ඔසු හා ආහාරමය ගුණ පිරිපුන් කඩුපහර

මැයි 28, 2021

අප අවට පරිසරය ගැන හොඳීන් නිරීක්ෂණය කර බැලූ විට බහුල ලෙස දක්නට ලැබෙනුයේ ශාක ද්‍රව්‍යයන් ය. මෙයට අමතරව සත්ව ද්‍රව්‍යයන් හා පාර්ථිව ද්‍රව්‍යයන් ද බොහෝ සෙයින් දක්නට ලැබේ. මෙයට හේතු වනුයේ අප හා අප ජීවත්වන පරිසරයේ සියලු දේ පංචමහා භූතයන්ගෙන් නිර්මාණය වී ඇති බවත් ඒ සියල්ලම ශාක සත්ව හා පාර්ථිව යන කොටස් තුනෙන් එක් කොටසකට හෝ අයත්ව ඇති බැවිනි.

 

මේ අතුරින් බහුලව දක්නට ලැබෙන ශාක ද්‍රව්‍යයන් ද නැවත කාණ්ඩ කිහිපයකට ම බෙදනු ලබයි. එනම්, ආහාරමය, ඖෂධීය හා ආහාරමය වශයෙන් වැදගත් වන ශාක මෙන්ම ආර්ථික වශයෙන් වැදගත් වන ශාක ආදී වශයෙනි. මෙම කාණ්ඩයන් අතුරින් ඖෂධීය හා ආහාරමය වශයෙන් වැදගත් වන ශාක විශාල ප්‍රමාණයක් දක්නට ඇත. ඒ අතුරින් එක් ශාකයක් වශයෙන් කඩුපහර ශාකය ද දැක්විය හැකිය.

ඖෂධීය වශයෙන් ගත් කල දේශීය වෛද්‍ය ක්‍රමයේ බොහෝ විට දක්නට ලැබෙන අතර විශේෂයෙන් අප රටේ මුඛ ව්‍යවහාරයෙන් පැවත එන වෙදකමට අයත් පැළෑටියක් ලෙස හැඳීන්විය හැකිය. ආහාරමය වශයෙන් ද අතිශයින් ගුණ දෙන පැළෑටියක් ලෙස මෙම ‘කඩුපහර පැළෑටිය හැඳීන්විය හැකි අතර, ආහාරමය වශයෙන් විශේෂයෙන් කොළ ප්‍රයෝජනයට ගනු ලබයි.

වැවෙන ප්‍රදේශ

විදේශීය වශයෙන් - ඉන්දියාව, මැලේසියාව, චීනය සහ ඝර්ම කලාපීය රටවල දක්නට ලැබෙන පැළෑටියකි.

දේශීය වශයෙන් - ශී‍්‍ර ලංකාව පුරාම ව්‍යාප්තව පවතින පැළෑටියක් වන මෙම කඩුපහර පැළෑටිය පේරාදෙණිය උද්භිද උද්‍යානය, නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනය, බත්ගොඩ පල්ලෙකැලේ ආදී ඔසු උයන්වල දක්නට ලැබේ. එසේම ‘කඩුපහර පැළෑටියේ වියළි නිදර්ශක, පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ජාතික ශාකාගාරයේ සහ නාවින්න ආයුර්වේද පර්යේෂණායතනයේ ශාකාගාරයේ දක්නට ඇත.

පැළෑටියේ ස්වරූපය

අඟල් 12-16 පමණ උසට වැඩෙන කුඩා බහුවාර්ෂික පැළෑටියක් වන ‘කඩුපහර පැළෑටිය බිම් බෑවුම් හෝ ඝර්පීකඳ සහිත පැළෑටියකි.

මෙම පැළෑටියේ මුදුන් මුල ඉතා ශක්තිමත් ය. මෙම පැළෑටියේ කඳේ අග්‍රස්ථය ඍජුව සැකසී පවතින අතර ඉතා හොඳීන් ශාඛනය වූවකි. සිනිඳුය. මෙහි පත්‍ර සරල හා ඒකාන්තර වන අතර නිර්වෘත්තීය වේ. මෙහි ළපටි කොළ හැර අනෙක් කොළ විණාකාර ( ධ්රපචබඥ ) වන අතර කොළවල අග භාගය අණ්ඩාකාරය. පත්‍රවල උඩු හා යටි පෘෂ්ඨ දෙපසම බූව සහිතය. එසේම තරමක් ඝනකම් වන අතර අළු සහිත යටි පෘෂ්ඨයක් වේ. ශීර්ෂක ඵල මල් රාශියක් ඇත. මෙම මල් ක්‍රමවත් ද්විලිංගික වේ. මෙහි මල් සාමාන්‍යයෙන් දීප්තිමත් රෝස පැහැයට හුරු දම් පැහැයක් ගනු ලබයි. මඳ වශයෙන් නැමුණු ස්වරූපයක් ගනී.

