කෙසෙල් ගුණ දැනගන්න

මාර්තු 5, 2021

මී පැණි ,එළඟිතෙල් හා කෙසෙල්ගෙඩි අනා වැළදීමෙන් සප්තධාතු වර්ධනය වෙයි. දිවුල් මද, මී පැණි හා කෙසෙල් ගෙඩි අනා වැළඳීමෙන් මියන් ගේ විෂ, කෘමි විෂ නැසේ.

ආයුර්වේදය යනු බොහෝ දෙනා සිතා සිටින තිත්ත කෂාය, ගඳගහන බෙහෙත් තෙල්, කළුපාට ගුලි, කල්ක, පත්තු , තැවිලි ආදියම නොවේ. නිරෝගිව දීර්ඝ කාලයක් ආයුෂ වින්දනය එහි කියැවෙයි.

රෝග වළක්වා ගැනීම අතිශයින් වැදගත් අතර එය වඩාත් උගන්වන්නේ ආයුර්වේදයයි. අපේ පරිසරය හා දේශීයත්වයත් සමඟ සමගාමි ආයුර්වේදය අපේ ගමේ ගොඩේ වැවෙන එළවළු, පලතුරු , අල, බතල ආදියේ ගුණාගුණ පෙන්වමින් තමන්ගේ නිරෝගිභාවය උදෙසා සිත් සතන් යොමු කරයි. ආනයනය කරන ඇපල්, දොඩම් වලට වඩා අපේ රටේ නෙල්ලි, පේර, ඇඹරැල්ලා, කාමරංකා , පැපොල් , අඹ, කජු, ලාවුළු, වරකා , බිළිං ආදියේ අගයත්, ඒවා පරිභෝජනයට ගැනීමෙන් වළකින රෝග පිළිබඳවත් නිරෝගි දිවි පෙවතක් අගයන ඔබට පෙන්වා දෙයි.

අපි මෙහිදී අපේ රටේ ඕනෑම තැනක වැවෙන බහුලම පලතුරක් වූ කෙසෙල් ගැන අවධානය යොමු කරමු.

“සත් ථ චක්ඛුගතම්පස්සෙ

වෙජ්ජො අඤ්ඤං නිරච්චයං

හිතංච සුලභං සාධු

භේසජ්ජං කෑළිං විනා”

නිර්දෝෂි වූ හිතවූ, පථ්‍ය වූ, සුලබ වූ, මධුර වූ කෑලි භෛසජ්‍යය හැර ශාස්ත්‍ර චක්ෂුසින් අන්‍ය කවර නම් බෙහෙතක් වෛද්‍ය තෙමේ කෙසේ දනීද යන්න මෙහි අදහස වන අතර මේ වනාහි කෑලි යනුවෙන් මෙහි දක්වන කෙසෙල් හි අගය අපූරුවට පවසන්නකි.

මෙබඳු වූ කෙසෙල්

ස්ත්‍රී කෙසෙල්, පුරුෂ කෙසෙල්, නපුංසක කෙසෙල් යනුවෙන් තුන් ආකාර බවත් සියලු කල්හි ලෝක සත්වයාට වැඩදායි බවත් දේශීය වෛද්‍ය ශාස්ත්‍රය

ථිපුන්න්‍යුං සකං භාවං –

ඒකාපි තිවිධා කතිං

ආගම්ම භූව නස්සත්ථං –

කරොති කදළි සදා යනාදි ලෙසින් දක්වාලයි

ස්ත්‍රි කෙසෙල්වල ස්වභාවය කෙසේද තුනීව පළල් ව, ලුහඩුව ගිය කොළ ඇති ඇවරියෙහි අල්ප වූ ගෙඩි ඇත. යහපත්ව මෘදුව දික්ව ගිය කඳ හා බොහෝ ගොබ ඇති.

පුරුෂ කෙසෙල්වල ස්වභාවය කෙසේද?

ඝනව දික්ව පටුව ගිය කොළ ඇත. බොහෝ ගෙඩි ඇත. තද වූ ලුහුඬුවූ කඳ ඇත. බොහෝ ගොබ නැත.

