාවට සහන දෙමින් රවි වෘශ්චික රැසට

නොවැම්බර් 13, 2020

2020.11.16 වෙනි සඳු දින පැය 06.54 න් ලොව පාලනය කරන්නාවූ සූර්ය දිව්‍ය රාජ තෙම, කුජ හිමි වෘශ්චික රාශියට පැමිණ 2020.12.15 දින රාත්‍රීවනතුරු එහි ගමන් කරනු ඇත. විසා එක් අනුර, දෙට, වෘශ්චික රැස කීවාසේ ගුරුහිමි විසා නැකතේ 4 වන පාදයත් ශනි හිමි අනුර නැකත හා බුධ හිමි දෙට නැකත සම්පූර්ණව යන නකත් පාද වල මේ කාලය තුළ රවි වෘශ්චිකයේ ගමන් කරනු ඇත. ශ්‍රී ලංකා කුම්භ ලග්නයේ 10 වැන්න වෘශ්චික රැස වේ. රවි එහි පැමිණ දිග් බලයෙන් යුතුව ගමන් කිරීම නිසා මේ කාලය තුළ රටෙහි ජනතාවට සහන රැසක් ලැබෙනු ඇත.

 

අති මහත් දුෂ්කරතා මැද ජීවන තත්ත්වයන් ගෙන යන රටෙහි ජනතාවට කිසියම් සහනයක් ලබා දෙන්නේ නම් පිපාසයෙන් සිටින කෙනෙකුට දිය බිඳක් ලද සෙයින් සැනසීමට කාරණයක් වේ. තත්කාල වෘශ්චික ලග්නය යෙදී තිබෙන රවි, සඳු දෙපල එහි සිටීම ධර්ම කර්මාධිපති රාජ යෝගය ලබා දෙන්නේ වෙයි. නොවැ. 16 දින රාත්‍රී සිකුරු ග්‍රහයා තුලා රැසට පැමිණීමත් 20 වෙනි දින මෙතෙක් වක්‍රව ගමන් කළ ගුරු මකර රාශියට පැමිණීමත් මකර රැසෙහි ගමන් කරන ශනි එහි සිටීම නිසා නීච භංග යෝගයක් යෙදෙන බවත් 28 දින උදේ බුධ වෘශ්චික රැසට පැමිණීමත් දෙසැ. 10 දින රාත්‍රී සිකුරු නැවත වෘශ්චික රැසට පැමිණීමත් යන ග්‍රහ ගෝචරයන් මේ කාලය තුළ සිදුවනු ඇත. තත්කාල අවස්ථාවේ රවි, සඳු දෙපැත්තේ තුලා රැසෙහි බුධ පිහිටීමත් ධනු රැසෙහි ගුරු පිහිටීමත් නිසා උභයචාරී යෝගය යෙදී තිබෙන බවද සිහිගන්වනු කැමැත්තෙමි. මෙම ග්‍රහ තත්ත්වයන් හේතුකොටගෙන විදේශාධාර ලැබීමටත්, විදේශවලින් සංවර්ධන ආයෝජන ලැබෙන බවත් පෙන්වා දෙන අතර ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යනු ලබන කර්මාන්ත ශාලාවන්හි සේවා යථා තත්ත්වයට පත්වන බවත් පෙනේ. මහජන හිත සුව පිණිස ක්‍රියා කිරීමට රජය වෙහෙසෙන බවත්, මුදල් අවභාවිතා කරමින් කටයුතු කරන අය නීතියේ රැහැන්වලට හසුවන බවත් මින් පෙර ජනතා විරෝධී ක්‍රියාවල යෙදී සිටියවුන්ට ද දඬුවම් ලැබෙන බවත් නොකියාම බැරිය. පුවත්පත් කලාවේදීන්ට තරමක අශුභ කාලයක් උදාවන බවත්, ළමා වියේ පසුවන දරුවන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසද දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින අතර මාර්ගවල සිදුවන අනතුරු වලක්වා ගැනීමට වාහන පදවන්නන් සිත්හි තබා ගත යුතු බවත්, දැනට පැතිරී යන වසංගත රෝග තත්ත්වයෙන් මිදීමට සෞඛ්‍ය නීති අනුගමනය කරන ලෙසද ඉල්ලා සිටිමු.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.