ආහාර රුචිය වඩවන ආමාශයට හොඳ පලතුරක් දිවුල්

මැයි 21, 2021

දිවුල් ශාකය පැඟිරි ශාක කුලයට අයත් වන අතර, එය ශ්‍රී ලංකාව හා ඉන්දියාව ආශ්‍රිතව සම්භවය වී ඇත. මෙය නිවර්තන කලාපයේ බොහෝ රටවල ද දක්නට ලැබෙයි. වනගත ප්‍රදේශ වල මෙන්ම වියළි කලාපයේ බොහෝ රටවල ද දක්නට ලැබෙයි.

 

වනගත ප්‍රදේශවල මෙන් ම වියළි කලාපයේ බොහෝ ගෙවතු ආශ්‍රිතව ද ස්වභාවිකව වැඩෙන දිවුල් ගස් බහුලව දක්නට ලැබේ.දිවුල් ශාකය උසට වැඩෙන අතු රිකිලි විශාල සංඛ්‍යාවක් ඇති ශාකයකි. කඳ බොහෝවිට තියුණු කටුවලින් සමන්විතය.

දිවුල් ඵලය සිනිඳු සුදු පැහැති තද බාහිරාවරණයකින් යුත් ඉදුණු විට තද දුඹුරු පැහැති පල්පයකි.දිවුල් පලයේ මදය ඇඹුල් මිශ්‍ර මිහිරි රසයෙන් යුතු අතර, ඉදුණු විට ආවේණික වූ සුවඳකින් සමන්විත ය.දිවුල් පෝෂණ ගුණයෙන් ඉහළ පලතුරකි.දිවුල් ගෙඩියක බර ,හැඩය හා ප්‍රමාණය , මදයේ අඩංගු තන්තු ප්‍රමාණය හා බීජ ගණන ද අනුව විශාල විවිධත්වයක් පෙන්නුම් කරයි.

 

පෝෂණීය අගය

ඉදුණු දිවුල් මද ග්‍රෑම් 100ක අඩංගු සංයුතිය පහත දක්වා ඇත.

 

ශක්තිය කිලෝ කැලරි 134

ජලය ග්‍රෑම් 64.2

ප්‍රෝටීන් ග්‍රෑම් 7.9

මේදය ග්‍රෑම් 3.7

කාබෝහයිඩ්රේට් ග්‍රෑම් 18.1

කැල්සියම් මිලිග්‍රෑම් 130

පොස්පරස් මිලිග්‍රෑම් 110

යකඩ මිලිග්‍රෑම් 0.6

කැරොටිනේස් මයික්‍රොග්‍රෑම් 61

තයමින් මයික්‍රොග්‍රෑම් 40

රයිබොප්ලෙවින් මයික්‍රොග්‍රෑම් 0.8

නියැසීන් මිලිග්‍රෑම් 0.8

තන්තු ග්‍රෑම් 3.9

 

කැල්සියම් හා පොස්පරස් බහුලවම අඩංගු වන දිවුල්වලින් සෑදූ බීම වීදුරුවක් පානය කිරීමෙන් වැඩිහිටියෙකුට දිනකට අවශ්‍ය වන වීදුරුවකින් ලබා ගන්නා කැල්සියම් ප්‍රමාණය ලබාගත හැකි වනු ඇත.වයස් ගත වන විට ඇති වන ඔස්ටියෝපොරෝසිස් ආදී රෝගාබාධවලින් මිදී ශක්තිමත් නිරෝගිමත් ජීවිතයක් ගත කිරීම සඳහා මේද රහිත කිරි ආදී රසායන ද්‍රව්‍ය යෙදූ නිෂ්පාදන වෙනුවට පෝෂණීය දිවුල් ආහාරයට ගැනීම වඩා වැදගත් වනු ඇත.

දිවුල් ශාකය ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ හා අතරමැදි කලාපවල බහුලව දක්නට ලැබේ.මුහුදු මට්ටමේ සිට උච්චත්වය මීටර් 450ට වඩා ඉහළ යන විට දිවුල් ශාකයේ වර්ධනය දුර්වල වන අතර, ඵල දැරීම ද අක්‍රමවත් වේ.එසේම වියළි දේශගුණික තත්ත්ව දිවුල් ශාකයේ වර්ධනය හා මල් ,ඵල හට ගැනීමට යෝග්‍ය වන බැවින් ලංකාවේ උස් බිම් හා තෙත් කලාපයේ හැරුණු විට අනෙකුත් ප්‍රදේශවල දිවුල් සාර්ථකව වගා කළ හැකිය.

ස්වභාවික තත්ත්ව යටතේ දිවුල් ශාකය විවිධ ලක්ෂණ සහිත පාංශු වර්ගවල වැවෙනු දක්නට ලැබෙන නිසා විශාල පාංශු පරාසයක දිවුල් වගා කිරීමේ හැකියාව ඇත.විශේෂයෙන් දිවුල් ශාකය ජලය බැසයාම දුර්වල ,ලවණ පස් සහ සෝදා පාළුවට ලක් වූ පස්වල ද වගා කළ හැකි නමුත් හොඳීන් ජලය වහනය වන කාබනික ද්‍රව්‍ය සහිත සැහැල්ලු පසක එය සාර්ථකව වගා කළ හැකිය.එබැවින් ශ්‍රී ලංකාවේ ස්වභාවික තත්ත්ව යටතේ රතු දුඹුරු පස් සහිත වියළි කලාපයේ සහ වෙනත් විශේෂ සහිත අතරමැදි කලාපයේ ද දිවුල් හොඳීන් වගා කළ හැකිය.