නපුංසක කෙසෙල්වල ස්වභාවය කෙසේද

තුනීවූ අතු ඇත. බොහෝ ගොබ නැත. සිහින් වූ කඳ ඇත. තුනී වූ ඇවරි හා මදඵල ඇත.

“තනු රස්සා පුථු දළා කදළි අප්පපිද්ධිකා

සුවාරු කොමළා දීඝ ක්බන්ධා බහු කරීරිති

කදළො නං විඵල්ලා සා කදළිං පෙළවච්ඡිදං

අකරීරං තනුක්ඛන්ධා ඵලාප්පං කීස පිණ්ඩිකං” යනාදි ලෙසින් ඒ සඳහන් කෙරේ.

ජරා විලිපිලි නසනු සඳහා යොදන රසායන පිළියම්හි ස්ත්‍රී ස්වභාව කෙසෙල්ද පුෂ්ටිමත් බවට ධාතු වැඩීමට කරන පිළියම්හි පුරුෂ ස්වභාව කෙසෙල් ද රෝග නසන්නට කරන පිළියම්හි නපුංසක ස්වභාව කෙසෙල් ද ඤාණවන්ත වෛද්‍යවරුන් විසින් යොදනු ලබන බව

රසායනත්ථෙ කදළි වස්සත්ථො

කදළො හිතො

විනිග්ග හත්ථෙ රොගානං

කදළං යෝජයෙ සුධි යනුවෙන් දක්වයි.

ඔබ අප නිරන්තරයෙන් අපමණ කෙසෙල් පරිභෝජනයට ගන්නා නමුදු කෙසෙල්වල මෙබඳු ස්වභාවයන් ගැන දන්නෝ වෙත් නම් ඒ ඉතා අල්ප බව අපගේ හැඟීමයි.

කෙසෙල් වර්ග බොහෝය. බෙහෙවින් අප අතර කියැවෙනුයේ, ඇඹුල් කෙසෙල් සීනි කෙසෙල්, පුවාලු, ආනමාලු. රතනමාලු ආදි වශයෙනි.

එසේම ඒ ඒ වර්ගයන්ගේ ගුණයද වර්ග වෙයි. ගවයන් විසූ යහපත්වූ පවිත්‍රවූ ජලාශ්‍රය ඇති භූමියෙහි ඇසළ මස කෙසෙල් රෝපණය කිරීමෙන් කලට පල ලැබෙන බව කියයි.

කෙසෙල් කඳ නොකපා ඉදුණු සම්පූර්ණ යහපත් ගෙඩි තියුණු මුවහත් පිහියකින් දිනපතා කපා ගත යුතුය. අසම්පූර්ණ පුහු ගෙඩි නොගත යුතුය. අන් ආකාරයකින් ඉදුවා නොගත් ගහේදීම යහපත් කලට ඉදුණු ගෙඩි ඒ ඒ කටයුත්තේ යෙදිය යුතුය.

රසෙ පාකෙව මධුරං සුපක්කා කදළි ඵලං

හිතං වාතෙව පිත්තෙච බල්‍යං සංගානිකං පරං”

යි හොඳින් පැසුණු කෙසෙල් ගෙඩි රසවත්ය. මහධුය. වාත පිත්ත දෙකට හිතය. බල වඩයි. මල බන්ධනය කරයි.

සීනි, මී පැණි, එළඟිතෙල් සමඟ හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩි හය මාසයක් වැළඳීමෙන් ශරීරයේ ජරා ස්වභාවය නැතිවේ යයි.

“සිතාමධුසතොපෙත –

මයතංයො නිසෙවතෙ

නිරන්තොතං ඵලං පක්කං –

නලංඝයති තංජරා

යන ලෙසින් සඳහන් කරයි.

අමු කෙසෙල් ගෙඩියෙන් කහට සහිත ඉස්ම අතින් මිරිකා දිනපතා උදය වැළදීම වමනයට හිතය.

ඇට කෙසෙල් ඇට වෙන්කොට හැර මද ගෙන ගිතෙල් මී පැණි දෙකහි කලතා වළඳන්න. බලය වඩයි. බඩගින්න වඩයි.