මල් හට ගැනීම වසර පුරාම සිදු වේ. මෙහි හට ගන්නා ගෙඩි කුඩා චර්මලයක් ( චජඩඥදඥ ) වන අතර සියුම් සුදු කේශර රාශියක් වේ. එසේම මෙහි හටගන්නා ගෙඩිවල බූමනියන් වෙයි. සුළං මඟින් පැතිරී යාමට මෙම බූමණිය (නචනනභඵ)බෙහෙවින් උපකාරී වේ. මෙම හේතුව නිසා කඩුපහර පැළෑටිය ඉතා ඉක්මනින් ව්‍යාප්ත වීමට පටන් ගනියි.

තවද කඩුපහර යනු පරිසරය අනුව බෙහෙවින් වෙනස්වන පැළෑටියකි. මුහුදු වෙරළ අද්දර ඇති ‘කඩුපහර ශාකයන් එම ලක්ෂණ පෙන්නුම් කරනු ලබයි. මෙම ශාකයේ කොළ හෝ නටු කැඩුණු විට ඝනතාවයෙන් යුක්ත කිරි පැහැති ද්‍රව්‍යයක් මතු වේ.

කඩුපහර පිළිබඳව විවිධ භාෂාවලින් හඳුන්වනු ලබන නාම

පොදු සිංහල නාමය - කඩුපහර වේ.

මෙහි උද්භිද විද්‍යාත්මක නාම

ඡ්ථඪතඪච ඥචඥපබච ජ්ධඵඡඥපඨට සහ ඡ්ථඪතඪච ඉධදජදඪ ජ්ධතඪච (ඹ්)වන අතර

කුලය ඛ්ර්‍ණර්ර්‍ථර්‍ණඉධ් ඊඒඡ් හෙවත් භෘංගරාජ කුලය වෙයි.

මෙම කුලයට අයත් අනෙකුත් ශාකයන් වනුයේ අක්කරපට්ට, ෂවක (විෂදූලි) සන්නිනායම්, කීකිරිඳිය, කොට්ටම්, මුඩමහන, අක්මැල්ල, පුපුල සහ මොනරකුඩුම්බිය ආදී ශාකයන් ය. මෙම පැළෑටිය ඖෂධමය වශයෙන් සහ ආහාරමය වශයෙන් ප්‍රයෝජනයට ගනු ලබන අතර ඖෂධීය වශයෙන් මුළු පැළෑටියම ද ආහාරමය වශයෙන් කොළ ද ප්‍රයෝජනයට ගනු ලබයි.

කඩුපහර ප්‍රභේද - ශී‍්‍ර ලංකාවේ කඩුපහර ප්‍රභේද තුනක් දක්නට ලැබෙයි. එනම්,

1. ඡ්ථඪතඪච ණචමචදඪජච

2. ඡ්ථඪතඪච ඉජචඡපච

3. ඡ්ථඪතඪච ඛඥරතචදඪජච වශයෙනි.

මේ අතුරින් අවසාන ප්‍රභේදය වන ඡ්ථඪතඪච නම් ප්‍රභේදය වැවෙන්නේ ශී‍්‍ර ලංකාවේ පමණක් වන අතර එය මෙරට කඳුකරයේ පමණක් වැවේ.

ඖෂධීය ගුණකර්ම

මෙය ඖෂධීය වශයෙන් ප්‍රයෝජනයට ගනු ලබන්නේ අත් බෙහෙතක් වශයෙනි. ඒකීය ද්‍රව්‍යයක් වශයෙන් ද වෙනත් ඖෂධ ද්‍රව්‍යය සමඟ සංයෝගව ද ප්‍රයෝජනයට ගනු ලබයි. සාමාන්‍යයෙන් මෙම පැළෑටිය අම්ල හා කසට රසයෙන් යුතු වන අතර ගුණයෙන් ශීතල ය. එසේම මෙහි ප්‍රධාන කි‍්‍රයාව වනුයේ විෂ නාශනයයි.