බීජ පැළ මඟින් අස්වැන්න ලබා දීමට වසර 10-15 ක පමණ කාලයක් ද බද්ධ පැළයකින් නම් සාර්ථක අස්වැන්නක් ලබා දීමට වසර 5ක පමණ කාලයක් ද ගත වේ.බද්ධ කරන ලද දිවුල් පැළයක වසර 3ක් පමණ වන විට මල් හට ගනී .එහෙත් ගසෙහි වර්ධක වර්ධනය හොඳීන් සිදු වන තුරු ඵල හට ගැනීම වළක්වාලීම සඳහා මල් කඩා ඉවත් කළ යුතු ය.බද්ධ කරන ලද පැළයක් නිසි පරිදි වර්ධනය සිදු වී වසර 8-10 ක් පමණ වයස වන විට සාමාන්‍ය බීජ පැළයක තරමටම ඉතා හොඳීන් ඵල හට ගැනීම සිදු කරයි.

සාමාන්‍යයෙන් මල් හට ගැනීම වසරේ පෙබරවාරි සිට මාර්තු මාසවල සිදු වන අතර අස්වැන්න නෙළීම මැයි සිට සැප්තැම්බර් මාසවලදී සිදු වේ.වියළි කාලගුණික තත්ත්වයක් පැවතීම හොඳ අස්වැන්නක් ලැබීමට හේතු වේ.බොහෝවිට අස්වනු ලබා ගන්නේ ඉදුණු ගෙඩි ,ස්වාභාවික ව ගසෙන් වැටෙන විට එක් රැස්කර ගැනීමෙන් වුව ද හොඳීන් පැසී ඇති දිවුල් ගෙඩි නෙළීමෙන් පසුව ඉදවා ගැනීමට ද පුළුවන.හොඳීන් වැඩුණු ශක්තිමත් ගසකින් දිවුල් ගෙඩි 200-300 ක් පමණ සංඛ්‍යාවක් ලබා ගත හැකිය.

ඉදුණු ඵලයේ මදය රසවත් නැවුම් පලතුරත් ලෙසත්,එයින් සකස් කර ගත හැකි යුෂය හෝ පල්පය ජෑම්, දිවුල් කිරි ,රස කැවිලි ,අයිස් ක්‍රීම් හා කල් තබාගත හැකි පලතුරු බීම ලෙස සංරක්ෂණය කොට භාවිතා කිරීමටත් ,නොඉදුණු මදය එළවළුවක් ලෙසත් භාවිතා වේ.

ඉදුණු දිවුල් පල්පය බීජ හා කෙඳී ඉවත් කොට ජලය හෝ පොල් කිරි සහ සීනි සමඟ මිශ්‍ර කොට ඉතා පහසුවෙන් සකස්කර ගන්නා රසවත් දිවුල් කිරි පානය ඉතා ජනප්‍රියගත සිසිල් කරවන ස්වභාවික පලතුරු පානයකි.එමෙන්ම එය රසවත් අතුරුපසක් ලෙස ද භාවිතා කරනු ලබයි.

එමෙන්ම අනෙකුත් දේශීය පලතුරු හා සසඳන විට ජෑම්,කෝඩියල්,ජෙලි සහ අයිස්ක්‍රීම් ආදී වාණිජ නිෂ්පාදන සඳහා

දීර්ඝ කාලයක් සිට වඩාත් භාවිතා වී ඇත්තේ දිවුල්ය.එමෙන්ම වර්තමානයේ දරුවන් අතර දිවුල් භාවිතා කොට සකස් කළ අයිස් ක්‍රීම් වර්ග ඉතා ජනප්‍රියය.

 

ඖෂධ

දේශීය වෛද්‍ය ක්‍රමයේදී දිවුල් ඖෂධයක් ලෙස භාවිතා කරයි.මෙය ආහාර රුචිය වඩවන අතර, ආමාශයට හොඳ පලතුරක් ලෙස සැලකේ.ඉදුණු ඵල අක්මා හා හෘද රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ද නොඉදුණු ඵල පාචනය සඳහා ප්‍රතිකාරයක් ලෙසත් ,ඉක්කාව , උගුරේ ආබාධ සහ විදුරු මස ආශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහාත් ප්‍රයෝජනයට ගනී.දිවුල් ගෙඩියෙන් වෙන් කර ගන්නා මැලියම්වලට මී පැණි එක්කොට පාචනය සහ අතීසාරයට ඖෂධයක් ලෙස භාවිතා කරයි.දිවුල් කොළ යුෂ ළමුන්ගේ ආහාර මාර්ගයේ ඇති වන ආබාධ සඳහා ද යොදාගනී.එසේම දිවුල් ගසේ පත්‍ර ,පොතු,මුල් හා ඵලවල මදය ආදී සියලුම කොටස් කෘමි විෂ සඳහා ප්‍රතිකාරයක් ලෙස යොදාගැනේ.

 

මාදම්පේ සමූහ

ඒ.පී ගුණරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.