කෙසෙල් ගොබ තම්බාගත් යුෂ හා දී කිරි සම ප්‍රමාණ ගෙන පෙරුම්කායං , කළුදුරු, සිද්ධිගුරු, මිරිස් මේ හැම අඹරා කලතා පදමට කකාරා වළදන්න.

අනුපාන මෝරු වළඳන්න. ගින්න වඩයි.

කෙසෙල් ගස පලා ඇතුලේ තිබූ සුදු ගොබය ගෙන ඉස්ම මිරිකා නශ්‍ය කරන්න. ඇසට අතිශයින්ම හිතවත්ය.

ක්‍රිමිරෝග, ආහාර අරුචිය, අතීසාර විෂ, කෙසෙල් ගොබ යුෂ, මී පැණි හා වැළඳීමෙන් සුව වේ.

මී පැණි ,එළඟිතෙල් හා කෙසෙල්ගෙඩි අනා වැළදීමෙන් සප්තධාතු වර්ධනය වෙයි. දිවුල් මද, මී පැණි හා කෙසෙල් ගෙඩි අනා වැළඳීමෙන් මියන් ගේ විෂ, කෘමි විෂ නැසේ.

හොඳට ඉදුණු කෙසෙල් නිරතුරු අනුභව කරන්නා මහත නම් කෙට්ටු වෙයි. කෙට්ටු නම් මහත්වෙයි.

මී පැණි ස්වල්පයක් කෙසෙල් පත්‍රයක ලා ඇඟිලි අගින් සෙමින් සෙමින් ඇස ගාන්න. ඇසේ පටල තිමිර නසාලයි.

කෙසෙල් අල යුෂ මි හා එක්ව ඇස ගාන්න. ඇස පිරිසුදු වේ. එම කෙසෙල් යුෂයෙහි සීනි එක්කොට ඇස ගාන්න. ඇස පහදී.

අමු කෙසෙල් ගෙඩියක නැට්ට කපා එයින් වෑස්සෙන දිය පෙරා වරක් ඇස වත් කරන්න.

කෙසෙල් ගෙඩි බුලත් යුෂ හා එක්කොට ආලේප කරන්න. විසප්පු බිබිලි සුවවෙයි.

චතුමධුර සමඟ කෙසෙල් ගෙඩි වළඳන්න. උම්මාද නසාලයි. නෙරෙංචි කුඩු හා කෙසෙල් ගෙඩි වැළඳීම මුත්‍රාඝාත නසයි. කුරුඳු පොතු, එන්සාල්, කොල්ලන් කොළ, නාමල් රේණු සම ප්‍රමාණයට ගෙන කුඩුකොට ඒ හා කෙසෙල් ගෙඩි වළඳන්න. දාහ නසාලයි.

අලුත් වෙඩරු , සීනි හා එක්ව කෙසෙල් ගෙඩි වළදන්න. ක්ෂය රෝග නසයි. අසමෝදගම් කුඩු සමඟ කෙසෙල් ගෙඩි වළඳන්න. ප්‍රතිශ්‍යා නසාලයි. පෙරුම්කායම්, එළඟිතෙල් හා වැළඳීමද ප්‍රතිශ්‍යා නසාලයි.

පෙරුම්කායම්, එන්සාල්, කපුරු, ගිතෙල් සහ මේ හැම කුඩු කොට කෙසෙල් ගෙඩි එක්ව අනා වළදන්න. කෑම අරුචිය නසාලයි. අසමෝදගම් කුඩු එක්ව කෙසෙල් ගෙඩි වළඳන්න. වමනය නසාලයි.

රත්මල් කුඩු කෙසෙල් ගෙඩි සමඟ අනා වළඳන්න. මුත්‍ර සීනි රෝග සම්බන්ධයෙන් වැදගත් වේ.

බෝධි අල චූර්ණය ඉදුණු කෙසෙල් ගෙඩි සමඟ වැළඳීමෙන් ලේ විෂවීම් ,කුෂ්ට රෝග ආදිය සුවවේ.

 

ආචාර්ය

සිරිපාල මාදුවගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.