මේ අතර මළ ද්‍රව්‍ය පහසුවෙන් පිට කිරීමට සලස්වන අතර ඇසට හිතකර ය. තවද උණ, උගුරේ රෝග වණ, ඉදිමුම්, කැස්ස, තුවාල අතීසාරය ආදියේ දී ප්‍රයෝග කරනු ලබයි. සර්ප විෂට, පත්තෑ සහ ගෝනුසු විෂට ද ක්ෂණික ප්‍රතිකාරයකි. එසේම කැඩුම් බිඳුම් වෙදකමේ දී ද ප්‍රයෝජනයට ගනු ලබන ද්‍රව්‍යයකි.

තවද මෙහි කොළවල යුෂය ඇස් දැවිල්ලට අගනා ඔසුවක් වන අතර තුවාල සේදීමටත්, කුෂ්ට හා වෙනත් සමේ රෝග සඳහා ද ඒකීය වශයෙන් හා වෙනත් ද්‍රව්‍ය සමඟ සංයෝගව ද ප්‍රයෝග කරයි. එසේම මාන්දම් රෝගයට විශේෂ ඔසුවකි.

කඩුපහර අඩංගු ඖෂධ ප්‍රයෝගයන් රාශියක් වන අතර එයින් කිහිපයක් නම්,

කැපුණු විට - කඩුපහර, අමුකහ, අමු ඉඟුරු, සුදුලූනු එක පමණට ගෙන තල තෙලින් මලවා බඳීනු ලබයි.

සුළු කැපුම් හා සීරුම් අවස්ථාවලදී ලේ නතර කිරීමට - කඩුපහර කොළ තලා තුවාල මත තබනු ලබයි.

හොරි, වණ, දද, කුෂ්ට සඳහා - කඩුපහර තම්බාගත් ජලයෙන් සේදීම සුදුසු ය.

පත්තෑ, ගෝනුසු, හා ගරුඬ ආදී විෂ අවස්ථාවල දී -

1.කඩුපහර සහල් දොවුන් දියෙන් තම්බා අඹරා දෂ්ඨ මුඛයේ ගානු ලබයි.

2.කඩුපහර ශාකය ඇල් දියෙන් අඹරා ආලේප කරනු ලබයි.

තුවාල පෑහීමට සහ ලේ නතර වීමට -

කඩුපහර, දෙහි, මදු ඔලිඳ, කරල් හැබ, කටුපිල, හාතවාරිය, ආදියේ දලු සමව ගෙන කහ, ලුණු දමා කොටා මලවා බඳීනු ලබයි. මේ ආදී ඖෂධ යෝග රාශියක් කඩු පහර අඩංගුව විවිධ රෝගාබාධ සඳහා යෙදේ. මෙසේ ඖෂධීය වශයෙන් අතිශයින් ප්‍රයෝජනවත් ශාකයක් වශයෙන් කඩුපහර ශාකය හැඳීන්විය හැකිය.

ආහාරමය වටිනාකම

මෙය ආහාරමය වශයෙන් ප්‍රයෝජනයට ගනු ලබන්නේ බොහෝ විට පළා වර්ගයක් වශයෙන් තනිව හෝ වෙනත් පළා වර්ග සමඟ මිශ්‍රකර මැල්ලුම් සම්බෝල හා ව්‍යාංජන වශයෙනි. එසේම විෂ නාශකයක් ලෙස කොළ කැඳ වශයෙන් ද ප්‍රයෝජනයට ගනු ලබයි. තවද බඩගිනි වැඩිකරලීම සඳහා ව්‍යාංජනයක් වශයෙන් සකසා ආහාරයට ගනු ලබයි.

මේ අනුව පැහැදිලි වනුයේ,‘කඩුපහර යනු ඖෂධීය වශයෙන් මෙන්ම ආහාරමය වශයෙන් ඉතා ප්‍රයෝජනවත් ශාකයක් බවයි.

බොහෝ දෙනා නොදනිතත් ඉතා පහසුවෙන් සපයාගත හැකි මෙවන් ඖෂධීය ශාකයන් පිළිබඳ නිවැරදි අවබෝධයකින් යුතුව ප්‍රයෝජනයට ගැනීමෙන් රෝගාබාධ රාශියකින් සහනය මෙන්ම ඖෂධාහාරයක් ලෙස ප්‍රයෝජනයට ගැනීමෙන් රෝග ඇතිවීමෙන් වැළකී ශාරීරික හා මානසික වර්ධනය ළඟාකර ගැනීමටත් හැකිවනු ඇත.

 

කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.